Saturday, April 28, 2018

ඔහුන් එයට කැමත්තක් දක්වන්නේ මක්නිසාද ?




බුදුන් වහන්සේ දේශනාවෙහි සඳහන් වී ඇත්තේ යම් කිසිවක ඇති අන්තරාය කලින් දැනගෙන තිබුව හොත් එය කෙතරම් හොඳ දෙයක් ලෙස පෙනුනත් එය අන්තරාදායක දෙයක් ලෙස දැකගන්නා බවය.අන්තරාදායක ලෙස තවමත් දැක නැති කුමක් වුවත් අප කල්පනා කරන්නේ එය හොඳ දෙයක් ලෙසිනි.යමක ඇති අන්තරාය දැක නොමැති නම් අපට එයින් බේරි සිටිමට ද නො හැකිය.

වැඩය කෙතරම් අපවිත්‍ර එකක් වුවත් මිනිසුන් එයට කැමත්තක් දක්වන බව ඔබට පෙනී ගොස් තිබේද ? ඒ ආකාරයේ අපවිත්‍ර වැඩ කිරිම සදහා මිනිසුන් සිය කැමත්තෙන්ම ඉදිරිපත්වන නිසා ඒ වෙනුවෙන් ඔහුනට යම් ගෙවීමක් පවා කිරිම අවශ්‍ය නැත.වෙනත් ආකාරයේ අපවිත්‍ර වැඩ සඳහා හොඳ වේතනයක් ගෙවුවත් මිනිස්සු ඒවා නො කරති.නමුත් මේ ආකාරයේ වැඩ වලට නම් ඔවුහු සිය කැමැත්තෙන් ම ඉදිරිපත් වෙති.ඒ සඳහා වේතනයක් ගෙවීම වුවද අනවශ්‍යය.එය පිරිසිදු වැඩක් නම් කාරියක් නැත.නමුත් එය කැත වැඩකි.එසේ වුවත් ඔහුන් එයට කැමත්තක් දක්වන්නේ මක්නිසාද ?ඔහුන්ගේ හැසිරීම මේ ආකාරයේ එකක් නම් ඔවුන් බුද්ධිමත්ය, කියා කියන්නේ කෙසේද ? මේ ගැන ඔබ කල්පනා කර බලන්න.

මෙම ආශ්‍රම භුමියේ ගැවසෙන බල්ලන් ගැන ඔබේ අවධානය කෙදිනක හෝ යොමුවී තිබේද ? මෙහි බල්ලන් ගැවසෙන්නේ රංචු පිටිනි.එකිනෙකා සපාකමින් සතර වටේටම දුවන උන්ගෙන් සමහරෙකු ට කොරගසමින් යෑමට පවා සිදුවෙයි.උන් එම සෙල්ලම තව මාසයකින් හෝ දෙකකින් පමණ පටන් ගනු ඇත.රංචුව තුළට කුඩා එකෙකු රිංගා ගත හොත් ලොකු බල්ලෝ උගේ ඇඟට කඩා පනිති....ඌ එතනින් ඉවතට පැන ගන්නේ කෑ මොර දෙමින් කකුලකුත් ඇද ඇදය.නමුත් රංචුව දුවන විට ඌත් කකුලක් කොර ගසමින් එම රංචුව පසු පස්සේ ම දුවයි.කුඩා එකෙකු වුවත් ඌ කල්පනා කරන්නේ යම් කිසි දවසක ඌටත් අවස්ථාවක් ලැබෙන බවය.ඌට ඒ වෙනුවෙන් ලැබෙන දෙය අනික් බල්ලන් උගේ කකුල සපාකෑම පමණය.රැළට වැටි සිටින මුළු කාලය තුළ ඌට එකම අවස්ථාවක් වත් නොලැබී යෑමට පිළිවන.ඔබට මෙහි ඇත්ත නැත්ත මේ ආශ්‍රම භුමිය තුළ දී ම දැක ගත හැකිය.

දැන් ඔබ මේ දේ ගැන හොඳින් සිතා බලන්න.

තෙරුවන් සරණයි ...!!!

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි




Monday, April 23, 2018

සුදුපාට මල් අතරින් රතුපාට මල වෙන්කර හදුනා ගත්තේ යම් සේ ද



මේ සුදුපාට මල් අතුරින් රතුපාට මල වෙන්කර තෝරා  ගැනීමට හැකි වුවා සේ පිරිසක් අතරින් සත්පුරුෂ කෙනා කවුද , අසත්පුරුෂ කෙනා කවුද කියලා තේරුම් ගැනීමට හැකියාවක් තිබිය යුතුය.

අද සමාජයේ බොහෝ විට අපිට දකින්න ලැබෙන්නේ මිත්‍යාදෘෂ්ටික අදහස් වලින් පිරුණු බාලයන්.ඇසූ පිරූ තැන් නැති පෘතග්ජන පුද්ගලයාගේ හා ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ වෙනසයි අපි සොයන්න උත්සාහ කල යුත්තේ.

අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා නිරන්තරයෙන් අවිඤ්ඤාණික වස්තුවක් නම් එහි හැඩතල ස්වභාවය ආදී වශයෙනුත් නිමිති ගෙන එහි සැප වේදනාවක් ලෙස සිතෙහි දැඩිව අරමුණ පවත්වාගන්නවා. එහි වඩ වඩාත් සතුටු වෙනවා. ඒ ගැනම කියනවා. ප්‍රාර්ථනා කරනවා. සිත නිරන්තරයෙන් එම ආරම්මනයෙහි ම ඔසවා තබාගන්නට උත්සාහ කරනවා. එනම් ඒ ගැනම මතක් කරගෙන තබා ගන්නට උත්සාහ කරනවා. අකැමැති අරමුණෙහි ගැටෙමින් ඒ ගැනම නැවත නැවත මෙනෙහි කරමින් සිත ඒ අකැමැති අරමුණෙහි ම පවත්වා ගන්නවා. මෙය සරලව සඳහන් කළොත් ප්‍රිය අරමුණෙහි රාගී සිතිවිලි සකස් කර ගන්නවා. අකැමැති අරමුණෙහි ද්වේෂ සහගත සිතිවිලි නිරන්තරයෙන් පවත්වා ගන්නවා.

"අස්සුතවා භික්ඛවේ පුථුජ්ජනො දුක්ඛාය

වේදනාය පුට්ඨෝ සමානො

සෝචති කිලමති පරිදේවති

උරත්තාළිං කන්දති සම්මෝහං ආපජ්ජති "

මේ අශ්‍රැතවත් පුද්ගලයා මෙහි දී දුක්ඛ වේදනාව එනම් අකැමැති වේදනාව ස්පර්ශ කරමින්, එනම් මමත්වයට පත්කර ගනිමින් ශෝකයට පත්වෙනවා, හඬනවා. ක්ලාන්ත භාවයට පත්වෙනවා. ළයේ අත් ගසාගන්නවා. මුලාවට පත් වෙනවා කියන අදහසයි.

