Thursday, March 26, 2020

අතිපූජ්‍ය මාතර සිරි ඤාණාරාමාභිධාන මහා ස්වාමීන්ද්‍රෝත්තමයාණන් වහන්සේගේ දින පොතෙන්......


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානාචාර්ය, මීතිරිගල නිස්සරණ වන අරණ්‍ය සේනාසනාධිපති හා ප්‍රධාන කර්මස්ථානාචාර්ය, මීතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ ප්‍රධාන අනුශාසක යනාදි පදවි හෙබවූ, 

අතිපූජ්‍ය මාතර සිරි ඤාණාරාමාභිධාන මහා ස්වාමීන්ද්‍රෝත්තමයාණන් වහන්සේගේ දින පොතෙන්......




මාගේ ගරු කටයුතු බුදුපියාණන් වහන්සේගේ දරු වූ, කෙලෙස් බල මුළුව පලවා හැර උදාර වූ පූජ්‍ය සන්තානයෙන් හෙබියා වූ ශාරිපුත්‍ර - මහා මෞද්ගල්‍යාන - අනුරුද්ධ - ආනන්ද - නන්ද - රාහුල - මහා කාශ්‍යපාදි මහරහතන් වහන්සේලා පුරුදු කළ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මාර්ගයට බැස, ඉතා හොඳින් ඒ පුරුදු කොට, දියුණු කොටගෙන යාමට මම තරයේ අධිෂ්ඨාන කර ගනිමි! මම තරයේ අධිෂ්ඨාන කර ගනිමි! මම තරයේ අධිෂ්ඨාන කර ගනිමි! සාධු! සාධු! සාධු! (1967.5.16)

(කායික) දුර්වලතාවන් රැසෙකින් පෙළි - පෙළී වුවද මගෙන් සිදුවන්නේ මේ ශාසන සංග්‍රහයෙකි. මගේ හුස්ම ටික පිටවෙන තුරු මේ උතුම් ශාසනික සේවාව මගෙන් සපිරේවායි මම ප්‍රාර්ථනා කරමි. අවුරුදු 74 ක කාලයක් ජීවත් වී ඉවරයි. ලැබුවේ 75 වැනි වසරයි. මේ හැත්තෑ හතරෙන් දහයක් හැරෙන විට මගේ ජීවිතය ගෙවුණේ සසුන වෙනුවෙනි. දිවි පැවැත්වූයේ සසුනට ලැබුණු දෙයිනි. ඉතින් මේ ඇට, මස්, ලේ සියල්ල ම සසුන නිසා ලද ඒවා නොවේද? එහෙයින් මේ මුළු සිරුර ම සසුන වෙනුවට කැප කිරීමට මැලිවිය යුතු නොවේ. (1975.12.14)

අමාරුව ඇගේ-පතේ දැනෙද්දී, නොකියා ම උත්සාහයෙන් කථා කළෙමි. මේ සදුත්සාහය නිවන් සඳහාය; සම්බුදු සසුන් දියුණුව සඳහාය. 'එක පුද්ගලයකුට හෝ ධර්මයේ නිසි අවබෝධයක් වුවහොත් මැනවි˜ යන අදහස නිතර ම මා සිත් තුළ බල පවත්වන්නේය. (1978.1.6)

අනුන්ගේ යහපතට, මගේ යයි කියන මේ සිරුරේ පරිච්ඡේද රූපායතනයන් තුළින් නික්මෙන සුළං රැල්ලෙකින් හෝ පීඩාවක් නොවේවා!. හරිහැටි නොදැන කිසිවකුගේ ගුණයක් ඔසවා දැක්වීමට කිසිදු උත්සාහයෙක් නොගනිමි. අගුණයන් ගැන කවර කථාද? හැකිතාක් දුරට, හොඳයයි සලකන අනුන්ගේ වැඩට ඉඩ දී පසෙකට වීමට මම නිතරම සූදානම් වෙමි. අපිරිසිදු අන්දමින් කරන ශාසනික හෝ බාහිර හෝ වැඩට සම්බන්ධ නොවීමට මම උත්සාහ ගනිමි. එබඳු තැන් සමග තිඛෙන සම්බන්ධය ද කඩා දමමි. (1982.6.16)

ධර්මයේ බලය පතමි. මම ධර්මය රකිමි. ධර්මය මා සිත රකීවා. බැඳුම් බිඳේවා! බැඳුම් නිසා සිත් තැවුල් නොවේවා! (1979.10.6)

ස්ථාන රැකීමේ අදහස් මා තුළ නොවැඩේවා! පුද්ගලයන්ගේ අධ්‍යාත්ම දියුණුවට මගෙන් උපකාර ලැබේවා! මා කෙරෙන් නිකුත්වන හුස්ම ටික ද අනුන්ගේ අධ්‍යාත්ම දියුණුවට උපකාර වේවා! පිරිසේ දියුණුව අධ්‍යාත්ම දියුණුවයි. මේ දියුණුව නොසැලසෙතොත් මා මෙහි වසන්නේ කුමටද? මේ ස්ථානය කුමටද? මේ උපස්ථාන කුමටද? (1978.4.6)

මම මගේ සිත් සතන් කලම්බා නොගනිමි. සියලූ සත්හු සැපයට කැමති වෙති යනු මම නිතර මෙනෙහි කරන්නෙමි. (1975.8.14)

උතුමන්ගේ සැටි 

ඔහු වෛර නොහඳුනති. ගුණ දකිති. නුගුණ නොදකිති. විරෝධය හසු නොකරති. (1962.7.3)

අපරිග්‍රහත්වය නිතර සිතට නගා ගත යුතු උසස් ම ගුණයෙකි. තමාගෙන් පිහිට ලබා ගන්නෝ ද, තමන් පිහිට බලාපොරොත්තු වන්නෝ ද, තමාගේ පිළිදැගුම් ලැබිය යුතු අවිඤ්ඤාණක - සවිඤ්ඤාණක දේ ද පරිග්‍රහයට ඇතුළත් වෙති. මේවායින් සිත නිදහස් කර ගැනීම චිත්ත පාරිශුද්ධියේ උසස් ම මාර්ගය බව සලකනු. (1962.6.24) 

අනුන් තමාට අවනත කර ගැනීමට ගන්නා උත්සාහයට වඩා ආධ්‍යාත්ම සන්තානය කෙලෙසුන්ගෙන් දුරු කොට තබා ගැනීමට උත්සාහ ගත මැනවි. (1962.2.3)

කෙලෙස් බර ලොකුම බරය. දශ අකුශලයන්ගෙන් සිත වෙන් වීමේදී සිතේ පහළ වන්නේ ලොකු සන්සිඳීමෙකි. කයට ද එය දැනෙයි. නීවරණයන් ඉවත් වූ සිත තව කොතෙක් ශාන්තද? කෙලෙස් මුළුල්ලෙන් ඉවත් වූ සිත නියම ශාන්තය. (1982.2.17)

