Friday, July 23, 2021

වත්ථූපම සූත්‍රය 01 - පූජ්‍ය දිගන සුගතවංස ස්වාමීන්වහන්සේ

 

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන විහාරයෙහි දී භික්ෂූන්ට දේශනා කළ දම්දෙසුමකි, වත්ථූපම සූත්‍රයෙහි ඇතුළත් වන්නේ. වස්ත්‍රයක් උපමා කරමින් කිලුටු සිත මෙන්ම පිරිසුදු සිත පිළිබඳව දේශනා කළ වටිනා දහමක් මෙහි ඇතුළත් වෙයි. සිත කෙලෙසන පාප ධර්ම සොළොසක් මෙහි සඳහන්වන අතර එම පාපී ධර්මයන් දුරු කරන අයුරුත් සිව්බඹ විහරණයන් වඩන අයුරුත් විස්තර වේ.

යම්සේ පිරිසුදුව බබළන්නාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නේ නිල්පාට කිරීම පිණිස හෝ රන්වන්පාට කිරීම පිණිස හෝ ලේ පැහැ කිරීම පිණිස හෝ මදටිය පැහැ කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද, එය ඒ යෙදූ පාට ඇත්තක්ම වන්නේය. හොඳ පාට ඇත්තක්ම වන්නේය. පිරිසුදු පාට ඇත්තක්ම වන්නේය. ඊට හේතුව නම් ඒ වස්ත්‍රය පිරිසුදුවූ බැවිනි.මහණනි, එපරිද්දෙන්ම සිත නොකිලිටිවූ කල්හි සුගතියම කැමති වන්නේය. යහපතම කැමති වන්නේය.

බුදුරදුන් හා සුන්දරී භාරද්වාජ බ්‍රාහ්මණයා අතර ඇතිවූ සංවාදයක් ද මෙහි ඇතුළත්වෙයි. දහම් ඇසීමෙන් පසු ඔහු පැවිදිව රහත්වන අයුරු සිත්ගන්නා ලෙස විස්තරවෙයි. මෙතැන් සිට පෙළ දහම ඇසුරින් මෙම දම් දෙසුම විමසා බලමු.

අපිරිසුදු වස්ත්‍රය හා අපිරිසුදු සිත මහණනි, යම්සේ කිලුටු වූ මල බැඳුනාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය, රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන්පාට කිරීම පිණිස හෝ ලේ පැහැ කිරීම පිණිස හෝ මදටිය පැහැ කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද, එය අවපැහැ ඇත්තක්ම වන්නේය. අපිරිසුදු පාට ඇත්තක්ම වන්නේය. ඊට හේතුව නම් ඒ වස්ත්‍රය අපිරිසුදු බැවිනි. මහණනි, එපරිද්දෙන්ම සිත කිලුටු වූ කල්හි දුර්ගතියම කැමති වන්නේය. අයහපතම කැමති වන්නේය.

පිරිසුදු වස්ත්‍රය හා පිරිසුදු සිත

මහණනි, යම්සේ පිරිසුදුව බබළන්නාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නේ නිල්පාට කිරීම පිණිස හෝ රන්වන්පාට කිරීම පිණිස හෝ ලේ පැහැ කිරීම පිණිස හෝ මදටිය පැහැ කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද, එය ඒ යෙදූ පාට ඇත්තක්ම වන්නේය. හොඳ පාට ඇත්තක්ම වන්නේය. පිරිසුදු පාට ඇත්තක්ම වන්නේය. ඊට හේතුව නම් ඒ වස්ත්‍රය පිරිසුදුවූ බැවිනි.මහණනි, එපරිද්දෙන්ම සිත නොකිලිටිවූ කල්හි සුගතියම කැමති වන්නේය. යහපතම කැමති වන්නේය.