ධර්මය තුළින් අප දැකිය යුතු ගැඹුරු අදහස නම් ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත මේ කය ගිලන්වීම උරුමයි. දිරාගෙන යාමට උරුමයි. කය ගිලන් වන්නේ නම් එයට ප්‍රතිකාර කළ යුතුයි. එහෙත් අවබෝධයෙන් යුතුව මනස නොගිලන්ව පවත්වා ගැනීමට තරම් මනසේ පුහුණුවක් පුරුද්දක් ඇති කරගත යුතු බවයි.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි

Wednesday, April 18, 2018

ජරා,මරණ එනකොට හොදට ඇස් ඇරලා ලෝකය දෙස බලන්න



බුදු රජාණන් වහන්සේ නමක් විසින් වදාළ ධර්මය තුළ කියා දෙන්නේ ජිවිතයේ ඇත්ත.
ඇත්ත ඇත්ත විදියට කියා දුන්නොත් එතන සංසිදීමක් තියෙනවා
නමුත් ලෝකය අපට  ඇත්ත ඇත්ත විදියට කියාදෙන්නේ නැහැ
ලෝකයේ අපි හැමතිස්සෙම බොරුවක් ඉස්මතු කරන්නේ
වෙනස් ලෝකය තුළ අපට රාගය අවුස්සන දේවල් අපිට ලෝකයා විසින් දෙනවා
වැඩිපුර මිනිසුන් එක්ක වැඩියෙන් කතා කළොත් සංසිදීමක් නොවේ ඇතිවෙන්නේ ඇවිස්සිල්ලක්
මිනිසුන් අපිව ද්වේශයෙන් අවුස්සනවා.ද්වේශය අපට ලැබෙනවා
මිනිසුන් අපිව මුළාවෙන් අවුස්සනවා, මුළාවත් අපිට ඕනෑතරම් ලැබෙනවා
අපිට ලැබෙන්නේ නැහැ නුවණ අවධි කරන දේ
නුවණ අවධි කරන දේ අපිට ලබා දෙන්නේ
නුවණ අවධි කරන දේ අපිට ලබා දෙන්නේ කල්‍යාණ මිත්‍රයෙක් විසින්
ඒ කල්‍යාණ මිත්‍රයා තමයි අපේ පරම උත්තම,ගෞතම,අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ.
වෙනස් වෙලා යන ලෝකයක, බොරුව තුළ ජිවත් වෙන කෙනාට එක දරා ගන්න බැහැ.
බුදු රජාණන් වහන්සේ දේශණා කරනවා මේ ජිවිතය ගත වෙනකොට මනුෂ්‍යයෝ මේ ලෝකයට ඇවිල්ලා. මනුෂ්‍යයාගේ ජීවිතය ගතවෙනකොට ඒ ජීවිතයට මරණය අත වනන වේලාව කිසි කෙනෙකුට කියන්න බැහැ.
අසවල් වේලාවේ මැරෙනවා කියලා කිසි කෙනෙකුට කියන්න බැහැ.අසවල් විධියට මැරෙනවා,අසවල් වේලාවේ මැරෙනවා.අසවල් තැනදී මැරෙනවා කියලා කිසි කෙනෙකුට කියන්න බැහැ.
අපි ඔක්කොටම තියෙන්නේ හීන, අපි සමහර වේලාවට හිතනවා දරුවෝ හදලා උස් මහත් කළාට පස්සේ  ,  මම දරුවෝ ළගම මැරෙන්න ඕනා කියලා.එක හිතුවිල්ලක් විතරයි. එක එහෙම වෙනවා කියන්න බැහැ.
මරණය කියන එක කොහි මොහොතේ කොතැනකදී අත වනයිද කියලා කියන්න බැහැ කියනවා 
මේ ජීවිතය හරිම කෙටි කලකට ලැබිච්චී පුංචි දෙයක්
එක කොච්චර කෙටි වුනත් ඒ කෙටි ජීවිතය පවා මහා දුක් ගොඩක්
මේ ලෝකයට ආවාට පස්සේ කිසිම උපක්‍රමයක් නැහැ මම ඉපදුණා මම දැන් මැරෙන්නේ නෑ කියලා මෙහි ඉන්ට. කිසි විකල්පයක් නැහැ.
උපන්නා නම් මේ ලෝකයේ අනිවාර්යයෙන් මේ ලෝකයේ දාලා යන්න ඕනේ
අපි උපදින එක  හරියට අලුත උයපු බතක් වගේ. බත උයපු ගමන් රස්නේ පිට ආසාවේ බැහැ.හොදට තියෙනවා නමුත් උයාපු බත ඉදිලා එළියෙන් අරගෙන තිබ්බට පස්සේ කාලය ගත වෙන්න ගත වෙන්න මොකද වෙන්නේ එකට එ බත පිළිණු වෙනවා.
පිළිණු වෙලා,පිළිණු වෙලා දවසක් එනවා ආයේ එක ආහාරයට ගන්න බැරි. සීතල වෙච්ච බතක් නම් ආයේ රත් කරලා ගන්න පුළුවනි.කලක් එනවා බත පිළිණු වෙනවා. එ පිළිණු වෙච්ච බත අහක දානවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.නාකි වෙලා මැරිලා යනවා
මේ ලෝකයේ ඉපදිච්ච හැමදෙනාටම තියෙන උරුමය ඕකයි.
පුංචි අයත් මැරෙනවා,වැඩිහිටි අයත් මැරෙනවා,නුගතුත් මැරෙනවා,උගතුනුත් මැරෙනවා
ඔය හැමදෙනාම මරණයේ වසගයට යනවා. මරණයෙන් ඔය ඔක්කොම ටික ඉවරයි
මෙතනින් මැරිලා යනකොට වෙනත් ලෝකයක් විවර වෙනවා. ඒ වේලාවට අනේ යන්න එපා කියලා නවත්ත ගන්න බැහැ.
මේ මනුස්ස ලෝකයට ආපු අපි හරියට මරණයට කැප වෙච්ච ගවයෝ ටිකක් වගේ
එක ගාලේ හිටියට එක එක්කෙනා  එක එක්කෙනා එක එක වේලාවේ අරගෙන යනවා.අරගෙන ගියාට පස්සේ අපිට ඒ කෙනා ගැන මතකයක් තියේවි.ඒ කෙනා ගැන ගුණ කථා කරවී.එපමණයි.ඒ කෙනා අපිට කවදාවත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ කියනවා.
ඔන්න ඔය වගේ මේ ලෝකය කියලා කියන්නේ.ජරාවත්,මරණයත් කියන දේ මුලික කරගත් එකක් කියනවා.
මේ දේ ප්‍රශ්ණයක් විදියට දකින්නට අපි උත්සාහ කරන්නේ නැහැ.
අපි ප්‍රශ්ණ විදියට දකින්නේ රැකියා ප්‍රශ්ණ, ගේ දොර ප්‍රශ්ණ, ළමයිගේ ප්‍රශ්ණ, මේවා තමා අපි ප්‍රශ්ණ විදියට හිතන්නේ.නමුත් අපිට විසදා ගන්න බැරි විසදුමක් කරා යනවා නම් බුදු රජාණන් වහන්සේ ගේ ධර්මයෙන් මිසක් වෙන තැනකින් විසදුමක් නැති හැබෑම ප්‍රශ්ණය තමයි ජරාවත් මරණයත් කියන 2 ක.මගහැරලා බේරෙන්න බැහැ.මේකට විකල්පයක් නැහැ
විකල්ප කර කර ජීවිතය හරියට තබා ගැනීම හරියට රුපයේ ලස්සන නැතිව යනකොට විශේෂයෙන් කාන්තා පිරිස රුපයේ ලස්සන අඩු වෙනකොට ඒ රුපය පාට කර ගන්නවා. එකට අපි කියනවා මේකප් කරනවා කියලා.මේකප් කියලා කියන්නේ ඇත්ත වහගෙන ඉන්නේ හැම තිස්සෙම.ඇත්ත වහලා පාට කරගෙන අපි බොරුවක් හදා ගන්නවා.ඒ බොරුවෙන් අපිට ටික කාලයක් පවත්වන්න පුළුවන් නේද ? බොරුව කියන එක අපිට එක එක ස්වරුපයෙන් දාන්න පුළුවන්
යම් දවසක් ඒ බොරුවෙන් පවත්ව ගන්න බැරි.එදාට තියෙන්නේ එයත් එක්ක ඉන්න එක. කැමති වුණත් , අකමැති වුණත් අපිට ඇත්තත් එක්ක ඉන්න වෙනවා.අපේ ජීවිතය ඒ වගේ එකක්
අපි මේ ජිවිතයේ යනකොට එන නොයෙක් නොයෙක් අර්බුද මේ ලෝකයේ ඇති දේවල් කරමින් විසදගන්න උත්සාහ කරනවා.
යම් දවසක මරණයේ දොරටු ඇරෙන කොට එකට විසදුමක් නැහැ.එකට හැමදෙනාම මුණ දෙන්න ඕන කාරණයක්
ජරා,මරණ එනකොට ඇස් ඇරලා ලෝකය දෙස බලන්න
ජාති ආගම් ,කුල වශයෙන් බෙදා ගන්නට එපා.ඇස් ඇරලා ලෝකය දෙස බලන්නට ඕනා
තනියෙන් අපි මේ ලෝකයේ අවා. තනියෙම ආපු අපි පිරිසක් එක්ක නමුත් තනියෙම ජිවත් වෙනවා.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි





  

Monday, April 16, 2018

මිලිඳු රාජ ප්‍රශ්ණය: " බුදු රජාණන් වහන්සේ සියල්ල දන්නා සේක්ද ? සියල්ල දක්නා සේක්ද ? "




"ස්වාමීනී නාගසේනයන් වහන්ස,බුදු රජාණන්  වහන්සේ සියල්ල දන්නා සේක්ද? සියල්ල දක්නා සේක්ද?"

"එසේය මහරජානෙනි භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක සියල්ල දක්නා සේක."

"එසේ නම් ස්වාමීනී,නාගසේනයන් වහන්ස තම ශ්‍රාවකයන් උදෙසා යමක් සිදුවූ කල්හි පමනක් අනුපිලිවෙලින් ශික්ෂා පද පැනවූයේ ඇයි?

වේලාසනින්ම පනවන්නට තිබුණා නොවේද?"

"මහරජානෙනි,මේ පෘථිවියෙහි සියලු බෙහෙත් වර්ග දන්නා යමෙක් ඇද්ද,එබඳු වෛද්‍යාචාර්‍යවරයෙක් ඉන්නවාද?"

"එසේය ස්වාමීනී.එබඳු අය ඉන්නවා."

"එතකොට මහරජාණෙනි,ඒ වෛද්‍යාචාර්‍ය තෙමේ රෝගයක් ඇති වූ කල්හී බෙහෙත් සපයනවාද?"

"ස්වාමීනී,රෝගයක් ඇති වූ විටයි බෙහෙත් සපයන්නේ රෝගයක් නැති වෙලාවක නොවෙයි."

"මහරජාණෙනි,මෙයත් එබඳු දෙයකි.සියල්ල දන්නා වූත් සියල්ල දක්නා වූත් අප භාග්‍යවතුන් වහන්සේ එයට අදාළ කරුණක් නැති නම් ශ්‍රාවකයන් වහන්සේලා හට ශික්ෂා පද නොපනවන සේක.

අදාළ කරුණක් ඇති කල්හි ශ්‍රාවකයන්ට දිවි හිමියෙන් නොසිඳ ගැනීම පිණිස ශික්ෂා පද පනවන සේක."

"ස්වාමීනී නාගසේනයන් වහන්සේ ඉතා දක්ෂ වන සේක.



Saturday, April 14, 2018

ශ්‍රද්ධාවත් ශීලයත් උගසට තබා ජීවිත ජයගන්න අය




සමාජය මනින මිනුම් දඬුවලින්, සමාජ වටිනාකම් වලින් ජීවිතය ජයගත්තාය කියන සමහර නායකයන්. ප්‍රභූ පුද්ගලයන් ගැන ඔබ සිහි නුවනින් බලන්නකෝ. පිංවත් එම පිරිස්‌ වෘත්තියෙන්, ව්‍යාපාරයෙන්, දැනුමෙන්, වත්පොහොසත්කම් වලින් ජයගන්න බව ඇත්ත. ඒත් ඒ ජය ඔවුන් ලබාගන්නේ ශ්‍රද්ධාව, ශීලය යන ධර්මයන් උගසට තියලා. ඊළඟ ජීවිතයේදී මේ අයට ලැබුවා වූ මහේශාඛ්‍යභාවය නමැති මුදලත්, ඊට අදාළ පොලියත් දෙකම ගෙවන්න වෙනවා. පෙර මනුෂ්‍ය ජීවිතවල ඉපැදිලා, ශ්‍රද්ධාවත් ශීලයත් උගසට තබා ජීවිත ජයගන්න අය තමයි ඔය ප්‍රේත, තිරිසන් නිරයේ උපත ලබා දුක නමැති මුදලත්, පොලියත් දෙකම සිය කැමැත්තෙන්ම ගෙවමින් ඉන්නේ. ඔබේ ඔය ඇස්‌ ඉදිරිපිටම ඉන්න තිරිසන් සතුන් කියන්නේ පෙර ජීවිතවල හොඳ හොඳ මනුෂ්‍යයෝම තමයි. හොඳට හම්බකරලා, දේපළ රැස්‌කරලා, පංචකාම සම්පත් රිසිසේ භුක්‌ති විඳලා. ශ්‍රද්ධාව ශීලය දානය කියන දුකින් මිදෙන දිශාවට ඔබට පිහිටවෙන ධර්මයන් අමතක කරපු මනුෂ්‍යයෝ. මෙන්න මේ ගැන සිතන කෙනායි සසර බිය ඇති කරගන්නේ. ඔහු මතවාද, දෘෂ්ඨි, විචිකිච්ජාව සකස්‌ කරගන්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයටම අවතීර්ණ වෙනවා. සමාජයේ ගුරුවරුන් අප්‍රමානව සිටිනවා. අප්‍රමාන පතපොත තිබෙනවා. මේවා ලෝකයේ පැවතිය යුතු ස්‌වභාවයන්. විවිධත්වය කියන්නේ අනිත්‍යයයි. අනිත්‍යය තිබෙන්නේ ගැටෙන්න නොවේ. මගහැරයන්න නොවේ. අවබෝධකොට ගැනීමටයි. පිංවත් ඔබට අවබෝධය කරා යැමට පහසුම මාර්ගය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ තමාගේ එකම ගුරුවරයා බවට පත්කොටගැනීමයි.

සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ වරක්‌ සිංහනාදයක්‌ කරනවා ‘මම හරියට හරක්‌ රැළක සිටින අඟ කැඩිච්චි ගොනෙක්‌ වගෙයි’ කියලා. ඒ කියන්නේ අඟ කැඩිච්චි ගොනා සැමවිටම රැලේ පැත්තකට වෙලා සිටින්නේ. නායකයා වෙන්න, පළවැනියා වෙන්න එන්නේ නැහැ. සිංහසෙයියාවෙන් සිංහනාද කරන්න පුළුවන් නිහතමානීභාවය ජීවිතය තුළින් ඇති කරගත් උත්තමයාටමය. මේ යථාර්ථය සමග ඔබේ ජීවිතය හොඳින් ගළපා බලන්න. එයම පිංවත් ඔබේ ජීවිතයට කමටහනක්‌ වේවි මග නොමඟ වටහාගැනීමට.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

 පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

Wednesday, April 11, 2018

බුදු දහමේ අධ්‍යාත්මය : දුල්ලභෝ මනුස්සත්තභාවෝ(මිනිසත් බව දුලබය)



මිනිසත් බව දුලබය.එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේය.ලොව්තුරා බුදු බව පසේබුදු බව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මඟ සදා ගැනීමට මිනිසත් බව ඉවහල් වන්නේය.බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳිම මේ මිනිසත් බවින් ලබන්නට ඇති ඉතා සුළු ප්‍රයෝජනකි.මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජන නම් ,අනාගත සංසාරයෙහි පිහිට වීමට ශීලසමාදානාදි කුසල ක්‍රියාවන් කර ගැනීමය.පස්කම් සැප ය සිහිනයක් බඳුය.කොතරම් උසස් ලෙස පස්කම් සැප ලැබුයේ ද ඒවායින් අනාගත සංසාරයට නපුරක් මිස යහපතක් නැත. තුණුරුවන් සේවනය නොකරන ශීලසමාදානාදි පින්කම් හි නො යෙදෙන පස්කම් සැපයෙහිම ඇලී සිටින,ඒවා නිසා නොයෙක් පව්කම් කරන මිනිසා මරණින් මතු ඔසවාගෙන ගොස් අත්හරින ලද්දක් මෙන් අපායට වැටෙන්නේය.අපායෙහි උපන් ඔහුගේ මළසිරුර නෑ මිතුරන් විසින්  සැරසු මඟින් පාවඩපිටින් මහා පෙරහරින් චිතකය කරා ගෙන ගොස් බොහෝ භික්ෂූන් වහන්සේ වැඩම කරවා උසස් කථිකයන් ගෙන්වා නන් අයුරින් ගුණ කියවා ආදාහන කෙළේ ද ඒවා අපායෙහි සිටින තැනැත්තා නො දැන ගන්නේ ය.එතැනට වැඩම කරන භික්ෂූන් වහන්සේ ඔහු ගොඩ ගැනීමට නොසමත් වන්නාහ.මියගිය ඔහුගේ ගුණ වර්ණනා කරන කථිකයෝ ද , එසේ කරවන නෑ මිතුරෝ ද ඔහු අපායෙන් ගොඩ ගැනීමට නො සමත් වන්නාහ. ඔහු ඉතා දිර්ඝ කාලයක් කළ පව්කම් වල විපාක විඳින්නේ ය. වර්ෂ කෝටි ගණනකිනිදු ඔහුට නැවත මිනිසත් බවක් නො ලැබිය හැකි වන්නේ ය.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.


Sunday, April 08, 2018

බුදු දහමේ අධ්‍යාත්මය : ආශ්‍රය අත් හළ යුතු කාරණාවන් 5ක්


බුදු හාමුදුරුවෝ වදාරනවා සදාකාලික තත්ත්වයට පත්කිරීමට මේ සිතේ තියෙන මේ බැඳීම මෙන්න මේ ආකාරයටයි කඩන්නේ. උන් වහන්සේ ක්‍රම කිහිපයක් එතෙන්දි උපුටලා පෙන්නුවා "පංච ජින්දෙ,පංච ජහේ,පංච වුත්තරි භාවයේ,පංච සංගාතිගො භික්ඛු,ඔඝ තිණ්ණෝති වුච්චති" කියලා. උන්වහන්සේ වදාරනවා. පහක් මුලින් උපුටලා දාන්න කපන්න ඕන ඒක නැති කරලා දාන්න ඕන

පහක් පාවිච්චි නොකර අයින් කරන්න ඕන. ආශ්‍රය අත් හරින්න ඕන. පහක් අවදි කරගන්න ඕන. මේ සංග පහ ගොනු කිරීම් පහ, මේ කිලුටු පහ නැතුව මේ ඕඝයෙන්. නොනැවතී ගලා යන දුක් පරම්පරාවෙන්,දුක් දහරාවෙන් ජීවිතය අයින් කරන්න කිව්වා. බුදුහාමුදුරුවන් ඔය ගාථාව කියලා තේරුවා. මේ කපන පහ මොනවාද ? යමක් ගලවනවා නම් අස් කරනවා නම් ඒක ජීවිතයට ඇලුණ දෙයක්. බාහිර දෙයක්. ඒක තමයි ගලවන්නේ. ජීවිතයේ ම එකක් නම් ගලවන්ට බැහැ. ඒ කපා දමන පහ ම බුදුහාමුදුරුවෝ වෙන් කළා.

