ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි
අපගේ මෙම රටේ ලක්‌ෂ ගණනාවක් බෝධිසත්ව ගුණැති දෙමව්පියෝ, මහත්ම
මහත්මීන්, තරුණ දූ පුතුන් සිටිති. ඒ සියලු දෙනාම මේ රටට ද
ලොවටද ආශිර්වාදයකි. ඒ වාගේම තවත් පිරිසක් නපුරුකම් පිරී
ජීවත්වෙන බවත් පෙනෙන්නට තිබේ. අවාසනාවක මහත නම් මෙම පිරිසේ
ප්‍රමාණය අඩුවන බවක් පෙනෙන්නට නොතිබීමයි. කිසියම් හෝ වෙලාවක
ඔබත් මෙහෙම සිතා තිබෙනවාද? නැතිනම් කවරකුගෙන් අසා තිබෙනාවාද?
'මේ තරම් බණ කියන රටේ ඇයි මේ තරම් අපරාධ කියල?' ස්‌වාමීන්
වහන්සේ ඔබගෙන් මෙහෙම අහන්නට කැමැතියි. 'මේ තරම්වත් ගුණ යහපත්
මිනිසුන් සකස්‌වෙලා ජීවත්වෙන්නේ මේ නිරන්තරයෙන් බණ කියන නිසා
නොවේද කියලා?'
සෑම ඉරිදාවකම අපේ රටේ සෑම විහාරස්‌ථානයකම වාගේ දහම් පාසල් පවත්වා, දරුවන්ට යහමඟ පෙන්වා දෙන්නට කොපමණ වෙහෙසක් ගන්නවාද? එය මුදලකට කරන සේවාවක් නොවෙයි. එය ස්‌වෙච්ඡා සේවාවකුයි. පොහොය දවස්‌වල සෑම විහාරස්‌ථානයකම, සිය ගණනාවකට, යම් තැනක දහස් ගණනාවකට මෙලොව, පරලොව දෙලොව ජීවිතයේම යහපත පිණිස සීල, සමාධි, ප්‍රඥ ගුණ ඔස්‌සේ මාර්ගය සකස්‌කොට දෙනවාද? සතිපතා, මාස්‌පතා, තරුණ දහම් හමුව, සිත සුවපත් කරන භාවනා මාර්ගය ඔස්‌සේත්, කිසිදු භේදයකින් තොරව මනුෂ්‍ය ප්‍රජාවට සෙතක් සලසනවාද? කලාතුරකින් යම් තැනෙක වැරැද්දක් කෙරෙනවාද දන්නේ නැහැ. එනමුත් මා දන්නා පරිදි, මේ සෑම ස්‌ථානයකම, ඉතාම සත්භාවයෙනුයි මෙම සේවාවන් සිදුකරන්නේ. මුදල් හරි හම්බ කරගන්නවත්, බෞද්ධාගමට හරවා ගන්නවත් අහිංසක දුප්පත් මිනිසුන්ව මුළා කරවන්නවත් නොවෙයි.
වර්තමාන ඔබ පවසන ආකාරයට කාර්යබහුල, හුස්‌ම ගන්නවත් වෙලාවක් නැති උදේ පාන්දර මාර යුද්ධයක් වගේ ගෙදර වැඩ ඇති, පරිසරයක ඔබට ඕනෑම වේලාවක නිදහසේ පැමිණෙන්නට හැකි එකම ස්‌ථානය පූජ්‍ය ස්‌ථානය පමණයි. බොහෝ දෙනා කලබලකාරී ජීවිත ගත කරති. තම සොහොයුරු සොහොයුරියකගේ නිවසක වුවද නොදන්වා ගියොත් දෙපිරිසම අපහසුතාවට පත්වන පරිසරයක් නිර්මාණය වෙමින් පවතී. උතුම් බුදු දහමේ ඉගැන්වෙන අපමණ වූ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්‌ඛා ගුණ මතුකොටගෙන සියලු දෙනාම මුළුමනින්ම සතුටු කළ නොහැකි වුවත්. වැඩි පිරිසකට සැනසිය හැකි මාර්ගයක් ඇතිකර ගැනීමට උත්සාහ කරමු. මේ සියලු දේ පවසන්නේ ඔබ කෙරේ කරුණාවෙන් මිස අවමන් කිරීමේ හෝ තමන් පමණක් නිවැරැදියි අනෙක් අය වැරැදියි කියන ගුප්ත අදහසකින් නම් නොවේ.