සිත කෙලෙසන පාපධර්ම

මහණනි, සිත කෙලෙසන්නාවූ පාපධර්මයෝ මෙසේය. අභිද්‍යාව නම්වූ විෂම ලෝභය (අනුන්ගේ දේ මට ඇත්නම් හොඳයැයි ආශා කරන දැඩි ලෝභය) හිත කෙලෙසන්නකි. ව්‍යාපාද (අනුන් නසනු කැමැත්ත) හිත කෙලෙසන්නකි. ක්‍රෝධය (තරහව) හිත කෙලෙසන්නකි. උපනාහය (බැඳගත් වෛරය) හිත කෙලෙසන්නකි. මක්ඛය (අනුන්ගේ ගුණ මැකීම) හිත කෙලෙසන්නකි. පලාසය (නීචව සිටිමින් උසස් පුද්ගලයන් හා තමා සමාන කර සිතිම) හිත කෙලෙසන්නකි. ඊර්ෂ්‍යාව (අන්‍යයන්ගේ සම්පත් නොඉවසීම) හිත කෙලෙසන්නකි. මසුරුකම (තමාගේ ඇති සම්පත් සැඟවීම) හිත කෙලෙසන්නකි. මායාව (රැවටිල්ල) හිත කෙලෙසන්නකි. සඨබව කෛරාටිකකම) හිත කෙලෙසන්නකි. ථම්භය (මානයෙන් ඉදිමුණු ගතිය) හිත කෙලෙසන්නකි. සාරම්භය (එකට එක කිරීම) හිත කෙලෙසන්නකි. මානය (ජාති ආදිය නිසා ඇතිවූ උඩඟු හැඟීම) හිත කෙලෙසන්නකි. අභිමානය (අධික මානය) හිත කෙලෙසන්නකි. මදය (ජාති ආදියෙන් මත්වීම) හිත කෙලෙසන්නකි. ප්‍රමාදය (පස්කම් සැපතෙහි ඇල්ම) හිත කෙලෙසන්නකි.

පාපධර්ම දුරුකරන අයුරු

මහණනි, ඒ මහණ තෙම අභිද්‍යාව නම්වූ විෂම ලෝභය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන අභිද්‍යාව නම්වූ විෂම ලෝභය දුරුකරන්නේය, එසේම, ව්‍යාපාද, ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පලාසය, ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව සඨබව, ථම්භය, සාරම්භය, මානය, අභිමානය, මදය, ප්‍රමාදය යන මේවා ද හිත කෙලෙසන්නෝයැයි දැන, දුරුකරන්නේය.

බුදුන්කෙරෙහි පැහැදීම

මෙසේ හිත කෙලෙසන ධර්මයන් දුරුකරන හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයෙන් යුක්තය, සුගතය, ලෝකය දන්නා සේක. අනුත්තරය, චණ්ඩපුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙක් වැනිය, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නාහ, බුද්ධය, භාග්‍යවත්ය, කියායි.

ධර්මයකෙරෙහි පැහැදීම

එමෙන්ම ධර්මයෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරන ලදී. මෙලොව ලැබෙන ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. අවුත් බලවයැයි කියා දැක්වීමට සුදුසුය, තමන් තුළ ඉපදවීමට සුදුසුය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතුය කියායි.

සඟුන්කෙරෙහි පැහැදීම

එමෙන්ම සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සෘජුව පිළිපන්නේය. න්‍යායට (නිර්වාණයට) අනුව පිළිපන්නේය. සාමීචි කර්මයට සුදුසු සේ පිළිපන්නේය. දුර සිට ගෙනැවිත් දෙන සිව්පසය ලැබීමට සුදුසුය. දුර සිට ආ ඤාති මිත්‍රාදීන්ට පිළියෙල කළ ආගන්තුක සත්කාරය ලැබීමට සුදුසුය. දොහොත් මුදුනේ තබා වැඳීමට සුදුසුය. ලොවට උතුම් වූ පින්කෙතය ඛ්යායි. යම් තැනෙක පටන් භික්ෂුව විසින් කෙළෙස් දුරු කරන ලද්දේද, වමාරණ ලද්දේද, මුදන ලද්දේද, නැති කරන ලද්දේද (එතැන් පටන්) හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවෙමි’ යි ඵලය දැකීමෙන් උපදනා සතුටද ලබයි. හේතුව දැකීමෙන් උපදනා සතුටද ලබයි. ධර්මයෙන් යුත් සතුටක් ලබයි. සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟවෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමි’ යි ඵලය දක්නා සතුට ලබයි, ධර්මයෙන් යුත් සතුටක් ලබයි. සතුටුවූවහුට ප්‍රීතිය උපදියි. සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟවෙයි.

සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමි’ යි ඵලය දක්නා සතුට ලබයි, හේතුව දක්නා සතුට ලබයි, හේතුව දක්නා සතුට ලබයි. ධර්මයෙන් යුත් සතුටක් ලබයි. සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳීයි, සැපය ඇත්තහුගේ හිත එකඟවෙයි.

ආහාරයෙහි නොඇලෙන භික්ෂුව යම් තැනෙක පටන් ඒ භික්ෂුව මා විසින් කෙලෙස් දුරු කරන ලදැයි, වමාරණ ලදැයි, නැතිකරන ලදැයි ඵලය දක්නා සතුටද හේතුව දක්නා සතුටද ලබයිද ධර්මයෙන් යුත් සතුට ලබයිද, සතුටු වූවහුට ප්‍රීතිය උපදියිද, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයිද, සංසිඳුණු කය ඇත්තේ හිතින් සැප විඳියිද, සැප ඇත්තහුගේ හිත එකඟවෙයිද, මහණනි, මෙබඳු සීල ඇති මෙබඳු සමාධි ඇති, මෙබඳු ප්‍රඥා ඇති ඒ (අනාගාමී) භික්ෂුව කළුහාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ඇතිව නොයෙක් ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඔහුට එය අන්තරාය පිණිස නොවෙයි.

(වත්ථුපම සූත්‍රය – මජ්ඣිම නිකාය)

මහණනි, කිලුටුවූ මළ රැඳුනාවූ වස්ත්‍රය පිරිසුදු ජලය ලැබ යම්සේ පිරිසුදු වෙයිද, බබළන්නේ වෙයිද, කෝවයෙහි දමන ලද රන්රිදී යම්සේ පිරිසුදු වෙයිද, බබළන්නේ වෙයිද මහණනි, එපරිද්දෙන්ම මෙබඳු සිල් ඇති මෙබඳු සමාධි ඇති මෙබඳු ප්‍රඥා ඇති ඒ (අනාගාමී) භික්ෂුව කළුහාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ඇතිව නොයෙක් ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඔහුට එය අන්තරාය පිණිස නොවෙයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වන දිසාවද, එසේම සතරවන දිසාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.

සිව්බඹ විහරණයෝ වැඩීම

කරුණා සහගතවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වන දිසාවද, එසේම සතරවන දිසාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

මුදිතා සහගතවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වන දිසාවද, එසේම සතරවන දිසාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ උපේක්ෂාසහගත සිතින් පතුරුවා වාසය කරයි.

ඒ අනාගාමී පුද්ගලතෙම මේ දුක්ඛ ආර්ය සත්‍යය ඇත, ළාමකවූ සමුදය සත්‍යය ඇත.

ප්‍රණීතවූ මාර්ග සත්‍යය ඇත. මේ බ්‍රහ්ම විහාර ධ්‍යාන සංඥාවට වඩා උතුම් නිර්වාණය ඇතැයි දනියි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදෙයි. භවාශ්‍රවයෙන්ද මිදෙයි. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදෙයි. එසේ මිදුණ කල්හි මිදුණේයැයි දැනීමවෙයි. උත්පත්තිය කෙළවර විය, මඟ බඹසර වැස නිමවන ලදී. සතර මාර්ගයෙහි කටයුතු කරනලදී. මේ ආත්මය පිණිස කළයුතු අනෙකක් නැත්තේයැයි දනී.

මහණනි මේ මහණතෙම අභ්‍යන්තර නෑමෙන් නෑයේයැයි කියනු ලැබේ. මේ අවස්ථාවේ සුන්දරික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම බුදුන් සමීපයෙහි සිටියේය. එකල්හි සුන්දරික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

භාරද්වාජ බ්‍රාහ්මණයා

“භවත් ගෞතම තෙම බාහුකා නම් ගඟට නාන්ට යන්නේද”?