1. සක්කාය දිට්ඨිය - වැරදි පිළිගැනීම

2. විචිකිච්ජා - සැකය, තමාහට ඉන් සැපයක් ලැබෙයි දෝ හා නොලැබෙයි දෝ යන සැකය.

3. සීලබ්බත පරාමාස - අනුගමනය කරන වෘතය හෙවත් ක්‍රමය. සැප සඳහා වෘත සෙවීම.

4. කාමරාග - කැමත්ත පදනම් කරගෙන නැවත නැවත ඇලීම.

5. ව්‍යාපාද - රත්වීම

මේවා වැවෙන්න දෙන්න එපා. ඒ මතුවේවි එන එව්වා ඔක්කොම මට්ටම් කරලා දාන්න ඕන ඒක ක්‍රමානුකූලව කපලා  කපලා  සම්පූර්ණයෙන් ම මොට්ට වෙනකල් ම කැපීමයි ඉන් අදහස් කරන්නේ. මේ සක්කාය දිට්ඨිය කියන්නේ අපේ ජීවත්වීම පිළිබඳව මිම්මක්, වැරදි පිළිගැනීම විචිකිච්ජාව කියන්නේ අපේ මේ වැඩ වලින් සැප ලබන්න පුළුවන් ද, බැරි ද යන්න ගැන අපේ නැහැ විශ්වාසයක්. සීලබ්බත පරාමාස කියන්නේ බාහිරෙන් සැප සෙවීම. සැපය සඳහා විවිධ වු වෘත සෙවීම කාම රාග කියන්නේ. කැමැත්තෙන් ඇලීම. ඕන ම එකක් එක්ක යොමු වෙලා ඒකත් එක්ක පවතින ගතිය. කොයි සිතෙත් තියෙනවා. යොමු වෙලා පවතින ගතිය. තිබුණාට කිසි ම දෝෂයක් වෙන්නේ නැහැ. මේකට වැරදිලා තියෙන්නේ ඒකට කැමති වෙන එක යි. ඒකට බැඳීමක් ඇති වෙනවා. අන්න ඒ බැඳීම නිසා ඒ බැඳීමේ ප්‍රමාණයට සිතේ රත්වීමත් වැඩි වෙනවා.මතුවෙනවා.බැඳුණේ කොයි ප්‍රමාණයට ද ඒ ප්‍රමාණයට  සිතේ රත්වීමත් වැඩි වෙනවා. එතකොට සිතේ රත්වීම යි මේකේ ඇතිවන පීඩාදායක අවස්ථාව. ඒ පීඩාදායක අවස්ථාවන්ට සිත පමුණුවන්න මූලික වෙන ආධාර වන කොටස් හතරක් බුදුහාමුදුරුවෝ වෙන් කරලා  පෙන්නුවා.එතකොට මේ බුදු හාමුදුරුවන් විග්‍රහ කරන්නේ ඒ හාමුදුරු ගොල්ලන් විතරක් නොවෙ යි. අද අපිත් ඉන්නේ දුක් සහිත මට්ටම ක. ඒ මට්ටමේ ඉන්න අපි දුක් ජීවිතයක් ගත කරන්නේ මොකක් නිසාද ? ඕනම කරුණක දී අපේ සිතුවිලි පහළ වෙන්නේ එක්තරා රත්වීමක් උඩ යි. වැඩි ප්‍රමාණයක රත්වීමක්. ඉතින් කොයි එක සිතුවත් අපට සතුටක් නැත්තෙ ඕකයි. අන්න අසවලා ඉඩම් අක්කර ගණනක් ඔයා ගේ නමට ලිව්වා යි කිව්වත් ඒක ත් එයාට උසුලන්න අමාරු යි. ඉතින් තිබුණාට වඩා දෙගුණයක් දැඟලිලි පටන් ගන්නවා. ඒක උහුලන්න බැරි මට්ටමක සිත ක් එයාට ඇවිලිලා තියෙන්නේ. ඒ ඉඩම ලැබෙන්න ඉස්සර වෙලා එයාගේ චිත්ත මට්ටම බොහෝ ම ශාන්තව තිබිලා තියෙනවා. ඒ ඉඩම ලැබුණා ට පස්සේ අන්න මහා කලබැගෑනියක් පටන් ගන්නවා. මිනිහා අරයට මෙයාට කථා කරනවා. කාරෙකකට කියන්න අහවලා ගේ ගෙදර යන්න එන්න කියලා,මහා ගොඩක් දේවල්. ටිකක් ඉඳලා හා හොඳයි ඉඩමකුත් ලැබිලා තියෙන්නේ. එයා දන්නවා ඉඩම කාක්කෝ ගෙනි යන්නේ නැති බව,ඒ වරද ඉඩමේ වරදක් ද ? ලිව්ව එකේ වරදක් වත් නොවෙයි. සිතක් අරමුණු ගන්න කොට අර පහළ වෙන සිතට ගිනි කාර කම වැඩි කරන්න හේතු තියෙනවා. නොයෙක් දේවල්වලට ලෝභ කරපු ලෝභ සටහන් ඒවා එනවත් එක්ක ම මේ ලෝභ සටහන් මතක් වෙනවා. ලෝභය තියෙනවා නම් එක ද්වේෂය මිශ්‍ර යි.ඒවායින්  එවන ගින්න යි මෙයාට ඔරොත්තු දෙන්නේ නැත්තේ.ඒ රත්වීමට යි මෙයා කන් දුන්නේ. අන්න ඒ විදිහේ තත්වයකට යි ඔය ව්‍යාපාද කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.