ඔබට කවුරුන් හෝ මෙසේ පවසනු ඇසී තිබේද? ඔබ සත්පුරුෂ අයෙක් ලෙස කවුරුන් ගැන හෝ මෙසේ සිතා තිබේද? 'බලන්න, අර අය කතාකරන්නේ හරියට මැරෙන්නේ නැහැ කියල හිතාගෙන වගෙයි. බලන්න, හැසිරෙන හැටි. බලමුකෝ ඔය අනුන්ගේ දේවලුත් අසාධාරණ විදියට පොදි බැඳගත්තට යනකොට කරගහගෙන අරගෙන යාවිද කියල. මේ මිනිස්‌සු නම් හැසිරෙන්නේ කතා කරන්නේ හරියට අමරණීයයි කියලා හිතාගෙන වෙන්න ඇති.' මෙවැනි අදහස්‌වල ගැබ්වෙලා තිබෙන්නේ කුමක්‌ද? සමහර පුද්ගලයෝ හොඳ නරක පින්පව් අමතක කරලා, අනෙක් අයට මොනව වුණත් කමක් නැහැ මගේ කුස පිරෙනවා නම් යන අදහසින් යුතුව කටයුතු කරන බවයි.
මේ ලිපියේ ආරම්භයේදී සඳහන් කළා මෙන්ම බෝධිසත්ව ගුණැති අප්‍රමාණ සත්පුරුෂ මනුෂ්‍යයෝ සිටිති. එනමුත් මෙලොවක් පරලොවක් පිළිබඳ විශ්වාසයක් වැටහීමක් හෝ ඒ ගැන සිතන්නටවත් ඕනෑකමක් නැති පිරිස්‌ද වැඩිවෙමින් පවතී. දිනපතාම සිදුවන හා සිතාමතා සිදුකරන සොර මැරකම්, ජීවිත හානි, කාන්තාවන්ට හා දියණිවරුන්ට සිදුවන අපරාධ මේ බවට සාක්‌ෂි දරති. මේවා වැඩිවීමට හේතු වශයෙන් විවිධ තර්කවාද ඉදිරිපත් කළ හැකිය. රටේ දේශපාලනය, ආර්ථිකය, සමාජ විෂමතාවය ලෙසින් විවිධ අදහස් ඉදිරිපත් විය හැකිය. එනමුත් අප සියලු දෙනා හැකිතාක් දුරට අපගේ හදවත්වලට ආධ්‍යාත්මයට කතා නොකරන්නේ ඇයි? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට ඇති ධම්මපදයේ සඳහන් මෙම ගාථා රත්නය විමසා බලන්න.
'අත්තනාච කතං පාපං
අත්තජං අත්ත සම්භවං'
අභිමන්ථති දුම්මේධං වජිරං
වස්‌ම මයං මණිං'
මෙහි තේරුම නම් තමා කළ, තමා කෙරෙහි උපන්, තමාගෙන්ම හටගත් පාපය, ඒ පව් කළ අනුවණයා අතිශයින්ම පීඩාවට පත් කරයි. ගලෙන් හටගත් දියමන්තිය ඒ ගලම කාදමන්නාක් මෙනි'. 'දුල්ලභංච මනුස්‌සන්තං', මනුෂ්‍ය ජීවිතයක් ලැබීම දුර්ලභය යනුවෙන් පැවැසූ පරිදි ලැබූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන්, ප්‍රයෝජනයක් ලැබිය යුතුය. ඒ මානුෂික ගුණාංග මතුකරගෙන, යහපත්වූ මනුෂ්‍යයෙක් හැටියට ජීවත්වීමෙනි. එසේ නොමැති වුවොත් ඉහත පාලි ගාථාවෙන් සඳහන් කළ අයුරින් තමාගේ විනාශය තමා විසින්ම ඇතිකරගනු ඇත. මැරෙන බව, මහළුවීම, හෝ දිරාගෙන යන බව, ලෙඩවෙන බව මතක් කරන්නේ ඔබව දිරාගෙන යවන්නට නොවේ. ලෙඩ කරවන්නටද නොවේ. මරණය කරා ඇද දමන්නටද නොවේ. අපි මතක් කළද එසේ නොමැති වුවද මහළුවීමෙන්, ඉන්ද්‍රිය දුබලවීමෙන් ලෙඩදුක්‌වලට ගොදුරු වීමෙන් හෝ මරණයෙන් අපට බේරීමක් හෝ ගැලවීමක් නැත.