ඔබේ ප්‍රගතියට සමාජය බාධක යයි කිසිවිටෙකත් නොසිතනු. එක් අතෙක පාරක් වැසී නම් තවත් අතෙක පාරක ඇරී ඇත. ඔබේ පිටත්වීමට වැසූ පාර බාධකයයි දොස් නගමින් නුසුදුසු තැන ගතකිරීම නොව, ඇරුණු පාර ඔස්සේ ගමන් කිරීමය සුදුසු. තීරණයට ඉක්මන් නොවිය යුතු. (1962.10.19)

බෞද්ධකම දේවාත්මයක් ලබාගැනීම වැනි පුංචි දෙයකට සීමාකර ගැනීම, ඒ බෞද්ධකමේ ලංසුව අඩුකර දැමීමෙකි. (1960.8.1)

සමාජයක් තුළ පරිවර්තනය පහළවීම ස්වභාවිකය. එය ඊට අයත් සාධාරණතාවන් අනුවය. උගත් උදවිය එය හොඳ අතට හරවා ගත යුතුය. එක් තැනෙක ඇති ජලස්කන්ධය උඩින් හෝ යටින් හෝ පැතිරයාම එහි ස්වභාවයයි. එය ප්‍රයෝජනය සඳහා යොදා ගැනීම නැණවතාට අයිතිය. (1960.1.25) 

නරක මිනිහා නරක යයි අයින් කිරීමට වඩා ඔහු හදා ගැනීමට මහන්සි ගැනීම හොඳය. එහෙත් ඔහුගෙන් බේරි එය කිරීම පහසු නැත. පාරමී ධර්මයන් පුරා ගැනීමට මෙහි යෙදීම මැනවි. (1961.1.17) 

සම්බුදු සසුනේ නැගීමත් හැදීමත් ප්‍රතිපත්තියෙන් සම්පුර්ණ විය යුතුය. පසුව ගුණය ගාවා ගැනීමෙන් එහි නියම අයිතිය නොලැබේ. (1962.1.2) 

දැහැමි අදහස් නිසා ගැළපී එය සම්බන්ධය, පලූදු නොවෙන තරම් ස්ථීරය. බාහිර සුළු දෙයක් නිසා එය නොකැලඹෙන හෙයිනි. (1961.1.31) 

ඔබ පිරිසිදු නොවක් සිතක් පවත්වන්නට නිබඳ උත්සාහ දරන්න. ඔබේ හැම ක්‍රියාවක් ම නොවක් වනවා ඇත. (1962.1.6) 

බුදුසසුන් වැඩපිළිවෙළ ඇරඹුණේ බාහිර උපකරණයන් දියුණු කර ගැනීමට නොවේ. ආධ්‍යාත්මික ගුණ දියුණුව ප්‍රධාන කරගෙනය. සංසාරයේදී කෙතෙකුත් බාහිර උපකරණ ලැබෙන්නට ඇත. ඒවා විඳින්නට ඇත. මේ බුදුසසුන දුලබ බව වචනයෙන් කොතෙකුත් කියති. සිතින් මේ ස්වභාවය හොඳට සැලකීම අර්ථ සහිත බව වැටහෙයි. "බුද්ධුප්පාදො දුල්ලභො" යයි කියමින් බාහිර වැඩට - දේට සිත යොදවන්නට බැරි බව මට හැගෙයි. නොනවත්වා ආධ්‍යාත්මික ගුණ දියුණුවට උපයෝගී වැඩෙහි යෙදීමට නම් මේ දුර්ලභ කැරණු ගැන නිතර සිත යෙදීම කළ යුතුය. බුදුරජාණන් වහන්සේ දිනකට කීප වරක් සුගතෝවාදය වශයෙන් මේවා අලළා ගෙන දේශනා කිරීම ගැන ද අප විසින් සිත් යෙදවීම හොඳය. කෙලෙසුන්ට ඉඩ ලැඛෙන්නේ ප්‍රමාද දෝෂයෙනි. ප්‍රමාදය, කුසීතකම යන මේවා දුකට හේතුය.(1978.7.31)

සම්මා සම්බුද්ධ ශාසනය රැකගැනීම පැවිදි පක්ෂයට පමණක් නොව ගිහි පක්ෂයට ද අයිති වැඩක් බව නොසලකන සැටි පෙනෙයි. පැවිදි පක්ෂය සසුන් වැඩෙහි නොයෙදෙන විට, ගිහියෝ සසුන් ගුණයන් තමා තුළ නැතිව තිඛෙද්දීම කෑගසති. තම හිතවත් පැවිද්දන් සසුන් වැඩ පිරිහෙලන විට නිහ`ඩවෙති. තමන් තුළ සසුන් ගුණයන් වර්ධනය කර ගැනීමේ අදහසක් ඔවුන් තුළ නැත.මෙයින් සසුන් පිරිහෙලීමේ වරදට කොටස්කරුවන් සේ ගිහියන් ද සැලකිය හැකිය. මෙසේ දෙපැත්තෙන් දෙපැත්තට දොස් නගාලීම ද සුදුසු නැත. එකතු වී ඒකමතිකව සසුන් ගුණ වඩමු. (1978.5.24)

පැරණි ස්වාමීන් වහන්සේලාගේ තත්වය, අධ්‍යාත්මය ඉතා පිරිසිදුය. කාමවස්තූහු, හිතවත්තු, ඥාතීහු, යසස උන්වහන්සේලාට පළිබෝධයහ. එහෙයින් නිතර ම සිත තථාගත දේශිත ධර්මයකට ම යොදාගෙන විසීම උන්වහන්සේලාගේ සිරිත විය. එකතු වූ අවස්ථාවේදී ද ධර්ම කථාවක් ගැනීම නිරායාශයෙන් සිදුවන්නෙකි. (1978.6.11) 

"ප්‍රමාණය ඉක්මගෙන සිතීම පරිහානියට හේතුවනු ඇත." මේ උපදේශය වර්තමාන ජීවිත දෙස බැලීමෙන් මැනවින් ඔප්පු වෙයි. ජීවිතය නම් වූ ආයු සංස්කාරයන් ගෙවෙන්නේ ඉතා වේගයෙනි. මේ වේගය පරමාණුවක් තුළ චලනය දෙස සලකා බැලීමෙන් ඔප්පු වෙයි. චිත්ත වේගය දන්නා පරමාර්ථ ධර්මය දන්නාට මෙය මැනවින් වටහා ගත හැකිය. මේ තරම් ඉක්මනින් ගෙවෙන නාම රූප ධර්මයන්ගෙන් වැඩක් ගන්නවා නම් ධර්මයක එය යොදනු. නිකම් වැඩකට නැති දේට එය නොයොදනු. (1978.5.10)

සංස්කාරයන්ගේ බිඳි-බිඳී යන ස්වභාවය නිතර වැටහෙන විට සිත කොතරම් අප්‍රමාදයෙන් වෙළා ගන්නවාදැයි කිය හැකිය. මෙහිදී බිඳීම ද වැටහෙයි. එයින් මහත් බිය හැගුමෙක් පහළවෙයි. මේ සංස්කාර කූඩුව පවත්වා ගැනීමට කළ - කරන ප්‍රයත්න ද මෝඩකම් ද වැටහෙයි. මේ ජීවිතයේදී කොතරම් මෝඩකම් කළාද?

