ඇස අත්හරිනවා කියන අරමුණකට සිත,සිහිය ගෙනෙන
විට ඇස අත්හරිනවා කියන තැනින් පරමාර්ථ ධර්ම වශයෙන් දැක අවබෝධ කර ගනී.
එසේ අවබෝධ කරගැනීමෙන් ඇස පමණක් නොව කන ආදී අනෙකුත් ආයතන ධර්මත්, රූපය පමණක් නොව
ශබ්ද ආදී අනෙකුත් ආරම්මණයනුත් සමස්තයක් ලෙස විඤ්ඤාණය, ඇස ඇසුරු කරගෙන සකස් වන චක්ඛු
විඤ්ඤාණයත් මේ අවස්ථාවන් පවා හේතු ප්‍රත්‍යයන්ගේ සකස් වීමෙන් ඇති වූ ඵල විපාක බවත්,
සංඛත බවත් හේතූන්ගේ විසිර යෑමෙන් මේ සංඛතයන්ගේ විසිරීම, භංගය සිදුවන බවත් නුවණින්
දකිනවා.
එවිට මේ ඉපදීම දුකක් ය. දුකේ උරුමයක් ය කියන කතාවෙන් බැහැර ව උරුම ව පැවැතුණු දුක,
ඒ උරුමය ගලවා දමන්න. දුක හදන්න තිබුණු තැන, දුක නැති කරන්න අවස්ථාවක් ඇති කරගත
හැකියි. බෝධිසත්වයන් වහන්සේ නමක් සසර තුළ ලැබූ හැම ජීවිතයක් ම දුකයි කියා හඬා,
ආපස්සට නොවැඩි සේක. දුකෙන් නිදහස් වන අරමුණකට ඒ ජීවිතය යොමු කර ගත්තා. එවිට ඒ ලැබූ
ජීවිතය යහපතක් ලෙස පවත්වා ගැනීමක් විනා, ඒ ලැබූ ජීවිතය දුකක් කියා හඬා වැළපීමක ට
හේතුවක් කර ගත්තේ නැහැ.
එසේ නම් මේ ලබා තිබෙන මනුෂ්‍ය ජීවිතයත්, මේ ජීවිතය ඉපදුණේ දුකකට ය. ඉපදීම දුකක් ය
කියා, දහම නො සොයා දුකින් නිදහස්වීමේ මාර්ගයට නො බැසගෙන දුකක් ය කියා පසු තැවෙනවාට
වඩා දුක උරුම ව පැවතුණත්, ඒ උරුමය කඩා දැමිය හැකි බවත්, දුකෙන් නිදහස් විය හැකි
බවත්, මේ ලද දුර්ලබ මනුෂ්‍ය ජීවිතය එයට වටිනා ම අවස්ථාවක් බවත් අප විසින් සිහිපත්
කරගත යුතු නොවේ ද? අනවබෝධයෙන් යම් කෙනෙක් ප්‍රශ්න කරනවා. බුදු දහම දුක පිළිබඳව කියා
දෙන, දුකට ඇද දමන අකර්මන්‍ය කරන දහමක් ය, කියන තැන නුවණින් විමසා බැලීම නිසා තතු,
තතු ආකාරයෙන් පෙන්වා දෙනවා. ඇත්ත ඇති ආකාරයෙන් පෙන්වා දෙන ඒ වගේ ම, දුක, කඳුළ සදහට
ම නිදහස් කරන දර්ශනයක් බව පැහැදිලි වනු ඇත. මේ කඳුළ කියන වචනය දහමේ පෙන්වා දෙන
වචනයකි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් ප්‍රියයන්ගෙන් වෙන්වීම හා අප්‍රියයන්
සමඟ එක්වීම නිසා වැගුරූ කඳුළු සිව් මහා සාගරයේ ජල පරදන තරම් බව “අස්සු” සූත්‍ර
දේශනාවෙහි පැහැදිලි කොට දේශනා කර ඇත. මේ කඳුළු කතාව සඳහට ම නිමා කරන්නට නම් දුකක්
යැයි හඬා වැළපෙන්න නොව, දුකක් යැයි ලෞකිකත්වය දුකට පත් කරගැනීමට ද නොව, ලෞකික
ජීවිතයක් සීලයේ පිහිට, අවබෝධයෙන් සැපතක් බවට පත්කරගෙන, එහි නිසරු බව නුවණින් දැක
සරු බව ඇති කර ගැනීමට දුක හරවා ගත හැකි බව පැහැදිලි විස්තරයකි. මෙය තර්කයකට වඩා තම
තම නුවණින්, ගැඹුරින් විමසා බැලිය යුතු දහම් කරුණ කි. තමා තුළ රාග, ද්වේෂ, මෝහ ආදී
කෙලෙසුන් හි සංසිඳීම පිණිස මේ ලැබූ ජීවිතය සුවපත් වූ මගක් ඔස්සේ පවත්වා ගත යුතු බව
අප අවබෝධ කරගත යුතු යි.
