බුද්ධානුස්මෘති භාවනාව කරන තැනැත්තා විසින් බුදු ගුණ වගන්ති නවය අත් නො හැර ම බුද්ධ
වන්දනාව සඳහා භාවිත කළ යුතුය. ඒ වගන්ති නවයෙන් තමාගේ සිතට වඩා හොඳින් වැටහෙන තමා
වඩා ප්‍රිය කරන එක් වගන්තියක් භාවනාව සඳහා තෝරා ගත යුතු ය. ඉක්බිති තමා ප්‍රිය කරන
බුදුරුවක් දෙස බොහෝ වේලාවක් හොඳින් බලා එය හොඳින් සිතට ගත යුතු ය. බුදු රුවෙහි
අවයවයන් වෙන වෙනම ද බලා හොඳින් සිතට ගත යුතු ය. බුදු රූ සටහන අමතක නො වනු පිණිස
වරින් වර නැවතත් බැලිය යුතු ය. ආරම්භයේ දී භාවනාව බුදු රුවක් ඉදිරියේ ම කළ හැකි නම්
වඩාත් හොඳ ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි යම් කිසි විවේක ස්ථානයක බද්ධ
පර්යංකයෙන් හිඳ, කය සෘජුව තබා ගත යුතු ය. එය භාවනාවට ඉතා ම සුදුසු හිඳ ගැනීමේ
ක්‍රමය ය. එසේ හිඳ ගත යුත්තේ පුරුෂයන් විසින් පමණෙකි. එය ස්ත්‍රීන්ට අයෝග්‍යය.
ස්ත්‍රීන් විසින් අර්ධ පර්යංකය යි කියනු ලබන පා දෙක පිටිපසට නමා වාඩිවීමේ ක්‍රමයට
හිඳ ගත යුතුය.පෙර බුද්ධ ශ්‍රාවිකාවන් අර්ධ පර්යංකයෙන් හිඳ ගත් බව මහා ප්‍රජාපතී ගෝතමි අපදානයෙහි
එන
“සා තාහි සහ ගන්ත්වාන
භික්ඛුනූපස්සයං සකං
අඩ්ඪපල්ලංක මාභුජ්ජ
නිසීදි පරමාසනෙ”
යන ගාථාවෙන් පෙනේ. බද්ධ පර්යංකයෙන් වාඩි විය නො හෙන පුරුෂයන් විසින් හා අර්ධ
පර්යංකයෙන් හිඳ ගත නො හෙන ස්ත්‍රීන් විසින් ද තම තමාට හැකි පරිද්දකින් හිඳ ගෙන
භාවනා කළ යුතු ය. අන් ඉරියව්වකින් භාවනා කළාට ද වරදක් නැත. විවේක ස්ථානයේ හිඳගෙන ඇස
පියා ගෙන කලින් බලා ගත් බුදුරුව මෙනෙහි කර බුදුන් වහන්සේ තමා ඉදිරියේ වැඩ සිටින
සැටියට සිතා ගෙන ඒ බුදුන් අරමුණු කොට “මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදි සකල
ක්ලේශයන් මතු නූපදනාකාරයෙන් නසා සුපරිශුද්ධ වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන
පූජා සත්කාරයනට සුදුසු වූ සේක.” යනාදීන් තමා භාවනා කරන්නට තෝරාගත් වගන්තිය මෙනෙහි
කොට භාවනා කරන්නට පටන් ගතයුතු ය. භාවනා කරන්නට පටන් ගන්නා කල්හි පැය කාලකට අඩු නො
වන කාලයක් නියම කරගෙන ඒ කාලය සම්පූර්ණ වනතුරු නො නවත්වා භාවනා කළ යුතුය. එය කරන
කල්හි අනෙකක් ගැන නො සිතනු. සිත අනෙකකට යොමු වන්නට නො දීමට හැකි තාක් උත්සාහ කරනු.
සිහියෙන් යුක්ත වනු.
No comments:
Post a Comment