කෙලෙසුන්ගේ බලපෑම නිසා සිදුවන හැම පාප ක්‍රියාවකට ම මෝඩකම් යයි කීම සුදුසුය. මෝහයේ බලපෑම ඇති හෙයිනි. මෝහයේ බලපෑම නැත්නම් ලෝභ - දෝස දෙක මෙතරම් දරුණු නැත. (1979.5.17)

උත්සාහය නොකඩවා කිරීමෙන් ලැඛෙන ප්‍රතිඵලය ආශ්චර්යජනකය.එහි උසස් අමානුෂික බලයෙක් තිබේ. (1962.3.11)

ජීවිතය පවත්වා ගැනීම නම් කර්මාදියෙන් නොකඩවා ලැබෙන අනුබලයමැ යි. යම් විටෙක අනුබල කොටස කඩ වී නම් ජීවිතය ද කඩ වී ගොස් ඇත. එහෙත් ජීවිතයට මෙයට වඩා අවිච්ඡින්නාධාරකාරකයෝ තිදෙනෙක් වන්නාහ. ශීලය, සමාධිය, ප්‍රඥාව යන තුනයි. මේ හා නිතර ලියලමින් පවත්නා ජීවිතය ඉතා උසස් එකක් වන්නේය. (1961.4.1)

ධර්මය කෙරෙහි සැලකිල්ල දක්වන තරමට ම ධර්මය ඒ පුද්ගලයාට සැලකිල්ල දක්වන සැටි පෙනෙයි. ධර්මයෙන් ලබා ගත හැකි ශක්තිය උසස් එකකි. එසේ ම ඉතා පිරිසිදුය. ධර්ම ශක්තිය ලබාගැනීමට පුද්ගලයා දැහැමි විය යුතුය. හිස මත නොයෙක් කුණු-කන්දල් වැඩි දියුණුවක් කර ගැනීමට ධර්මයෙහි ශක්තිය ලබා ගැනීමට මහන්සි ගැනීම මේ අනුව මහ මෝඩකමක් වග තේරුම් ගත මනාය. (1978.11.13)

සිතේ පටන් ගැනෙන දුබලකම් මගහරවා ගැනීමට නම් සිහිය හොඳින් යෙදවිය යුතුය. සංසාර ප්‍රවෘත්තිය පිළිබඳ සංවේගය ඇත්ත වශයෙන් ම පවත්වාගත යුතුය. කොතරම් බැරිකම් තිබුණත් ඒවා නිසා වරදකට යටවිය යුතු නොවේ. සුළු වරදකින් වුව ද සිතට ලැබෙන්නේ කෙලෙසුන්ට ඉඩ සලසා දීමෙකි. "අණුමත්තේසු වජ්ජේසු භය දස්සාවි"යි වදාළේ මේ නිසාය. (1966.1.10)

යෝගාවචරයා නම් චිත්ත භාවනාවක් ගෙන යන්නාය. ඔහුට පිහිට පිරිසිදු සීලයයි! උපකරණ විවේකස්ථානය යි¦ ක්‍රියාව තැන්පත්කමයි. මේ කරුණු තිබෙද්දී එයින් වැඩ සලසා නොගන්නා, පමාවට වැටී පිරිහීමේ මග ගත් දුබල පුගුලෙකි. (1964.10.1)

ශීල විශුද්ධිය සම්පූර්ණ වූවකුට එයින් මදයෙක් පහළ වෙයි. ඔහු විසින් තම ශීලයෙන් සතුටු වෙමින් කරුණාව - මෛත්‍රිය - ගැන සිතිය යුතුය. අප්පිච්ඡතා - සන්තුට්ඨිතා - පවිවේකතා - අසංසග්ගතාදිය තමා තුළ වැඩේ ද, සමාධිය තමා තුළ තිබේ ද, විදර්ශනා නුවණ තමා තුළ පහළ වී තිබේ ද කියා මෙනෙහි කළ යුතුය. ඒ ගුණ තමා තුළ නැත්නම් ශීලය අසම්පූර්ණ බව සැලකිය යුතුය. (1968.6.15)

ලෝකය හිතෙන් බදාගෙන හිත තැන්පත් කරගන්න බැරිය. එය සිතින් අයින් කළ මැනවි. එකල හිත හැදීම පහසුය. (1967.1.9)

ආනාපාන මනසිකාරයේදී ඒ වායුව මැනවින් දැනේ නම්, තව-තවත් දුරට එහි ම සිත බැඳ තබා ගත යුතුය.වෙලාවක පුරා පැතිරෙමින් ද වෙලාවකට යන්තමින් ද වැටහෙයි; දැනෙයි. මෙබඳු අවස්ථාවේ සබ්බකාය පටිසංවේදී විය යුතුය.සතිය බලයෙන් පවත්වා ගත යුතුය. කැඩී කැඩී පවතිනු දැනෙයි. අතරක් නැතිව දැනෙයි.පිටතට සිත දුවන්නේ නැතිව පවතියි.මුළු සිරුර එක ම වායුගෝලයක් සේ දැනෙයි. ආනාපාන චතුර්ථ ධ්‍යානය උපදවා ගැනීමට බලවත් උත්සාහයක් කළ මනාය. උත්සාහය වැඩූ තරමින් ම සඵල නොවේ. එය කඩ නොකොට, අතරින් වැටෙන්නට නොදී වැඩිය යුතුය. ඉද්ධිපාද තත්වයට පැමිණීමෙන් පසු ලෙහෙසියෙන් ධ්‍යාන ලැඛෙනු ඇත. මේ අතර උත්සාහ ගෙන බොහෝ දෙනා වැඩ නවත්වන්නාහ.භාවනාව කොතරම් කළත් මේ කාලයේ හරියන්නේ නැතැයි යන දෘෂ්ටිය ගනිති. (1982.4.6)

ශාන්ත ලෝකොත්තර ධර්ම රසය වින්දනය කළහුට ප්‍රථම ධ්‍යානය නිසා පහළවන චිත්ත සුඛය ඉතා සුළුය. මේ නිසා තේරුම් ගත හැකි වන්නේ ලොකෝත්තර ධර්ම රසය හඳුනාගත හැකි බවයි. හැඳිනගත් ලෝකෝත්තර ධර්ම සුවය වනාහි අන් හැම සැපයක් ම පරදවන සැටි සැලකිය හැකිවෙයි. "මග්ගාධිපත්තො ධම්මො" යනු සලකනු. මාර්ග ධර්මයන් (ලෝකෝත්තර) පහළ වීමේදී ප්‍රතිපක්ෂයන් ඈතට තල්ලූ කරමින්, ප්‍රහීන කරමින්, අධිපතිභාවය පවත්වමින් පැවතෙන සැටි පෙනෙයි. (1978.8.24) 