දුක් විඳ දුකෙන් නිදහස් වෙනවා ය කියන කරුණට වඩා සියලු දෙනාට ම නොවුණත්, උත්සාහ ගත
හැකි තැනක් ධර්මයේ පෙන්වා දෙන්නේ “ සුඛා පටිපදා ඛිප්පා භිඤ්ඤා” කියන වචනයෙනුයි.
දුක්විඳ දුකෙන් නිදහස් වීම යම් විටක සිදුවිය හැකි යි. එහෙත් අප විසින් කළ යුතු
වන්නේ කෙලෙස් සංසිඳුවන පහසු මාර්ගයක කෙලෙස් සංසිදුවීමේ මාර්ගය සොයා ගැනීම නොවේ දැයි
ඔබ විසින් ප්‍රශ්න කරන්න. යම් විටක වනයක, ආරණ්‍යයක සිටියත්, පිණ්ඩපාත දානයත්
පහසුවෙන් ලැබිය හැකි නම් යහපත් ය කියන අදහස තවුසන්ගේ හෝ යෝගාවචරයන්ගේ සිත්හි පවා
පවතිනු ඇත. නුවණින් සිතන්නට යැයි සිහිපත් කරනවා.
දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ත්‍රිපිටක ධර්මයට අනුව
විස්තර කොට තිබෙන පද පිළිවෙල අප බොහෝ කෙනෙක් ඉතා හොඳින් දැනුමක් ඇති කර ගෙන
තිබෙනවා. එනමුත් වැඩි පිරිසකට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය නිවන අරමුණු කර ගෙන, ඉලක්ක කර
ගෙන ප්‍රායෝගික වශයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ දැනුමක් හා ඵලපුරුද්දක් නැති බව
නම් පෙනෙන්නට තිබෙනවා. ආගමික කටයුතු අවස්ථාවල දී මෙන් ම කුසල ධර්ම නමින් පෙනී සිටින
යම් අවස්ථාවන්වල දී නිවන අරමුණු කිරිම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳ ව ශ්‍රවණය
කිරීම, ඒ පිළිබඳ ව මෙනෙහි කිරීම සිතට නගාගෙන බැලීම සිදු කරනවා. ඒ වගේ ම සිදුවෙනවා.
එනමුත් ඒ වැඩි පිරිසක් ඔවුන්ගේ ප්‍රායෝගික ජීවිතය එනම් එදිනෙදා පවත්වන කටයුතු හා
සමඟින් ගළපා බැලීමක් නොකිරීම නිසා, සාමාන්‍ය ජීවිතයේ ප්‍රායෝගික ස්වභාවය ට ඔවුන්
මුහුණ දෙන විට නිවන අරමුණු කරගෙන ඔවුන් ඇසූ දහම, සිතූ දහම බැහැර වී යන බවක්
පෙනෙන්නට තිබෙනවා. මෙයට අප සාමාන්‍ය නිදසුනක් දක්වනවා. එය කවුරුන් හෝ ඉලක්ක කර ගෙන
දක්වන නිදසුනක් නොවෙයි. සිතා බැලිය හැකි නිදසුනකි.
යම් කෙනෙක් නිතර පින් දහම් හි යෙදෙනවා යැයි, කුසල් මාර්ගය අනුගමනය කරනවා යැයි පවසන
අතර නිතර දහම සාකච්ඡා කරන, දහම් පොත්පත් ළඟ තබාගෙන සිටින බවත් පෙනෙන්නට තිබෙනවා.
එනමුත් ඒ අයම ප්‍රායෝගික ජීවිතයේ යම් තැනෙක කරුණාවෙන් බැහැරව, ආත්මාර්ථකාමී ව තබා
සිතන දේ ඉටු කර ගැනීමට බැරි වුණොත්, අමනාප වන, තමා එල්බගත් මතයෙහි ම එල්බ සිටින,
තමාට අවශ්‍ය නම් තමා උසස් කොට, අන් අය පහත් කොට සිතන, එලෙස නොපෙන්නුවත් සිතෙහි
තරහව, ඊර්ෂ්‍යාව පවත්වාගෙන යන බවක් පෙනෙන්නට තිබෙනවා.
මේ කරුණු සඳහන් කරන්නේ ඉතා කරුණාවෙන්. මෙයට හේතුව පවතින්නේ ඔවුන් ධර්මය තුළ පවතිනවා
යැයි පවසමින්, ධර්මය මෙනෙහි කළත්, ඒ ගැන සිතුවත් යා යුතු හා අනුගමනය කළ යුතු මාර්ගය
මේ යැයි කල්පනා කළත් ප්‍රායෝගික ජීවිතය හා සමගින් සංසන්දනය කොට මෙනෙහි නොකිරීම යි.
තවත් අයුරකින් සඳහන් කරන්නේ නම් තමාට ගළපාගෙන ආධ්‍යාත්මික වශයෙන් මෙනෙහි නොකොට
බාහිර ආරම්මණයන් පමණක් ඔස්සේ ම සිහිපත් කිරිම නිසා ය.
No comments:
Post a Comment