Sunday, April 08, 2018

කිඩාරම් මල අපිට කියාදෙන අයෝනිසෝ මනසිකාරය



නරක ස්වරූපය වැඩ කරන කොට තව එකක් පෙන්නනවා. ඒ ඇදහිලි නැතිකම. ඇදහිලි නැතිකම කිව්වේ එයා ලඟ අර අසත්පුරුෂකම කොයි තරමින් වැඩ කරනවාද කිව්වොත් අර සත්පුරුෂ ධර්ම මිශ්‍ර වෙච්ච මොන ම දෙයක්වත් එය පිළිගන්නේ නැහැ. කොයි එකේ හරි හොඳ හෝ නරක, පව් කරපුවහම කොච්චර නරකද ආදී ඒවායේ එයාට ඇති හොඳකුත් නැහැ. නරකකුත් නැහැ. නරක ආභාෂයම යි එයා ගන්නේ. අර කිඩාරම් ගසක් පැලවෙලා එකේ මලක් පිපුනහම දුර්ගන්ධය යි  විහිදුවන්නේ. මොකද ඒ ? අර ගස අදින රසය. ඒ දුර්ගන්ධය ම නිපදවන ඒවා වීම නිසා යි.ඇදපු පොහොරවල හැටි. ඒ කිට්ටුව ම රෝස ගස් තියෙන්න පුළුවන්. නමුත්, කිඩාරම් ගස අදින්නේ ම අර දුර්ගන්ධ රසායන. අන්න ඒ වාගේ, අපේ ජීවිතයේ අපි මේ දුක් විඳින ගති, විෂම ගති සකස් කර ගෙන යි  තියෙන්නේ. අර ඒකට ඇදලා තියෙන පොහොරවල ඇති විෂම ගති නිසා අපි හැමවිට ම දුක් විඳින ශක්තියත් ඒ ධර්මයන්ම යි අපි සකස් කරගෙන තියෙන්නේ. අපිව පිනවමින් ජීවිතය ගෙන යන්න පුළුවන්. මොන ම  දුකක් නැතිව අපිට ඉන්න පුළුවන්. නමුත් ඇදලා තියෙන විෂම ගති නිසා දුකට ම වැටෙනවා. ඒ සැප අයිති අපට ලබන්න බැහැ. එයාට කුසල අකුසල වැඩක් නැහැ මෙලොවක් නැහැ,පරලොවක් නැහැ. ශ්‍රේෂ්ඨ ගුණගරුක පුද්ගලයෙක් නැහැ. ඒ ආදි මොකක් වත් එයා පිළිගන්නේ නැහැ. අන්න ඒ විදියේ තත්වයක් අර ඇදහැලි නැතිකමේ තියෙන්නේ. එදා විතරක් නොවෙයි අදත් අපි ගාව මේ තත්ත්වය තියෙනවා. මා ඇතුළු අපි හැමදෙනා ළඟ ම මේවා තියෙනවා. ඒ මොකද තියෙනවා කියන්නේ ? අපි කටින් කියනවා, ඔය පව් වැඩ කරන්න හොඳ නැහැ. සතර අපායේ දුක් විඳින්න වෙනවා.හැකි තාක් පින් කරන්න ඕන කියලා. නමුත් අර සත්‍ය, අසත්‍ය පිළිනොගන්නාකම, ඇදහැලි නැතිකම අපි ළඟ අදත් තියෙනවා.ඒ තියෙන්නේ මොකද ? අවස්ථාව පැමිණි විට, එයා දන්නවා නරක වචන කිව්වහම පාපයක් බව, ඒක හොද නැති බව.නමුත්, ඒක අභිබවා අරවා වැඩ කරනවා. අර අසත්පුරුෂ  සම්බන්ධතාවයන් අසද්ධර්ම ශ්‍රවණයන් නිසා ගොනු වෙච්ච  ඇදහැලි නැතිකම නිසා අර යහපත් පැත්තට, අර්ථවත් පැත්තට කිසිවක් වැඩ කරන්නේ නැති ව දුක් පැත්ත ම මතු කරනවා. අරවායින් ම ඔප මට්ටම් වෙච්ච නිසා යහපත් පැත්තට මොනම දෙයක්වත් ඒක පිළිනොගන්නා තත්ත්වයක් ඇතිවෙනවා. දැන් පත්තෑයෙක් වැටුණොත් පව් පින් බලන්නේ නෑ අර අහිංසක සතා ඉවර කරලා. මරලා. නැතිකරපු පුද්ගලයා දන්නවා ඒක පාපී ක්‍රියාවක් බව. නමුත්, එයා ඒ සිද්ධිය ඉදිරිපත් කරන්නේ අනිත් අයට අනුකම්පාවෙන් කරපු දෙයක් හැටියට. අනිත් අය කෙරෙහි මහා කරුණාවකින් කරපු වැඩක් හැටියට එයා පෙන්නන්න හදනවා. අර ඇදහිල්ල නැහැ. අවස්ථා පැමිණි විට යි හොද වීමක් ඕන වෙන්නේ. පිළිගන්ට ඕන අවස්ථාව පැමිණි විට යි. හොඳකම කියන්නේ අවස්ථා පැමිණි විට හොඳ වෙන එක යි. එහෙම නැතිනම් එයා ළඟ අර ඇදහිලි කම නැහැ. ඒක යි මෙතන මේ බුදු හාමුදුරුවන් පෙන්වන්නේ.

ඒක නැති වෙනකොට එයා වැටෙනවා අයෝනිසෝ මනසිකාරයට. මේ පෙන්නන්නෙ එයා ගමන් කරන මාර්ගය යි. අයෝනිසෝ මනසිකාරය කිව්වේ මේක ආරම්භ වෙන්නේ කොහොමද ? ඇයි මට මෙහෙම වෙන්නේ ? ඇයි මම දැන දැනත් මේ වරද කරන්නේ ? මේ එකක් ගැන වත් සොයන පුද්ගලයෙක් නොවෙයි එයා. සෙවීමට මොන විදිහක වත් අවශ්‍ය කමක් නැහැ. තමාට මේ විදියේ නරක දෙයක් කරන්න. මේකේ මුලධර්ම ගැන සොයන්න  කිසිත් වුවමනාවක් නැහැ. ඇයි වුවමනා නැත්තේ. ඇතුළේ සකස් වෙලා තියෙන ශක්ති ස්වරූපයට මෙයා යට වෙන්න ඕන. දැන් මඩ වළක වැටුණ මිනිසා, එයාට පිරිසුදු වෙලා එතන ඉන්න බැහැ. මඩත් එක්කම යි ඉන්න වෙන්නේ. මිනිහාගේ වරද නොවෙයි අර හැදිච්ච ධර්මවල වරදයි. අර්ථ අනර්ථ සොයන්නට අපිට  ඉඩක් හම්බවෙන්නේ නැහැ. මේ ධර්ම වල මිශ්‍රණය තියෙන තුරු හොඳ පැත්තට විග්‍රහයක් කරන්න බැහැ. අපගේ මේ වග විභාගයක් නැතිකම අදත් තියෙනවා. මේ ධර්ම සංශෝධනය කිරීම තමයි අපි විසින් කළ යුතු වන්නේ දුකක් නැතිව අර්ථවත් ජීවිතයක් ගෙවීමට පුළුවන් වන්නේ එවිටය.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...