යෝගාවචරයන් විවේක සෙනසුන් සොයා යන්නේ පලාත්වාසී ගිහියන්ගේ මගුල්, අවමගුල් ආදියට සම්බන්ධ පින්කම් කර දීමෙන් ඔවුන්ගේ කුදු මහත් වැඩට යට වී වාසය කිරීමට නොවේ; අභ්‍යන්තර ගුණ දහම් සමූහයක් නොකඩ කොට රැක බලා ගැනීම සඳහාය. (1960.4.10)

සමාජයෙන් වෙන්ව විසීම යෝගාවචර ස්වභාවය විය යුතුය. එහෙත් එබඳු තත්වයක් රැකගෙන පවත්වා ගැනීම දුෂ්කර වී තිබේ. සමාජයෙන් සම්පූර්ණ ඈත්වීමක් සලසා ගත නොහැකි වන හෙයිනි. සුළුවෙන් හෝ සමාජය හා සහයෝගය පළිබෝධකරය. සමාජයේ වැඩි කොටස ආත්මාර්ථකාමීහුය. නුවණ මඳ අයය. එබඳු සමාජයකින් පිරිසිදු ගති පැවතුම් බලාපොරොත්තු වීම ද නුවණට හුරු නොවනු ඇත. (1982.1.2)

ප්‍රසිද්ධිය ලබා ගැනීම සිතින් ගෙන හොඳ හොඳ ප්‍රතිපත්ති දැරීම, ධර්ම සාකච්ඡා හා ප්‍රශ්න විචාරණ - විසර්ජනයන් පැවැත්වීම, පුහු වැඩ සේ මට වැටහෙයි. මෙයින් පුද්ගලයන්ගේ තත්වය පහත වැටෙන්නේ පටන් ගත් ප්‍රතිපත්තියත් සමගය. ලාභ - සත්කාර - සිලෝකයන් නින්දනීයත්වයෙන් බුදුපියාණන් වහන්සේ විසින් හෙලා දක්නා ලද්දේ ඇතුළතින් ඇති මේ නරක පැත්ත නිසාමය. ලාභ - සත්කාර - සිලෝක යන මේ කොටස් ළගා වන්නේ පිරිසිදු ගුණයට ඇති අනිවාර්ය සම්බන්ධය හේතු කොට ගෙනය. එහෙත් ඒවායේ ස්ථීර - සාරත්වයක් ගණන් ගත්තෝ පිරිහුණහ. බුද්ධ කාලයේ ම බොහෝ උසස් ප්‍රතිපත්ති පෙන්නාගෙන සිටිය කොතරම් දෙනා හදිසියේ පිරිහී ගියාහුද? (1982.4.8)

විදර්ශනා භාවනාව අනුන්ට කියා දෙන්නට යන්නා තුළ පිහිටිය යුතු ගුණාංගයන් ඔහු දන්නේ නැත්නම්, නොදැන එයට බසී නම්, හෙතෙම මෝඩයෙකි;නැත්නම් වඤ්චකයෙකි. පිරිසිදු නෛර්ය්‍යාණික තථාගත ධර්මය තමාගේ ලාභයක් සඳහා යොදවාලීම බරපතළ පාපයෙකි. මෙබඳු දේට නැමී යන්නෝ ද බොහෝ වෙති. එහෙත් කාලිකය. (1978.5.2)

කෙලෙස් පෙරැළිවලට සිත ඉඩ නොතබනු.

1. විතර්ක වේගය බලවති. එය මැඩ ගැනීමට සතිය ආවශ්‍යකය.

2. ආත්ම වඤ්චනය හොඳින් සලකා ගත යුතු කරුණෙකි.

3. ගුණයකගේ වේශයෙන් පැන නගින අගුණ රාශිය ඔබ තේරුම් ගත යුතුය.

4. තමාට පත් වේදනාවක් තමාගේ හිතවතාට කීමෙන් එහි බර අඩුවෙයි. ධීරයෝ මෙය නොකරති. (1960.1.28)


"දැන් ඇති දෙය පාවිච්චි කරන්න.
දැන් සිටින තැනින් පටන් ගන්න."


මේ කියුම්වල ඇතුල් පැත්ත ඉතා ගැඹුරුය. කළ යුතු වැඩ ගැන සිත සිතා සිටීම නොව එහි යෙදීම ඔබේ කෘත්‍යය විය යුතුය. එයට කාලය ගැන සොයමින් ඉන්න ඕනෑකමක් නැත. ධීර-වීර අදහසෙකි. (1971.6.15)


තමා දන්නා තරම් හොඳ දේ අනුන්හට ද දීමට සත්පුරුෂයෝ උත්සාහ ගනිති. (1963.3.3)

ධ්‍යාන චිත්තයක් පිළිබඳ නිසැක අවබෝධය අනුන්ගේ කථාවෙන් හෝ පත - පොතෙන් හෝ ලැබීය හැකි නොවේ. එය තමා තුළ උපදවා ගැනීමෙන් ම සිදුවෙනු ඇත. ධ්‍යාන භාවනාවේදී ඉක්මන් නොවිය යුතුය. ඉවසාගෙන නිමිත්තට සිත යෙදිය යුතුය.

පරිකර්ම නිමිත්තාවස්ථාව, උග්ගහ නිමිත්තාවස්ථාව, පටිභාග නිමිත්තාවස්ථාව යන මේ අවස්ථා තුනේදී ම ඉක්මන් නොවී විරිය සමතාව තේරුම් ගෙන වැඩකළ යුතුය. පූර්වකෘත්‍යය මැනවින් සිදු කළ යුතුය. එහි ඇති සාරවත් බව ගැන ඔබ විශ්වාසය තැබිය යුතුය. නිස්සාර දේවල් කියා අයින් නොකළ යුතුය. මේ කියන්නේ අත්දැකීම් උඩය. (1982.1.20)

මෙදින තදින් සංසාරික අනභිරතියෙකි. විවේකය ශබ්දවලින් පිරී ඇත. මේ බාධක මැද්දේ මගේ වැඩ ද අතපසු කළ යුතු නොවේ. මෛත්‍රිය වැඩීමි. විපස්සනාව වැඩීමි. සක්මනේදී සතර ධාතූන්ගේ ක්‍රියාකාරී ස්වභාවය ප්‍රකට වන සේ ද, අතරතුර නැවතී සිටගෙන කාය කොටස් වෙන් වෙන් කර ගනිමින් ඒ ඒ කොටස් විපස්සනාවට නැගීමෙන් ද, මේ විපස්සනාව පවත්වාලීමි. මෙහිදී ශුන්‍යතා දර්ශනය හා විදර්නා ඥාන ලැබීමි. (1983.8.6) 

මහ රෝහලේදී,

මේ පරිසරයේ වාසය කයට හෝ සිතට හෝ පහසු නැත. එහෙත් වාසය කළ යුතුව තිබේ. පරිසරයක් පහසු වාසයක් බවට පත් කර ගැනීමට කරුණු රැසක් ඇත.

