බුදුරජාණන් වහන්සේ දුතියනොය සූත්‍රයේ දී ‘ද්වයං නිස්සාය විඤ්ඤාණං සංභූති’ දෙකක් නිසා විඤ්ඤාණය හට ගන්නවා. ‘චක්ඛුංච පටිච්ච රූපෙච’ ඇස නිසා රූපය ද , රූපය නිසා චක්ඛු විඤ්ඤාණය ද උපදිනවා.
‘චක්ඛුං අනිච්චං සංඛතං’ ඇස යනු අනිත්‍ය ධර්මයක්, සංඛත ධර්මයක්, එය විපරිණාමී දෙයක්, වෙනස් ස්වභාවයකට පත්වන දෙයක්, ඇසේ ස්වභාවය එය යි. රූපයේ ස්වභාවයත් අනිත්‍ය, සංඛත, විපරිණාමී ස්වභාවයක්. එසේනම්, ඇස සහ රූපය යන මේ දෙය ‘හේතු’ නම් වෙයි. මේ දෙක නිසා හටගත් චක්ඛු විඤ්ඤාණය ‘ඵලය’ වෙයි. එවිට ඇස අනිත්‍යවන ධර්මයක් නම්, සංඛත ධර්මයක් නම්, රූපය අනිත්‍ය වන ධර්මයක් නම්, සංඛත ධර්මයක් නම්, චක්ඛු විඤ්ඤාණය නිත්‍ය වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මොකද? මේ චක්ඛු විඤ්ඤාණය නමැති ඵලය ගොඩනගපු හේතු ටික අනිත්‍ය නිස යි.
මෙය ඉතාම ගැඹුරු කාරණාවක්. ඇස සහ රූපය අනිත්‍යය යි. එහිදී ඔබ සිතන්නට එපා, ඇස සහ රූපය අනිත්‍යය යි යනුවෙන් සඳහන් කරද්දී අනිත්‍ය ගැන කතා කරන ‘ඇස’ අප දන්නා, දිගටම තියෙන ඇස පිළිබඳ නො වෙයි. බුද්ධ ශාසනයේ ඇස ගැන ගැන කතා කරන්නේ, ප්‍රසාදවත් ඇස පිළිබඳව යි. වර්ණ සටහනක් ඇසට පතිත වෙනවිට, ඇස තියෙනවා සේ ම ‘ඇස’ ඇති කල්හි වර්ණ සටහන පතිත වෙයි. එවිට මෙලෙස දෙපැත්තට ‘ඇස ඇති කල්හි රූපයත් ,රූපය ඇති කල්හි ඇසත්’ පිළිබඳ කාරණා දෙකකුයි මෙහි දී සඳහන් කරන්නේ. එසේනම්, හේතු ඇති කල්හි අපට මෙලෙස ඵලයක් හට ගනී. හේතු ටික නැතිවී යයි. ඇසට පුළුවන්කමක් ඇත්තේ නැහැ, එකම රූපයට දිගටම පතිතව තිබෙන්නට. එය මේ මොහොතේ හටගෙන නිරුද්ධව යයි.
ඔබ ඉදිරිපසින් ඇති ගසක රූපයක් ගැන සිතුවොත්, වර්ණ සටහනක්, පාට ටිකක් අපේ ඇසට පතිත වෙනවා. ආලෝකයත් , බාහිර වස්තුව මතට පතිතවෙලා පරාවර්තන ආලෝකයක් ඇසට පතිත වෙනවා. ඒ ආලෝකය එක දිගට පතිතවෙලා තියෙන්නේ නැහැ. එක් ක්ෂණයක් තුළ පතිත වන වර්ණ සටහන ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. එවිට ඇස එය ගෝචර කර ගන්නා එක් මොහොතකට, ඒ මොහොත හටගෙන නිරුද්ධ වෙන්න බැහැ. එය ඇස සහ රූපයේ අනිත්‍යය යි. මේ සඳහන් කරන්නේ ‘ගස’ කියන රූපය නැති වෙලා යන දේ ගැන නො වෙයි, ඇස අනිත්‍ය දෙයක්, රූපයත් අනිත්‍ය දෙයක් යන මේ හේතු ධර්මතා දෙකක හටගෙන නැතිවන බව යි.
නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි
No comments:
Post a Comment