කිඩාරම් මල අපිට කියාදෙන අයෝනිසෝ මනසිකාරය



නරක ස්වරූපය වැඩ කරන කොට තව එකක් පෙන්නනවා. ඒ ඇදහිලි නැතිකම. ඇදහිලි නැතිකම කිව්වේ එයා ලඟ අර අසත්පුරුෂකම කොයි තරමින් වැඩ කරනවාද කිව්වොත් අර සත්පුරුෂ ධර්ම මිශ්‍ර වෙච්ච මොන ම දෙයක්වත් එය පිළිගන්නේ නැහැ. කොයි එකේ හරි හොඳ හෝ නරක, පව් කරපුවහම කොච්චර නරකද ආදී ඒවායේ එයාට ඇති හොඳකුත් නැහැ. නරකකුත් නැහැ. නරක ආභාෂයම යි එයා ගන්නේ. අර කිඩාරම් ගසක් පැලවෙලා එකේ මලක් පිපුනහම දුර්ගන්ධය යි  විහිදුවන්නේ. මොකද ඒ ? අර ගස අදින රසය. ඒ දුර්ගන්ධය ම නිපදවන ඒවා වීම නිසා යි.ඇදපු පොහොරවල හැටි. ඒ කිට්ටුව ම රෝස ගස් තියෙන්න පුළුවන්. නමුත්, කිඩාරම් ගස අදින්නේ ම අර දුර්ගන්ධ රසායන. අන්න ඒ වාගේ, අපේ ජීවිතයේ අපි මේ දුක් විඳින ගති, විෂම ගති සකස් කර ගෙන යි  තියෙන්නේ. අර ඒකට ඇදලා තියෙන පොහොරවල ඇති විෂම ගති නිසා අපි හැමවිට ම දුක් විඳින ශක්තියත් ඒ ධර්මයන්ම යි අපි සකස් කරගෙන තියෙන්නේ. අපිව පිනවමින් ජීවිතය ගෙන යන්න පුළුවන්. මොන ම  දුකක් නැතිව අපිට ඉන්න පුළුවන්. නමුත් ඇදලා තියෙන විෂම ගති නිසා දුකට ම වැටෙනවා. ඒ සැප අයිති අපට ලබන්න බැහැ. එයාට කුසල අකුසල වැඩක් නැහැ මෙලොවක් නැහැ,පරලොවක් නැහැ. ශ්‍රේෂ්ඨ ගුණගරුක පුද්ගලයෙක් නැහැ. ඒ ආදි මොකක් වත් එයා පිළිගන්නේ නැහැ. අන්න ඒ විදියේ තත්වයක් අර ඇදහැලි නැතිකමේ තියෙන්නේ. එදා විතරක් නොවෙයි අදත් අපි ගාව මේ තත්ත්වය තියෙනවා. මා ඇතුළු අපි හැමදෙනා ළඟ ම මේවා තියෙනවා. ඒ මොකද තියෙනවා කියන්නේ ? අපි කටින් කියනවා, ඔය පව් වැඩ කරන්න හොඳ නැහැ. සතර අපායේ දුක් විඳින්න වෙනවා.හැකි තාක් පින් කරන්න ඕන කියලා. නමුත් අර සත්‍ය, අසත්‍ය පිළිනොගන්නාකම, ඇදහැලි නැතිකම අපි ළඟ අදත් තියෙනවා.ඒ තියෙන්නේ මොකද ? අවස්ථාව පැමිණි විට, එයා දන්නවා නරක වචන කිව්වහම පාපයක් බව, ඒක හොද නැති බව.නමුත්, ඒක අභිබවා අරවා වැඩ කරනවා. අර අසත්පුරුෂ  සම්බන්ධතාවයන් අසද්ධර්ම ශ්‍රවණයන් නිසා ගොනු වෙච්ච  ඇදහැලි නැතිකම නිසා අර යහපත් පැත්තට, අර්ථවත් පැත්තට කිසිවක් වැඩ කරන්නේ නැති ව දුක් පැත්ත ම මතු කරනවා. අරවායින් ම ඔප මට්ටම් වෙච්ච නිසා යහපත් පැත්තට මොනම දෙයක්වත් ඒක පිළිනොගන්නා තත්ත්වයක් ඇතිවෙනවා. දැන් පත්තෑයෙක් වැටුණොත් පව් පින් බලන්නේ නෑ අර අහිංසක සතා ඉවර කරලා. මරලා. නැතිකරපු පුද්ගලයා දන්නවා ඒක පාපී ක්‍රියාවක් බව. නමුත්, එයා ඒ සිද්ධිය ඉදිරිපත් කරන්නේ අනිත් අයට අනුකම්පාවෙන් කරපු දෙයක් හැටියට. අනිත් අය කෙරෙහි මහා කරුණාවකින් කරපු වැඩක් හැටියට එයා පෙන්නන්න හදනවා. අර ඇදහිල්ල නැහැ. අවස්ථා පැමිණි විට යි හොද වීමක් ඕන වෙන්නේ. පිළිගන්ට ඕන අවස්ථාව පැමිණි විට යි. හොඳකම කියන්නේ අවස්ථා පැමිණි විට හොඳ වෙන එක යි. එහෙම නැතිනම් එයා ළඟ අර ඇදහිලි කම නැහැ. ඒක යි මෙතන මේ බුදු හාමුදුරුවන් පෙන්වන්නේ.

ඒක නැති වෙනකොට එයා වැටෙනවා අයෝනිසෝ මනසිකාරයට. මේ පෙන්නන්නෙ එයා ගමන් කරන මාර්ගය යි. අයෝනිසෝ මනසිකාරය කිව්වේ මේක ආරම්භ වෙන්නේ කොහොමද ? ඇයි මට මෙහෙම වෙන්නේ ? ඇයි මම දැන දැනත් මේ වරද කරන්නේ ? මේ එකක් ගැන වත් සොයන පුද්ගලයෙක් නොවෙයි එයා. සෙවීමට මොන විදිහක වත් අවශ්‍ය කමක් නැහැ. තමාට මේ විදියේ නරක දෙයක් කරන්න. මේකේ මුලධර්ම ගැන සොයන්න  කිසිත් වුවමනාවක් නැහැ. ඇයි වුවමනා නැත්තේ. ඇතුළේ සකස් වෙලා තියෙන ශක්ති ස්වරූපයට මෙයා යට වෙන්න ඕන. දැන් මඩ වළක වැටුණ මිනිසා, එයාට පිරිසුදු වෙලා එතන ඉන්න බැහැ. මඩත් එක්කම යි ඉන්න වෙන්නේ. මිනිහාගේ වරද නොවෙයි අර හැදිච්ච ධර්මවල වරදයි. අර්ථ අනර්ථ සොයන්නට අපිට  ඉඩක් හම්බවෙන්නේ නැහැ. මේ ධර්ම වල මිශ්‍රණය තියෙන තුරු හොඳ පැත්තට විග්‍රහයක් කරන්න බැහැ. අපගේ මේ වග විභාගයක් නැතිකම අදත් තියෙනවා. මේ ධර්ම සංශෝධනය කිරීම තමයි අපි විසින් කළ යුතු වන්නේ දුකක් නැතිව අර්ථවත් ජීවිතයක් ගෙවීමට පුළුවන් වන්නේ එවිටය.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

