Monday, March 30, 2020

සැප ලබන පින් කරමු




යම් කෙනෙකුට අතීතය ගැන හිතලා සතුටුවෙන්ට බැරිනම්, අතීතයේ කළ කී දේ ගැන හිතලා පසුතැවෙනවා නම්, එයාට වර්තමානයේ සතුටක් නෑ. එයාට අනාගතේ සතුටක් තියේ ද? අනාගතේ සතුටුවෙන්ට විදිහකුත් නෑ. යම් කෙනෙක් අතීතයේ කළ කී දේ ගැන හිතලා වර්තමානයේ සතුටුවෙනවා නම්, එයාට වර්තමානයේ සතුට තියෙනවා. වර්තමානයේ සතුටු වෙන කෙනාට අනාගතයේත් සතුටුවෙන්ට පුළුවන්.
එනිසා අපි අතීතයේ කළ කී දේ ගැන සිතමින් පසුතැවෙන විදිහේ ජීවිතයක් ඇති කරගන්ට හොඳ නෑ. එහෙම ඇති කරගත්තොත් අපිට වර්තමානයේත් සැපක් නෑ. වර්තමානයේ සැපක් නැති නිසා ම අනාගතය උදෙසා අපිට සැපක් ඇති කරගන්ට බැරුව යනවා. ඉතින් යම් කෙනෙක් අතීතයේ කළ කී දේ ගැන හිතලා සතුටු වෙන්ට පුළුවන් නම්, පසුතැවෙන්නේ නැත්නම්, පිනා ගිය සිතින් එයාට වාසය කරන්ට පුළුවන් වෙනවා. වර්තමානයේ සතුටින් ඉන්න නිසා එයාට අනාගතයේත් සතුට උපදවාගෙන වාසය කරන්ට පුළුවන්කම තියෙනවා.

අපි කැමති වෙන්ට ඕන එබඳු ජීවිතයක් ඇති කරගන්ට. ඒ විදිහට යහපත් දේ කළ කෙනාට, අයහපත් දේ නොකළ කෙනාට වර්තමානයේ සතුටු වෙන්ට පුළුවන්, සතුට උපදිනවා. එයාට අනාගතයේදීත් සතුටු වෙන්ට පුළුවන්, මම යහපත් දේ කළා කියලා. මම මේ මේ විදිහට පින් කරගත්තා කියල එයා සතුටුවෙනවා. ඒ විදිහට සතුටුවෙන්ට පුළුවන්කම තියෙන්නේ පින් කළ කෙනාට නේද? එතකොට පින් කරන්ට නම් පිනෙන් සැප ලැබෙනවා කියන විශ්වාසය තියෙන්ටත් ඕන. ඒ විශ්වාසය තියෙන කෙනා පින කරනවා. එතකොට පින් කරපු කෙනා සතුටුවෙනවා ඒක සිහි කරලා. සිහි කරන්ට දෙයක් නෑ, එයාට සිහි වෙනවා.

එනිසා අපි කළ පින් සිහිවෙන විදිහට ජීවිතය හදා ගත්තොත් අපිට වර්තමානෙත් සතුට තියෙනවා. ඒ නිසා ම අනාගතයෙත් අපිට සතුටෙන් ඉන්ට පුළුවන්කම තියෙනවා. කළ පින් සිහිවෙන විදිහට අපේ සිත සකස්වෙන්ට නම් පින් කරන්ට ඕන. පින් කරන්ට නම් පින ගැන විශ්වාසයක් තියෙන්ට ඕන. මේ මේ දේ කළාම පින් රැුස්වෙනවා. ඒ පිනෙන් තමයි සැප ලැබෙන්නේ කියන විශ්වාසය අපි ළඟ තිබුණොත්, අපි ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් දේ කරනවා, පින් රැුස් කරගැනීම පිණිස.

ඉතින් ඒ කටයුතු කළායින් පස්සේ එයාට සිහිවෙන්නේ කළ දේ ම යි. එතන අද්භූත දෙයක් නෑ නේද? අපි යම් දෙයක් කළා නම් ඒක අපිට සිහිවෙනවා. අපි යහපත් දෙයක් කළොත්, ඒ යහපත් දේ අපිට සිහිවෙනවා. අයහපත් දෙයක් කළොත්, අයහපත් දේ සිහිවෙනවා. යහපත් දෙයක් කළොත්, ඒකෙන් සිත සතුටුවෙනවා. අයහපත් දෙයක් කළොත්, ඒ ගැන සිතලා පසුතැවෙන්ට සිද්ධවෙනවා. අපි ඒක තේරුම් ගත්තොත්, යහපත් දේ කරන්ට සිත පෙළඹෙනවා. එයා සතුටෙන් ම තමයි ඒවා කරන්නේ. එයා දන්නවා මේ කරන දේ නිසා පින් රැුස්වෙනවා, පින නිසා සැප ලැබෙනවා කියලා එයට විශ්වාසයක් තියෙනවා.