ඔබ ගමන් කළත්, වාඩිවී සිටියත්, සිටගෙන සිටියත්, නිදාගෙන සිටියත්, මෙම ජරා, ව්‍යාධි, මරණ ආදී විපරිණාම ධර්ම ස්‌වභාවිකව සිදුවෙයි. මේවා අමතක කිරීමෙන් හෝ අමතක කරන්නට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ දයා, කරුණාව, මෛත්‍රී ආදී ගුණවලින් බැහැරවී පස්‌පව්, දස අකුසල්වලට යොමුවීමය. එම අවස්‌ථාවේදියි බොහෝ දෙනා පවසන්නේ මේ මිනිස්‌සු නම් ජීවත්වෙන්නේ මැරෙන්නේ නැතුවා වගේ'.
මේ අහන්න ජීවිතයේ යථාර්ථය පිළිබඳව. සත්‍යකතාව මෙයයි. ලෙඩ රෝගවලට ආකරයක් බඳු අපි සියලු දෙනාගේම ශරීර හරියට සමාන කළොත්, ඇවිදිනා වැසිකිළියක් බඳුය. ශරීරයේ ඇතුළත පවත්නා අපවිත්‍ර දැ නිතරම එළියට එනවිට ශරීරය බාහිරව පිරිසිදු කොට තබාගන්නට කොපමණ වෙහෙසෙනවාද? දවසකට කොපමණ වාර ගණනාවක් පිරිසිදු කරනවාද? ලෝකයේ හෝ අපේ රටේ වුවත් මිනිස්‌සු සුදු හෝ කළු හෝ දුඹුරු පාටින් පෙනෙන්නට සිටියත් සමේ උඩ සිවිය ඉවත් වුණොත් ලුණු ගෙඩියක පිට සිවිය ඉවත් කළා වගේ දැක ගන්න ලැබේවි. කුමන ආකාරයකින් හැඳ පැළඳ සරසාගෙන සිටියත්, දිරාගෙන යන අපවිත්‍ර දැ නිතර වහනය වන දුගඳ හමන ශරීරයේ හැබෑ ස්‌වභාවය නම් එයයි. මින් අදහස් කරන්නේ නිවැරැදි විදියට, නිවැරැදි පැවැත්මක, හඳින්නට සහ පළඳින්නට සැරසෙන්නට එපාකියන එක නොවෙයි. මින් අදහස් කරන්නේ මේ ආකාරයේ ස්‌වභාවයක් ඇති අපි සියලු දෙනා අනෙක් අය පහත්කොට සළකන්නේ? මුහුණේ පාට හෝ පෙනුම නිසා, මුදල් හෝ තනතුරු නිසා ජාති, ආගම්, කුලමල නිසා හෝ ඇයි තවත් කෙනෙක් පහත්කොට සලකන්නේ? ඇයි වැරැදි ආකාරයෙන් රාගයෙන් හෝ ද්වේෂයෙන් මුසපත්වෙලා තිරිසන් ලෝකයේ මෙන් හැසිරෙන්නේ?