1. සුඛ වේදනාවට ගිජු නොවීම, මත් නොවීම.

2. දුක්ඛ වේදනාව නිසා නොපෙළීම.

3. උපේක්ඛා වේදනාවේ ශාන්ත රසය තේරුම් ගෙන සිටීම.

4. වේදනා තත්වය මැනවින් මෙනෙහි කිරීමට සමත් බව හා එහි යෙදීම. (1982.3.11)

මගේ පහසුව සඳහා අනුන්ට අපහසුකම් දීම මට සුදුසු නැත. (1979.7.5)

•තමන්ගේ වැරදි සියයක් අමතක කර හොඳට හරිගිය එකක් මතුකරගෙන දහස්වර කියා පාන ඇතැම් පුද්ගලයන්ගේ ආත්ම වර්ණනා දෙස විමසුම් නුවණ යොදන්න.

•ඉක්මන්කම් හේතුවෙන් සිය ගණන් පාඩු විඳ, වැඩ වරද්දාගත් පුද්ගලයන් දෙස බලා අනුකම්පා සිත උපදවා ගන්නට පුරුදු වන්න.

•අන් හොඳ වැඩට බාධා නොවේ නම් එකසිය එක්වන වාරයේත් ඔහුට උදවු දෙන්න.

•කලින් සිදු වූ වැරදීම් ඉදිරිපත් කොට ඔහුට දොස් නගන්න නොයනු. හිත තලන්නට නොයනු. යම්කිසි විදියෙකින් ඔහුට 102 වාරයේදී හෝ හැදෙන්නට ඉඩ තිබේ.

•කරුණාව දුකේදී පිහිට වීම යි. නැත්නම්, කරුණාව - නියම කරුණාව සමාජයෙන් අතුරුදහන් වනු ඇත.

•    ඉවසීම ගැන ද ඔබේ මෛත්‍රිය ගැන ද මෙසේ සිතන්න.

•    වැඩිහිටියන්ගෙන් ලැඛෙන සුළු දෙය ද පූජ්‍ය දෙයක් සේ සලකන්න. (1982.2.22)


නොයෙක් විදියේ සංකීර්ණ පැවිදි ජීවිතයක් තුළ ක්‍රමික දියුණුව දුර්ලභය. (1982.4.10)

නොයෙක් විදියේ වැඩවලින් පිරෙන තාපස ජීවිතය ප්‍රධාන අරමුණ යට කරගෙන සිටියි. මෙයටයි පිරිහීම කියන්නේ. අපේ භික්ෂු ජීවිතයට ද මේ තත්ත්වය සිදුවෙයි. (පන්සල්) විහාර සෙනසුන්වල වසන භික්ෂූන් වහන්සේලා ඉතාමත් ඉවසිලිමත් වෙති. වීර්යයෙන් දියුණුය. සංවර ශීලයනට තැනක් නොදීම ඒ පින්වතුන්ගේ අඩුපාඩුවයි. අරණ්‍ය විවේක සෙනසුන්වල වසන අයට ශීල සංවරය ඇතිවන්නට පිළිවන. එයත් නැතිනම් වැඩකට නැතියන් වනු ඇත.

මේ පිරිසේ සංවරය ගැන පැහැදුණු ගිහි බෞද්ධයන් විහාර සෙනසුන්වල වසන පැවිද්දන්ගෙන් කරවා ගන්නා පින්කම් ආදිය මේ අයගෙ න් කරවා ගැනීමට මාර්ගය හදා ගන්නා සැටි පෙනෙයි. මෙයින් සිදුවන්නේ පිරිහීමෙකි. දෙපස ගැටීමෙකි. මේ බව සලකා මෙබඳු වැඩවලදී නුවණින් සලකා වැඩ කරතොත් මැනවි. විවේක පරිසරය දූෂණය වන වැඩ තේරුම් ගෙන ක්‍රියා කළ යුතු බව සිතට ගත යුතුය. ලාභ - සත්කාර - සිලෝකවලට යට නොවිය යුතුය. "අඤ්ඤා හි ලාභූපනිසා - අඤ්ඤා නිබ්බාණගාමිනි." (1982.2.11)


පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට නම් බැහැරී මොන දියුණුවක්වත් නොව, ශීල - සමාධි - ප්‍රඥාවන් තමා තුළ දියුණුවට පත්කර ගනිමින් අනුන් තුළ ද ඒ ගුණයන් වැඩෙන සේ කටයුතු යෙදීමය කළ යුත්තේ. (1978.3.13)

විදර්ශනා භාවනා ක්‍රමය මැනවින් පවත්වා ගෙන යාමට ඉතා හොඳ සප්පාය වැඩ පිළිවෙළක් මෙහි (නිස්සරණ වනයෙහි) යොදා ඇත. ශාසනය ගැනවත් භාවනාව ගැනවත් කිසිත් නොදත් මෝඩයන්ගේ කටොළු කථා නිසා මේ පිරිසිදු වැඩ පිළිවෙළ කිසි ලෙසකිනුත් වෙනස් කළ යුතු නොවේ. (1970.2.10)
සසුන් කෙත සරුකිරීමේ ප්‍රතිඥාව අනුව සසුනට බැසගත් ඇතැම් දුබල පුුඟුලන් එය වනසා දැමීමට මහන්සි ගන්නා සැටි පෙනෙයි. හරි දැක්මක් නැති හෙයිනැයි සිතමි. බුදු සසුනේ දුලබ බව හා සසුන් පිළිවෙතට බැස ගැන්මේ දුෂ්කරතාවත් තේරුම් ගැනීම මොවුන් විසින් කළමනා මූලික වැඩය බව තේරුම් කර දියයුතුව තිබුණේය. එහෙත් එය තමා විසින් සැලකූ සැටියක් හෝ අනුන්ගෙන් උගත් සැටියක් නොපෙනෙයි. මොවුන් යන මග කවරේදැයි මොවුහු දනිතියි නොසිතමි. (1978.8.19)

සසුන් වන් පුුඟුලන්හට පිළිවෙතින් තොර පරියත්තියෙක් නොලැබේ. එසේ කරන්නට යතොත් එය සස්නට ඇතුළත් නොවූ වැඩෙකි. පරියත්තිය ප්‍රතිපත්තියට වඩා උසස් බව හඟවන කථා පුවත මෙතැනට නොගැළපෙයි. ලාභාශායෙන් මැඩුණු, ගේහසිත සංකප්ප වැඩුණු, පුුඟුලන්ගේ කතා මෙයින් ඉවතට තල්ලූ වේ. (1962.3.10)

මොහොතකට පසු අයිතිය නැතිවෙයි. එහෙත් සියවස් ගණනකට අයිතිකම් සිතයි. (1969.5.31)