Sunday, April 01, 2018

බුදුදහමේ අධ්‍යාත්මය : හෙළා දැකීමේ ක්‍රියාව




හෙළා දැකීමේ ක්‍රියාව බොහෝ විට වචන යෙදීමෙන් කෙරේ. කෙනෙකුගේ ජීවිතය පවත්වාගෙන යන තත්ත්වය පහත හෙළා පහත් මට්ටමකට තල්ලු කිරීමේ චේතනාවෙන් හෙළා දැකීමේ ක්‍රියාව ඇරඹෙයි. අමනාපය ප්‍රකටව පෙන්වීමේ අවස්ථාවල පමණක් මේ තත්ත්වය උදා වනු ඇත. සමච්චල් කිරීමේදී අමනාපය අප්‍රකට වූවකි. හෙළා දැකීම එදිරි පිරි මැසීම සඳහා යොදා ගන්නා එක් ක්‍රමයකි. වෛරය මතු වී ක්‍රියා ෆ්කරන මෙම අවස්ථා වල ඇති අගුණ පමණක් නොව නැති අගුණ ද කියා පෑම කාරණය සාර්ථක කරගැනීම සඳහා යොදනු ඇත. සමාජය විසින් හොඳ යයි සම්මත කර ඇති පුද්ගලයකු පිළිබඳ හෙළා දැකීමේ ක්‍රියාව යොමු කරන්නේ සමාජයෙන්  ඔහුට ලැබී ඇති ගෞරවය නැති කර පහත් පුද්ගලයෙකු සැටියෙන්  හැඳිනීම ඇති කිරීමටය. යමෙකු ඔහු පිළිබඳ හොද පැත්ත අවුස්සා පෙන්වන්නේ නම් එය බිඳ හෙළිය හැකි දේ හැකි පමණ ඉදිරිපත් කර එම මත බිඳ හෙළිමට උත්සාහවත් වීම හෙළා දැකීමේ ‍යෙදෙන්නාගේ ක්‍රියාවයි.

එහෙත් මෙම කාරණය සඳහා යොදන සෑම වචනයක් පාසාම හෙළා දැකීමේ යෙදෙන්නාට සිදුවන අනර්ථය ඔහු නො දනී. අන්‍යයන් රිදවීම සඳහා යොදන උත්සාහයේදී තමන් තුළ රිදවන තත්ත්වය උදා වන බව නො දන්නේ ද්වේෂයේ බලවත්කම නිසාය. පුද්ගලයකු තුළින් මතු වන ද්වේෂ ශක්ති  තුළ විවිධ ශක්ති හා විවිධ ස්වරූප ඇතුළත් වී ගනී. කෙනෙකු හෙළා දැකීමේ අදහස මතු වන්නේ ද්වේෂයේ උපරිම ලක්ෂණයක් වූ වෛරී ගතිය ඉදිරිපත් වීමෙන්ය. ද්වේෂයේ උපරිම ශක්තිය ක්‍රියාකරන්නේ වෛර ස්වරූපයට පත් වීමෙනි. කෙනකු ගසන පහර ඉවසා ගැනීමට අපහසු වූ විට අනිකා ද ගසයි.එය අවස්ථානුකූලව අවදි වූ ද්වේෂයේ ලක්ෂණයයි. ක්‍රෝධය නමින් එය හැඳින්වෙයි. වෛරය යනු සිතේ තැන්පත් ද්වේෂ තත්ත්වයයි. වෛර නිමිත්ත හමු වූ විගස මතු වන්නේ ඊට රිදවන අදහසකි. හෙළා දැකීමේ ක්‍රියාව ඇරඹෙන්නේ එම හේතුවෙන් ය.

සමච්චලය තරහ සිතකින් නො කරන බවක් පෙන්වයි. එය ඇත්ත විය හැකිය. එහෙත් එය ද්වේෂ චරිතය තුළ පවතින කථා ආකාරයකි. ඔහුට හමුවන කවරෙකු හෝ රිදවීමේ අදහස සිතට එයි. එවැන්නන්ගෙන් යමෙක් ඇසූ විට ද පිළිතුරු ලැබෙන්නේ ඇසූ පුද්ගලයාගේ සිත රිදෙනකාරයෙන්ය. සිතා මතා එය කරනවා නො විය හැකිය. එම වචන සංවිධාන කරන ද්වේෂ ගතිය විසින් ම එසේ යොදයි. ඇතැම් විට පසුව තමාගෙන් සිදු වූයේ වරදක් යැයි සිතා පසුතැවිලි වන අවස්ථා ද තිබේ.

මෙම ක්‍රමය පිළිබඳ සිතන විට කතා කිරීමට යොදා ගන්නා වූ වචන තුළින් ජීවිතය අනර්ථයට හෙළන තත්වය උදාවන හැටි සිතාගත හැකිය. බොහෝ විට ස්වාමි භාර්යාවන් අතර බහින් බස් වීම සාමාන්‍යයෙන් ඇතිවන සිද්ධියකි. ඊට හේතුව පිළිබඳ ඇතැම් විට ඒ දෙදෙනාම නො දන්නා අවස්ථා ද ඇත. එහෙත් අමනාප තත්ත්වයේ කථා හුවමාරු වී අමනාපය දික්වීමේ තත්ත්වයට ද පත් වී ගනියි. ඊට හේතු වන්නේ දෙදෙනා තුළ ම ද්වේෂය තදින් බලපාන තත්වය තිබීමයි.එක් අයකු තුළ එය තිබීමෙන් එතරම් උග්‍ර තත්වයකට පත්වීමට තිබෙන ඉඩ වැසී යයි. දෙදෙනා තුළ ම එම තත්ත්වය තිබීමෙන් වටිනා ජීවිත කීපයකට අනර්ථය සිදු වනු ඇත. ද්වේෂය ඇති සිත නිතර පවතින්නේ නොරිස්සුම් තත්වයෙනි. යමක් ඇසුවිට අසාන්නාගේ සිත රිදෙන අයුරින් පිළිතුරු ඉදිරිපත් පත් වන්නේ ඇතුළේ පැසෙමින් තිබුණු ද්වේෂ තත්ත්වය වචනයට මිශ්‍ර වීමෙන්ය.එවැනි පිළිතුරු ඔරොත්තු නොදෙන තත්වය අනිකා තුළ තිබීමෙන් මතුවන්නේ ද්වේෂය වර්ධනය වන පිළිතුරකි.