යම් නිවසක, ස්‌වාමියා බිරිඳ අතර මෙවැනි වචන පෙළක් ඔවුනොවුන් කෙරේ පිටවුණොත් කුමක්‌ද හැඟෙන්නේ? 'මොකටද මේ වගේ මනුෂ්‍යයෙක් මට හමුවුණේ?' සංසාර ගමනේවත් මේ වගේ මනුෂ්‍යයෙක් නම් මට හමුවෙන්නට එපා. මම මේ උහුලාගෙන සිටින්නේ අහිංසක දරුවන් නිසයි.දරුවෝ නොසිටින්න මම මියෑදිලා වළදාපු තැන්වල ගසුත් පැළවෙලා'. මෙය කියන ඔබට හෝ කිසිවකුටත් මෙවැනි වදන් පෙළක් අසන්නට හෝ කියන්නට තරම් අභාවිත සිත්වලින් අප්‍රසන්න පවුල් පරිසරයක් ඇති නොවේවායි ස්‌වාමීන් වහන්සේ මහත්වූ කරුණාවෙන් අධිෂ්ඨාන කරන්නට කැමැතියි. මම ඔබට ආරාධනා කරන්නේ මෙවැනි වදන් පෙළක් ඔවුනොවුන් අතර ඇසෙන්නට පවුල් පරිසරය සකස් වේවා යන්නය. 'ඔබ - මම හමුවුණේ සංසාර ගමනේ පිනකට වෙන්නට ඇති. නිවන් මඟට මත්තෙන් නැවත ඉපදුනොත් නැවත හමුවෙන්නට කැමැතියි'. මෙම අදහස සසර ගමන දීර්ඝ කරන්නට පවසන අදහසක් නොවේ. මෙවැනි වචනවලින් අදහස් වෙන්නේ ජීවිතයේ සැබෑ ස්‌වභාවය තේරුම්ගෙන ජීවත්වන ස්‌වාමිපුරුෂයකුගේ සහ ස්‌වාමි දියණියකගේ හදවත්වල පහළවන සුපසන් හැඟීම්වල ගුණ සුවඳ නොවේද? 'මොකටද අපි හමුවුණේ මෙහෙම දුක්‌විඳින්නට කියා හඬා වැටෙනවාට වඩා, අපි අපට සැනසිල්ලක්.වාසනාවක් යෑයි පැවැසීමම ගෘහස්‌ථ ජීවිතයක කොපමණ නම් භාග්‍යයක්‌ද? මෙය කියවන ඔබම සිතින් කියන්න, මෙය හරිද වැරැදිද කියා. තට්‌ටු පිට ගෙයක් තිබුණත්, කාමර හත අටක් තිබුණත්, යාන වාහන තිබුණත්, තනතුරු තිබුණත්, රනින් කළ යහනාවක නිදාගන්නට හැදුවත් සිතට සැනසිල්ලක් නොමැති නම් එම ජීවිතයේ තේරුම කුමක්‌ද? ඉහත සඳහන් කරන ලද කුමන සම්පත් පැවැතියත් 'හිතේ සතුට නැතිනම්, ඔබම කෑගසා කියාවි. මේ මොනවත් මට එපා. පිං සිද්ධ වෙයි මට ඕන මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නට' කියලා. එහෙම නැතිනම් කියාවි 'මොකටද මෙහෙම සිතේ සතුටක් නැතිව දුක්‌විඳගෙන ජීවත්වෙලා' කියල.
අපි සෑම කෙනකුටම මැරෙන බව හදවතින්ම දැනගෙන ජීවත්වෙන්ට හැකිනම් සංසාර ගමනේ අපහසුවෙන් ලද මේ උතුම් මනුෂ්‍ය ජීවිතය, නහගන්නට නොව දහමින් සනසාගෙන සතුටින් ජීවත්වන්නට හැකියාව ලැබේවියි ඔබ අසා ඇති. සිංහල ව්‍යවහාරයෙහි රත්තරන් මිනිස්‌සු, මව්වත් මිනිස්‌සු, සීදේවි මිනිස්‌සු යෑයි පවසන්නේ, මුහුණේ පෙනුම, මුතු මැණික් රත්තරන් හෝ ගෙවල් දොරවල් යාන වාහන ගැන සිතා නොවෙයි. මිනිස්‌සු රත්තරන් වෙන්නේ හැදුනුකම හෙවත් සිල්වත්කමත් සමගයි. මනුස්‌සකමත් සමගයි. මනුස්‌සකම මතුවන විට නොමැරෙනවා වගේ ජීවත්වෙන්න උත්සාහ ගන්නේ නැහැ. ජීවිත ගැන ගැඹුරින් තේරුම් ගන්නට, මෙම හැබෑ පුවත ඔබට කාරුණිකව සඳහන් කරමි.