භාවනාවේ යෙදෙන හා යෙදීමට කැමැති ගිහි උදවිය ද බොහෝ සේ ඉන්නා බව පෙනෙයි. සසර බිය දක්නා භික්ෂූන් අතර මේ අදහස් විරල වීමට හේතුව කිමෙක්ද කියා තේරුම් ගැනීම දුෂ්කරය. ලියන පොතේත් කියන බණේත් ඇතැම් විට ඔවුහු නියම තතු පෙන්වා දෙති. ඒවා ක්‍රියාවේ නොයෙදෙන්නේ කවර හෙයින්ද? ඒ ධර්මය ඔවුනට විශ්වාස නැතුවද? ක්‍රියාවේ යෙදුවත් නොයෙදුවත්, කීම හෝ ලිවීමවත් කළත් ඇති. ඇතැම්හු මෙහිදී ඇත්ත යටපත් කරන්නට බලවත් උත්සාහයක් ගන්නාහ. අහෝ, සම්බුදු සසුන! (1975.8.18)

බොහෝ දෙනා භාවනාවේ තොරතුරු අසති. ඒ සම්බන්ධ විවේචනය කරති. පොතට දොස් කියති. භාවනාවේ නොයෙදෙති. මේ අහක දමන කාලය භාවනාවේ ම යොදනවා නම් ඔවුන්හට උසස් ප්‍රයෝජනයක් ගත හැකිවෙනවා ඇත. මෙය අනුන්ගෙන් අසාගත් දැයක් නොවන හෙයින් එක්තරා ප්‍රත්‍යක්ෂ අවබෝධයකැයි ම කිය යුතුය. මෙය සුළු දෙයක් සැටියටයි අද බොහෝ දෙනා සලකන්නේ. ආධ්‍යාත්මික දියුණුව වනාහි නියම දියුණුවෙකි. එයට හිත යෙදෙන්නේ ද පිනේ බලයකින් මැයි. පින් මද උදවියට එය නොගැළපෙයි; නොපෙනෙයි; නොදැනෙයි. (1978.5.23)

යෝගාවචර ජීවිතය ලොවැති හැම ජීවිතයකට ම වැඩියෙන් උතුම් වේ. එය ආත්මාර්ථකාමී වැඩෙකැයි කියන්නෝ ධර්මයෙහි අන්ධයෝය. (1980.3.12)

පිබිදීගෙන එන ලෝකයට ආධ්‍යාත්මික තත්වය පිළිබඳ අත්දුටු පාඩම් කියාදීමට ශක්තිය ඇත්තන් විරලවීම ධර්මයට බලවත් පාඩුවෙකි. එක් එක් කෙනාගේ හැඟීම් උඩ ලියූ පත පොත ඔස්සේ, තර්කයෙන් ලියූ ලියුම්වලින්, එතරම් වැඩෙක් වේදැයි සිතාගැනීම අමාරුයි. එක් භාවනාවක් අනුව දියුණුවට ගිය කෙනකුන් වෙතොත් එය ද ඉතා උසස් සේවයක් වෙනවා ඇත. (1962.6.6)

දහම් තතුව මැනවින් සොයා ගන්නට නම් දහම්හි නිබඳ යෙදීම කළ මනාය. දහමෙහි යෙදුණු පින්වතුන් දහම් පිළිබඳව කළ වැනුම් එකෙකුදු නිබොරුය. අතිශයෝක්ති නොවේ. දහම් හරය නොදත් පුහුදුන් ලෝකයා එය අතිශයෝක්ති යයි අයින් කරන්නට උත්සාහ ගනිති. ධර්මය මෙලොවින් අතුරුදහන් වෙන්නේ මෙලෙසටයි. (1962.10.29)

භික්ෂු ජීවිතය විස්තර කරන්නා බුද්ධ ධර්මය ඇතුළතින් දත යුතුය. මෙසේ නැතුව කිරීමෙන් විස්තර බසින්නේ අදහම් මගකටය. භික්ෂුවත් ඔහුගේ වැඩත් කාලානුකූලව සංස්කරණය වීම සුදුසුය. එහෙත් එය ශාසන පරමාර්ථයන් නොඉක්මවීමෙන් සිදු විය යුතුය. (1962.3.13)

බෞද්ධ ධර්ම මාර්ගය ඉගැන්වීමට එය නොදතුවන්ගේ අධ්‍යාපනික කථාවන් උපයෝගී කරගැන්ම ධර්මයේ පරිහානිය සැලැසීමෙකි. ඒකාන්ත පරිශුද්ධ බුද්ධ ධර්මය අපිරිසිදු වැඩට යොදා ගැනීම මීට වඩා නරක ය. (1962.3.22)

පැරැණි උගතුන්ගේ යෙදුම් විවේචනයට යාමට බියපත් වන්නේ කෘතගුණ සැලකීමෙන් ගුණවතුන් කෙරෙහි පවත්නා සම්භාවනා අදහසින් ම නොවේ. එහි පටන් ගැන්ම නොදත් බවේ දැඩි හැඟීමයි. ඇතැම්හු වරද දැක දැක එය වසා තැබීමට විවිධ හේතූන් ඉදිරිපත් කරයි. වරද වරද වශයෙන් පෙන්නාලීම ආධුනිකයනට කරන ලොකුම අනුග්‍රහයයි. (1978.5.4) 

බුද්ධ ධර්මය ලොව පහළ වූයේ නිර්වාණ මාර්ගය ලොවට හෙළි පෙහෙළි කරලීමේ පරමාර්ථය උඩ බව දැන් දැන් උගතුන් අමතක කරන සැටි පෙනෙයි. දර්ශන ක්ෂේත්‍රයට, විද්‍යා ක්ෂේත්‍රයට, භෞතිකවාද ක්ෂේත්‍රයට බැස ගත්තෝ තම - තමන්ගේ දෘෂ්ටි කෝණයනට ගළපාලීමට අදහස් මාරුකිරීම බිහිසුණුය. (1980.7.9)

ගිහි දිවිපෙවෙත පිරිසිදුවෙන් ගෙනයාමට නම් අඩුම ගණනේ දිනකට පැය කීපයක්, සතියකට සම්පූර්ණ දිනයක්, වර්ෂයකට මාස කීපයක් විවේකයෙන් යුතුව ගත කිරීමට සිතා ගත යුතුය. සම්පූර්ණයෙන් ගහට්ඨ දසසීලයක කල් ගෙවන ඇතැම් අයට වඩා මේ වැඩ පිළිපෙළ අනුව දුක කෙටිකර ගැනීමට හැකි වනු ඇත.