ඒක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එයා බහුල වශයෙන් ඒ විදිහට කටයුතු කරන්ට කරන්ට, එයාගේ ජීවිතේ පරිපූර්ණ විදිහට සැප ඇති කරගන්ට එයාට පුළුවන්කම තියෙනවා. සමහර අයට තියෙන ගැටළුවක් තමයි අතීතයේ කළ යම් යම් දේ සිහිකරමින් කණගාටු වෙනවා. එතකොට එයාට වර්තමානයේ සැපක් නෑ. එනිසා ම එයාට කරන දේ තුළින් හොඳ පින් රැුස්කරගන්ට බැරිව යනවා. සමහරවිට පින උපදින දේ කරනවා. එයාට සතුටු සිතින් කරගන්ට බෑ. ඇයි එයා කලින් කළ දේ සිහිකරනවා. ‘අපරාදේ මගේ ජීවිතේ මෙහෙමයි’ කියලා සිහි කරනවා. තැවි තැවී ඉන්නවා. එතකොට මේ ලැබුණ අවස්ථාව අපතේ යනවා.

එහෙනම් අපි අනාගතේ පසුතැවෙන්නේ නැති විදියට හිත හදාගන්ට ඕනැ. ඒක කළ යුත්තේ දැන් වර්තමානයේ. එනිසා අපට කල්පනා කරන්ට තියෙන දේ තමයි, අතීතයේ අපි ධර්මය දැනගෙන හිටියේ නෑ. සමහරවිට අකුසල් කෙරෙන්ට ඇති. ධර්මය දැනගෙන හිටියා නම් එහෙම වෙන්නේ නෑ. නමුත් දැන් අපිට ධර්මය ඉගෙනගන්ට ලැබුණා. හරි දේ මේකයි, වැරදි දේ මේකයි කියලා ඉගෙන ගන්ට ලැබුණා කියල සතුටු වෙන්න. පින ගැන ඉගෙන ගන්ට ලැබුනා, පිනේ විපාක ගැන ඉගෙන ගන්ට ලැබුණා, සැප ඇති කරගන්න විදිය ගැන අපිට ඉගෙන ගන්ට ලැබුණා කියලා සතුටු වුණොත්, එයා අතීතය අරභයා කණගාටුවෙන කෙනෙක් වෙන්නේ නෑ. එයා වර්තමානයේ සතුටුවෙන දේ උපදවාගෙන.

එනිසා අපිට මේ ලැබිලා තියෙන මහා ලාභය ගැන සිහිකරන්න. ඒ ලාභය සිහි කළොත් අතීතයේ වෙච්ච දේ ගැන කණගාටු වෙන්නේ නෑ. එයා සතුටු වෙනවා මට දැන් යහපත් දේ ලැබුණා කියලා. ඒත් එක්ක ම එයාට තේරෙනවා අතීතයේ යහපත් දේ නොතිබුණ නිසා ම මම අතින් අයහපත් දේ සිද්ධ වුණා. ඒකෙන් මට දැන් කණගාටුවෙන දේ තියෙනවා, පසුතැවෙනවා. එයා අනාගතේ තව දුරටත් පසුතැවෙන්ට කැමතිවෙන්නේ නෑ. එයා වර්තමානයේ ලැබුණ මහා ලාභය රැුකගන්නවා. හේතුව ඔහු ධර්මය නොදන්න කාලේ පිනක් රැුස් කරගන්ට නොලැබුණ නිසා ම වර්තමානයේ පසුතැවෙන ස්වභාවයන් එයාට තේරෙනවා. එහෙම කෙනා වර්තමානයේ ධර්මය ලැබුණාට පස්සේ ඒ ධර්මය ඉතා ම ගෞරවයෙන් සතුටෙන් පුරුදු කරගන්නවා. අතහැර ගන්නේ නෑ.

අතීතයේ ධර්මය මුණගැහුනේ නැති නිසා අපිට පින පව තෝරාගන්ට ක‍්‍රමයක් තිබුණේ නෑ. නමුත් දැන් ධර්මය ලැබුණ වෙලාවේ දී පින පව තෝරාගන්ට අපිට පුළුවන්. එනිසා ධර්මය ලැබුණ එක ගැන සතුටුවෙන්න. එතකොට අනාගතේ පින් රැුස් කරගන්න විදියට කටයුතු කරන කෙනෙක් බවට පත්වෙනවා. එහෙනම් අපි මේ සියලූ දෙනාට ම, පින ගැන, පින් රැුස්වෙන ආකාරය ගැන, පිනේ විපාකය ගැන බලවත් වූ විශ්වාසය ඇති කරගෙන, බලවත් විදියට පින් රැුස් කරගෙන, බලවත් වූ පුරුෂයින් බවට පත්වීම පිණිස භාග්‍යය උදාවේවා කියලා ආශිර්වාද කරනවා.

තෙරුවන් සරණයි...!
පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...