'මම, කොළඹ අවට රෝහලක ධර්ම දේශනාවක් පවත්වමින් සිටියෙමි. ධර්ම ශ්‍රවණය කරන පිරිස් කෙළවර, හිසේ කෙස් ගසක්‌වත් නැති වැඩිහිටි අම්මා කෙනෙක් අපහසුවෙන්මෙන් වාඩිවී සිටිනු දුටිමි. ධර්ම දේශනාව අවසානයේ තවත් මව්වරුන් කීප දෙනකුගේ අත්වාරුවෙන් අප වෙතට පැමිණි අම්මා මෙසේ කීවාය. 'බුදු පුතේ වාට්‌ටුවේ සිටියත් ඔබ වහන්සේගේ හඬ ඇහෙනවා. ඒ වුණත් මෙතැනට ආවේ බුදු පුතකුගේ මුහුණ දැකගන්නට ඕන නිසයි. මේ ළඟකදී ඉඳලා විශාල වේදනාවක් ශරීරයේ දැනෙනවා. හරියට තියුණු ආයුධයකින් එහාට මෙහාට අදිමින් මස් කැබලිවලට කපනවා වගෙයි. අද රාත්‍රියේද දන්නේ නැහැ ඇස්‌දෙක පියවෙන්නේ? ඒ නිසයි අමාරුවෙන් වුණත් බුදු පුතෙක් දැකගන්නට ආවේ'
'කමක් නැහැ බුදුපුතේ මට කියන්නට කතාවක් තියෙනවා. මේ අත් දෙකෙන් උයපු දන්, මේ අත් දෙනෙක් බෙදපු දන් මෙච්චරයි කියලා කියන්නට බැහැ. මේ දෙපා රිදෙනකම් මේ රටේ බොහෝ වෙහෙර විහාර වන්දනා කරලා තියෙනවා. මගේ හිතට ලොකු සැනසිල්ලක් තියෙනවා බුදු පුතේ'. මට තව කියන්න කතාවක් තියෙනවා. මගේ මහත්තයා මට මනුස්‌සයකුට වඩා දෙවියෙක්. මගේ බුදු පුතාලා දෙන්නා පිටරටක සිටින්නේ. අද රාත්‍රියේ මාව බලන්න ලංකාවට එනවා. මගේ බුදු පුතාලා දෙන්නා ගැන හිතන කොටත් හිතට ලොකු සැනසිල්ලකුයි'. මෙහෙම පවසපු අවුරුදු හැත්තෑවක්, අසූවක් පමණ වූ අම්මා, අපහසුවෙන් නමුත් ස්‌වාමීන් වහන්සේට වන්දනා කොට ආපසු යන්නට හැරුණා. අනෙක් මව්වරුන්ගේ අත්වාරුවෙන් පියවර කිහිපයක් ඉදිරියට ගමන් කළ අම්මා, ආපසු හැරී, කඳුළු පිsරි දෙනෙතින් යුතුව මෙසේ පැවැසුවා. 'බුදු පුතේ බණ කියන කොට මම වෙනුවෙන් කියන්න. මෙහෙම දුක් විඳින්නට නම් මේ සංසාරේ නැවත උපදින්නට එපා කියලා.'
මේ සිදුවීමෙන් පසුවත් එම රෝහලට මම වැඩම කළත්, ඒ මව්තුමියන් නම් හමුවුණේ නැහැ. මරණය හැබැවින්ම දැනගෙන ජීවත්වෙන සත්පුරුෂ මිනිස්‌සු, ජීවිතයේ ආපසු හැරී බලන්නේ කොපමණ නම් සැනසීමකින්ද? මනුස්‌සයන් ලෙස ඉපදී මනුස්‌සයන් ලෙසම මියෑදෙන්නට නම් මරණය අමතක නොකළ යුතුමයි.
හා සංයෝ වියෝගත්තා
සියලු එක්‌වීම් වෙන්වීමකින් කෙළවරවෙයි.
හා පියා සෝකා අන්තකා
ප්‍රේමයෝ ශෝකයකින් කෙළවර වෙති.
හා මතන්තා සජීවකා
සියලු ජීවිත මරණයෙන් කෙළවර වෙති.
නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි
No comments:
Post a Comment