නෙක්ඛම්මය නාම මාත්‍රයෙන් ඇරඹීමෙන් සසුනටවත් පුද්ගලයාටවත් ලෝකයාටවත් නියම අර්ථයක් නොලැඛෙන සැටි හොඳට ප්‍රකට වී ඇත. (1978.6.27)

පෙර විසූ ශාසනික සඟ පිරිස ධර්මය ගැනත් එය දියුණු වනු දැක්ම ගැනත් කොතරම් උනන්දුවකින් වැඩ කළාහු ද යනු සංයුක්ත නිකායේ ඛන්ධක වර්ගයේ ථෙර වර්ගය බැලීමේදී තේරුම් ගත හැකිය. ධර්මයක් දෙසන විටත් එය අසන විටත් කොතරම් අවධානයක් එයට යෙදුවාහු ද යනු, ඛේමක හිමියන්ගේ දේශනය අවසානයේදී උන්වහන්සේත් සමග සැට නමක් රහත් මග-පල ලැබීමෙන් තේරුම් ගත හැකිය. ලොවුතුරු මග-පල අපේක්ෂා කරන්නා දේශනා කිරීමේදී ද ඇසීමේදී ද, නියම අදහසින්, කමටහනක් මෙනෙහි කරන ආකාරයෙන්, අනුන් ගැන හෝ අන් දේ ගැන හෝ සිත නොයොදන්නට සිතට ගත යුතුය. එයින් ධර්මාවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් සිදු නොවූවත් සුත සම්පත්තිය හෝ දියුණු වේ. (1978.6.18)

සිතට ආවේශ වන්නේ භූතයන් පමණක් නොවේ. කෙලෙසුන්ද සිතට ආවේශ වනු පෙනෙයි. මෙයින් පුද්ගලයා කෙතරම් නොමඟට වැටෙනවා ද කියතොත් තමාගේ සිතේ පැවැත්මෙන් සිදුවන විතක්ක විප්ඵාර සද්දය දෙවියකුගේ නැත්නම් තමාට හිතවත් භූතයකුගේ අවවාදයක් ලෙසටය ඔහු සලකන්නේ. මෙයින් බොහෝ දෙනා විපතට පැමිණි සැටි මට මතක ඇති සිද්ධීන් අනුව මම තේරුම් ගෙන සිටිමි. (1978.4.2)  

පුද්ගලයකු ගැන එක වරට ම තීරණයට නොබැස්ස යුතුය. ලොකු ලෙඩ්ඩු ද සුවපත් වෙති. (1961.1.13)

සුදුස්සා ළඟට තනතුරු, උසස්කම්, සැප, සිරි සෝභග්ගාදිය පැමිණෙයි. එහෙයින් සැපය සොයා ඒ පස්සේ දිවීම නොව, සැපය අතහැර සුදුස්සා වීමට වෙර වඩනු. (1962.7.9)

ධර්මයේ අගය තේරුම් ගත හැක්කේ එහි යෙදීමෙන් ලැබූ ප්‍රතිඵල අනුවය. අනුන්ගේ කථාවට සිත යෙදීමෙන් පහළ වන්නේ ධර්මය පිළිබඳ පිටත දැනීම පමණෙකි. මේ නිසා ධම්මචාරී වීමට උත්සාහ ගත යුතුය. (1968.3.2)

ඉතාමත් උසස් කාල සම්පත්තියක් ලැබී තිබේ. එහි උසස් බව කියා අවසන් කළ නොහැකිය. (1980.5.22)

ප්‍රමාද ජීවිතයට නින්දා වේවා! මේ සත්වයා අපේක්ෂා කරන්නේ හැම පැත්තකින් ම සැපයක් විඳීමටය. ඔහුගේ ඒ අපේක්ෂාවට මොන අන්දමකින්වත් උපකාර නොවන ප්‍රමාදයෙහි ම හේ වැටී දඟලයි. මෙහිදී යෝනිසෝ මනසිකාරයත් චිත්ත ධෛර්යයත් අධිෂ්ඨාන ශක්තියත් අවශ්‍ය වේ. (1962.9.15)

උතුමන් ගිය මග සපුරා අනුගමනය කරන්නට ඉදින් නොහැකි නම්, මඳ වශයෙන් හෝ එයට ඇතුළත් වී වැඩ ගෙන යා යුතුය. ප්‍රතිපත්ති මාර්ගය පිරිසිදු නම් එහි පිහිටා සිටීම ද නොපිරිහීමට උපායෙකි.  

"කිම, මා තිරිසනුන් හා සමානද, නැතිනම් සත්පුරුෂයන් හා සමානදැ"යි දිනපතා තම චරිතය ප්‍රත්‍යවේක්ෂා කරන්න. උතුම් පදවියට පැමිණීමේ ශක්තිය ලැබේ. (1962.7.18)

භාවනාවට ආවශ්‍යක දේ සම්පූර්ණ නැති නිසා භාවනාව කල් දමන මිනිසාට කවදාවත් සම්පූර්ණ කර ගත නොහැකිව හිස් අතින් මැරන්නට සිදු වෙනවා ඇත. (1968.6.4) 

යෝගාවචරයා පරහට ඇඟවීමේ අදහසින් තොරව ආදර්ශ සම්පන්න ජීවිතයක් පැවැත්විය යුතුය. එය පිරිසිදු උදාර පැවැත්මක් විය යුතුය. එයින් ඔහුගේ ආධ්‍යාත්මික දියුණුව ඉක්මනින් සිදුවෙයි. සෑහෙන ආදර්ශයක් නැති ජිීවිතය හිස් එකකි. අනුනට අඟවන අදහසින් පවත්වන ජීවිතයේ ආධ්‍යාත්මික දියුණුව නොලැඛෙයි. (1980.2.23)

සසර දුක වැසී ඇත්තේ මෙනෙහි නොකිරීම හේතු කොටගෙනය. නොනවත්වා එය මෙනෙහි කරන්නාට පුදුම ලෙසට එය පෙනෙන්නට පටන් ගනියි. (1963.3.27)

ආනාපාන භාවානාවේ නොයෙක් අතට විහිදී ගිය ප්‍රතිඵල සලක විට මෙහි උසස් ගතිය සිතට නැගේ. සිත එකඟ කර ගැනීමට මෙයින් ලැබෙන පිටුවහල ඉතා උසස්ය. ඉතා හොඳින් දියුණුවට පත්කර ගැනීමෙන් තව - තවත් විවිධ ශක්තීහු පහළ වෙති. (1963.1.23)

ගේහසිත සංකල්පනාවලට නැමී ගත් සිත නිවන් රසය විඳීමට අසමත් වෙයි. එය අපාය දුක ඇදගන්නා සිතිවිලි අවුළුවන්නේය. (1970.4.2)

මෘදු වචන කථා කිරීමේ පුරුද්ද මිනිසකුට ආවශ්‍යක කාරණයකි. භික්ෂූන් වහන්සේ නමකට විශේෂයෙන් තිබිය යුතු ගුණයෙකි. තමහට හිතපක්ෂ තරමින් මුළු ලෝකයට ම සම්භාව්‍යත්වයක් පුද්ගලයකු තුළ ලැබේ යයි සැලකීම උසස් පුද්ගලයනට ද තිබේ. දෙව්ලොවට ගිය රජකු පස්සේ බල්ලෙක් ද ගියේ ලූ. (1962.4.9)