මෙම අවස්ථාව විසින් පෙන්වන්නේ වචන තුළින් ජීවිතය දුකට වැටෙන ආකාරයයි. මෙම තත්ත්වය යමෙකු  ඉවත් කර ගන්නේ නම් පිටවෙන සෑම වචනයකින්ම සැපය සැනසිල්ල ලැබිමට හේතු වෙනවා ඇත.එම තත්වයට සිත පත් කර ගැනීමේ උත්සාහය යොමුවිය යුත්තේ කෙලෙස්වල බලපෑමට සිත යටකර නො ගෙන අන්‍යයන්ව පෙළීම සඳහා යෙදීමට සිතෙන වචන යෙදීමේ වරද සිතට පෙන්වමින් ක්‍රියා කිරීමේ තත්වයට තමා සංවිධානය වීමෙනි. මෙම කරුණෙහි ලා සිහිය පිහිටුවීම ඉතා වැදගත් කොටසය. සිහිය යනු සිතේ ඇතිවන අදහස් වල තත්වය දැන ගැනීම සඳහා අවධානය යොමු කිරීමය. මෙය එතරම් අපහසු ක්‍රියාවක් නොවේ. සිතන සිතිවිල්ල දැනීම කා තුළත් තිබේ. එය පිළිබඳ විමසිල්ල යොදා එහි ඇති හොඳ නො හොඳ සිතා ගැනීමට පමණක් ඉවසිලිමත් විය යුතුය. නරක තත්ත්වයට සිත පත් වී ඇති බව තේරුම් ගත් විට එම තත්ත්වය මඟ හැරෙන තෙක් කතා නො කිරීම හෝ වැරදි තත්වය ඉවත් කර හොඳ තත්වය ඇතුළත් කිරීම එහිදී ගත යුතු මගය. එම න්‍යාය යටතේ සිත සංවිධානය කිරීම ට පුරුදු වන්නාගේ උත්සාහය දියුණු වන පමණට බොරු කීමේ අවශ්‍යතාවය  ඔහුගෙන් ඉවත් වෙයි.එහි අවශ්‍ය කමක්,ඔහුට නැති වී යයි. කේළාම් කියා දෙදෙනෙකු බිඳවීමේ නින්දනීය ක්‍රියාව ඔහු අප්‍රිය කරනවා ඇත. පරුෂ  වචනයක් කීමට තරම් රෞද්‍ර තත්ත්වය සිතේ මතු නො වනවාත්.කෙලෙස් මිශ්‍ර කථා කිරීමේ හුරුව ඔහුගෙන් ඉවත් ව ඇති පමණට කොපමණ කථා කළත්, ප්‍රලාපවලට වැටෙන තත්වයේ  කථා ඔහුගෙන් නො කියවෙනවා ඇත.

එම තත්වයට සිත පත් වී ඇති පුද්ගලයාගෙන් කියවෙන වචනයක් පාසා පුණ්‍යමය ස්වරූපය ඇතුලත්වී ගනී. එසේම එහි ඇති වන්නේ මෛත්‍රී වචීකර්මය බවද පිළිගත යුතුය. එම තත්ත්වයට පත් සිතේ දියුණුව ඇතිවන පමණට සැනසිල්ල ඇති වෙනවා ඇත. වචනයක වටිනාකම හා නො වටිනාකම මතුවන්නේ එය පරිහරණය කරන්නාගේ දැනීමේ හරිකම හා වැරදිකම මත බව මෙයින් පැහැදිලි වනු ඇත.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

බුදුදහමේ අධ්‍යාත්මය : මේඝිය සූත්‍රය






පරණ පුරුදු වලටමයි හිත නැමෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. අපට තියෙන්නේ  ලෝභ,දෝෂ,මෝහ එක්ක මිශ්‍ර සිතුවිලි පරිහරණය කරලා ඒවායෙන් දුක් විඳපු හුරුව යි. වෙන හුරුවක් අපට නැහැ. ඒක නිසා, හැම වෙලේ ම ලෑස්තියක් තියෙන්ඩ ඕනෙයි කිව්වා. කල්‍යාණ සහය කිව්වේ ඒකයි. හැම වෙලේම තමන් ළඟ ලෑස්තිය අර හොඳ පැත්ත සංවිධාන කරපු වට්ටෝරුවත් එක්ක. මෙයා දැන් ලෑස්ති ව ඉන්නවා ලෝකය පිළිගන්න. කොහොමද ? තමන්ට අනර්ථයක් නො වෙන අන්දමට. දැන් අපට කෙනෙක් හම්බ වුණාම අපි පුරුද්දට අනුව අපට හිතන්න පුළුවන් මෙයා මෙහෙම යි. එයා එහෙම යි කියලා. එහෙම නො සිතන්න තමන් ළඟ ලොකු ලෑස්තියක් තියෙන්ඩ ඕන. නැත්නම් ඒක කෙරෙන්නේ නෑ. කරන්ඩ බැහැ. ඒ මනුස්සයාට දොස් කියන්න බැහැ අපට.එයාගේ ආත්මයට දොස් කියන්න බැහැ. ඒක එහි පවතින ස්වභාවය යි.ඒ ස්වභාවය මකන්න යි අපි  බෞද්ධයන් වශයෙන්.සත්වයන් හැටියට දුක් විඳිම ස්වභාවික යි. එයින් පිටස්තර අපි සැනසිල්ලට පත් වීමට උත්සාහයක් දරනවා.ඒ උත්සාහය අස්සේ අපි පහු කරපු අතීත සංසාර යි. මුළු  සංසාරය ම එක්ක මහා සටනක් කරන්නට වෙනවා.

මේක හරියට කියනවා නම් යම් පුද්ගලයෙක් හමුදාවට බැඳිලා හුරු පුරුදු කම් ඇති කරගෙන එයා යුද පිටියට යන දවසක් තියෙනවා.කෙළෙස් සටන සඳහා සියලු අවි පරිහරණය ඉගෙන ගෙන පරාජය නොවීමට තමන් පිළිපැදිය යුතු ආකාරය හුරු කරගන්නවා වාගෙ යි.  මේ කාරණා තුනෙන් (කල්‍යාණමිත්ත, කල්‍යාණ සහාය , කල්‍යාණ සම්පවංක) අපට බලාගන්න පුළුවන්  චිත්ත දියුණුව සම්බන්ධයෙන් අපි කොච්චර ඈතින් ද ඉන්නේ කියලා. හැතැප්ම ලක්ෂ ගණනක් ඈතින් ඉන්න බව පේනවා. බෞද්ධ අපිට මේක යාන්තමින් වත් දැක ගන්ඩ  හම්බෙලා තියෙනවා. නමුත් අපි බෞද්ධයන් වශයෙන් පෙනී සිටිනවා පමණයි.මේ විදියට යමෙකුගේ ජිවිතය සංවිධානය වීමට සිතෙන්ම අවංකව අදහස ආවා නම්, එදාටයි ඒ පුද්ගලයාගේ බෞද්ධකම ආරම්භ වන්නේ. බෞද්ධ කම කියන්නේ බුද්ධිමත් කම ජීවිතය සමඟ සම්බන්ධ කර ගැනීම යි.ඒ බුද්ධිමත්  කමේ අරටුව දුකක් නැති කමයි. යම් පමණකට අපි දුක් විඳිනවා නම්, ඒ පමණට අපි ළඟ බෞද්ධ කම නැහැ. කල්‍යාණ ශබ්දයෙන් පෙන්වන්නේ ඒ බුද්ධිමත්කම සකස් වීම යි. මේ කාරණා තුන(කල්‍යාණමිත්ත, කල්‍යාණ සහාය , කල්‍යාණ සම්පවංක) දැනගත්තහම එක සකස් කර ගැනීම පහසු යි. මේ ටික  හොඳින් තේරුම් අරගෙන ජීවිතවලට සම්බන්ධ කර ගත්තොත් දිට්ඨධම්ම කුසල විපාක වශයෙන් සැනසීම මේ ජීවිතයේදීම ලබන්නට පුළුවන්

අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

සාධු සාධු සාධු ...........!!!

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...