බුදුරජාණන් වහන්සේ

“බ්‍රාහ්මණය, බාහුකා නම් ගංඟාවෙන් කවර ප්‍රයෝජනයක් වේද? බාහුකා නදිය කුමක් කරයිද?”

භාරද්වාජ බ්‍රාහ්මණයා

“භවත් ගෞතමයෙනි, බාහුකා ගඟ විසුද්ධිය ගෙන දෙන්නකැයි ලෝවැස්සන් අතර සම්මතය. භවත් ගෞතමයෙනි, බොහෝදෙනා බාහුකා ගංඟාව පින් තොටකැයි සලකන්නාහුය. බොහෝ දෙනා තමන් කළ පව් බාහුකා නදියෙහි පාකර හරිති”.

බුදුරජාණන් වහන්සේ

“බාහුකා නම් ගඟටද, අධිකක්ක නම් තොටටද, ගයා නම් තොටුපලටද, සුන්දරිකා නම් ගඟටද, සරස්වතී නම් ගඟටද, ප්‍රයාග නම් තොටටද, බාහුමතී නම් ගඟටද නිතර බැස නාන්නාවූ අපිරිසුදු කර්ම ඇති පුද්ගලයා පිරිසුදු ‍ෙනාවෙයි.” “සුන්දරිකා ගඟ කුමක් කරයිද? ප්‍රයාග තීර්ථය කුමක් කරයිද? බාහුකා නදිය කුමක් කරයිද? ප්‍රාණඝාතාදී පව්කරන, කෲර ක්‍රියා කරන මිනිසා ශුද්ධ නොකරයි. “ “පිරිසුදු වූවහුට හැමදාම නෑමට (සුදුසු) උතුරුපල් නැකතවෙයි. පිරිසුදු වූවහුට හැමදාම පෝය දිනය වෙයි. පිරිසුදු ක්‍රියා ඇති ශුද්ධ පුද්ගලයාට හැමදාම වත් පිරෙයි.”

නිවැරදි ස්නානය

“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහිම ස්නානය කරව, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී කරව, ඉදින් බොරු නොකියන්නෙහිද, ඉදින් සතුන් නොමරන්නෙහිද, ඉදින් නුදුන් දෙය නොගන්නෙහිද, ශ්‍රද්ධා ඇත්තේ වෙහිද, මසුරු නොවූයේ වෙහිද, ගයාවට ගොස් කුමක් කරන්නෙහිද? තොපගේ ළිඳත් ගයාවකි.” (ශුද්ධවූ පුද්ගලයාට ළිඳත් ගයාවත් යන දෙකෙහි වෙනසක් නැත.)

මෙසේ කී කල්හි සුන්දරික භාරද්වාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කළේය.

භාරද්වාජ පැවිදිවීම

“ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනී, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළා වූවෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි, ධර්මයද, භික්ෂු සංඝයාද, සරණකොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙත මහණකම ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි”.

භාරද්වාජ තෙරුන් රහත්වීම

සුන්දරික භාරද්වාජ බමුණු තෙම බුදුන් වෙත පැවිද්ද ලැබුවේය. උපසම්පදාවද ලැබුවේය. ආයුෂ්මත් භාරද්වාජ භික්ෂුව වනාහි උපසම්පදා වී නොබෝකල් ඇත්තේ හුදකලා වූයේ වෙන් වූයේ, අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව කයෙහි හා ජීවිතයෙහි ආශා රහිතව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඒ උතුම්වූ මාර්ග බ්‍රහ්මචරියාව කෙළවර කොට ඇති අර්හත්ඵලය මේ ආත්මයෙහි තමාම දැක ඊට පැමිණ වාසයකළේය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. සතර මාර්ගයෙන් (සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත්) කටයුතු දෑ කරන ලදී.

මේ ආත්මය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගත්තේය. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක්ද වූහ.

 https://tipitaka.lk/mn-1-1-7/sinh

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...