නක්ෂත්‍ර විද්‍යාව අනුව පාලනය, ආගමික වැඩ පිළිවෙළට සම්බන්ධ කර ගැනීම හොඳ නැත. එයින් ගුණ සිරුර පලූදු වෙයි. පලූදු වීමට කරුණු පෑදෙයි. (1968.3.21)

මුළු ලෝදාහි යම් තරම් පරමාණු කොටස් වේ නම්, එපමණ වාර ගණනින් තුනුරුවනට නමකර පවත්වම්. (1968.8.1)

ශ්‍රද්ධාභක්තියෙන්, නිස්සරණ අදහසින්, පර්යාප්තියෙහි වැඩ කරන්නාට බුදු දහම අනගි රුවන් ගබඩාවකි. ඔහුට එය සිහි කිරීමේදී ද පහළ වන්නේ අතුල්‍ය ප්‍රීතියෙකි. එය ම ඔහුගේ භව නිස්සරණයට ද හේතු වනවා ඇත. (1962.5.29)

ශාසන පරමාර්ථය කිමෙක්ද? එය හඳුනා ගත්තෝ කවරහුද? එය පවත්වන්නට දන්නෝ - සමත්හු කවරහුද? මේවා ගැන සිතන විට පහළ වන්නේ බලවත් වූ සංවේගයකි. (1968.10.27)

කුඩා හැඟීමක් තුළ තිඛෙන කුඩා සිත මෙනෙහි කරන්න. ඇයි මේ සිත මේ තරම් කුඩා කරගන්නේ? මිනිසාගේ දුබලකම නිසා නොවේද? මේ දුබලකම කොතෙක් දුර ගමන් කරයිද? දීර්ඝ සංසාරයක් මේ තත්වයෙන් පවත්වයි. (1961.11.30)

යෝගී ජනයාගේ පරිසරය කොතරම් ශාන්ත විය යුතුද යනු එහි යෙදෙන්නන්ට මැනවින් වැටහෙයි. යෝග භාවනාවේ නියුක්තයාහට පරිසරය හොඳින් තිබිය යුතුය යනු අයෝගීන්හට නොවැටහෙන දෙයකි. (1962.7.2)

අධ්‍යාත්ම සංවර්ධනය තුළින් පැනගින ක්‍රියා දාමය ඉතාමත් සරලය. පිරිසිදුය. නිරවුල්ය. ඒ ඒ පුද්ගලයන්ගේ චරිතානුකූලව විශේෂතාවන් ලැඛෙතත් සිතින් මවා නොගත් ගුණයක් වෙතොත් එහිදී පැහැදිලි විදහා දැක්වීමෙක් සිදු වෙයි. (1982.1.1.)

චිත්ත සමාධිය චිත්තයට ප්‍රණීත ආහාරයකි. ඒ සමාධිය ද උසස් වෙන්න වෙන්න, මේ ප්‍රණීත භාවය ද උසස් බවට පත්වේ. මේ ගුණය හොඳින් තේරුම් ගැනීමට බොහෝ කලක් මෙහි යෙදී පුහුණුවක් සලසා ගත යුතුය. අන්ධ පෘථග්ජනතායෙන් වෙන් වී මේ ගුණයන් දියුණුකර ගැනීමට උත්සාහ ගන්න. (1962.10.31)

මේ කාලය තුළ භාවනාවේ යෙදෙන්නන්ගේ පහසු විහරණය සඳහා දුකසේ කුණු ශුද්ධ කෙළෙමි. උපකරණ සැපයීමි........ (1968.12.28)

මතු ශාසනයේ වැඩට ස්ථීර අධිෂ්ඨානයක් තබා ගන්නා මම නොසැලකිලිකම්වලින් අහක් වී අප්‍රමාදයෙන් වැඩ ගෙන යා යුතුය. එහෙයින් ඒ ගැන ද හොඳ අධිෂ්ඨානයක් කර ගනිමි. (1956.12.30)

මගේ දුබලකම් හැඳිනගෙන එයින් වහා නැගී සිටීමට මම උනන්දු වෙමි.(1963.3.3)

පුද්ගලයකුගෙන් ගත යුතු ප්‍රයෝජනයෝ කීප අතකින් ඉදිරිපත් වෙති. එහෙත් මා අදහස් කරන්නේ ඇත්ත වශයෙන් පුද්ගලයාට සැනසිල්ලක් සලසා දීමටය. මා බලාපොරොත්තු වන තරමින් ඔහුට මගෙන් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වනු දැනෙන හැම විට මම සංවේගයට පත්වෙමි. "අනාගතයේ හෝ මොහුට යහපතක් සලසමි" යන හැඟීම දිගට පවතියි. (1970.7.10)

නිවුණු අදහස් ඇති සමාජයක් වැඩේවා!(1960.9.30)

පැතුමක්...

ඉමෙහි පුඤ්ඤ කම්මෙහි - දුතියෙ අත්ත සම්භවෙ
ජාතිස්සරණ ඤාණො ච - තිහේතු පටිසන්ධිකො
හුත්වා තෙභූමකෙ සබ්ඛෙ - අභිභවිත්වා සතෙජසා
සාසනං බුද්ධ සෙට්ඨස්ස - පග්ගණ්හෙය්‍ය මතන්දිතො
(1971)

මේ පින්කම් හේතු කොටගෙන, දෙවන ආත්ම භාවයෙහි ජාතිස්මරණ ඥානය ද ති්‍රහේතු ප්‍රතිසන්ධිය ද ඇත්තෙක්ව, තුන්ලොව සියලූ සත්වයන් ස්වකී ගුණ - ඤාණ තේජසින් අභිභවනය කොට බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ශාසනය විඩා නොබලා නගා සිටුවම්වා! (මෙම භාවය සංස්කාරක විසින් යෙදූවකි)

•ත්‍රිවිධ ශාසනය වැඩූ යෝගී භික්ෂුවකගේ ස්මාරකයේ මෙසේ සඳහන් විය යුතුය.

"අගණීය නිජමත්ථං සාමිසං වාපි සාතං
 පරිතුලිය පසත්ථං සාසනත්ථං චිනන්තො
 තදනුවිහිත වා යො සබ්බකම්මං දයා වා
 නිහිත මිතිහ ජඤ්ඤා තස්ස භික්ඛුස්ස භස්මං."

"ස්වාර්ථයට වඩා උසස් ශාසනාර්ථය ගරු කොට සිදුකිරීමෙන් විඩා පත්වැ එයින් සුසුම් හෙලු යෝගී භික්ෂු නමකගේ භෂ්මාවශේෂය මෙහි ඇත." (1967.11.1)

නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි

 
උපුටා ගැනීම - යතිවර සිතුවිලි පොත ඇසුරෙනි 

 


 






No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...