නිවුන් සහෝදරයන් සමාන වන්නාක් මෙන් ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධය දෙකේ ලක්ෂණ සමානය. එහෙත් ඒ දෙකේ සැබෑ ස්වාභාවය අපි හඳුනන්නේ නැත්නම් දුක නිරුද්ධ කිරීම (නිවන් දැකීම) හෝ ආර්ය අෂ්ඨාංගික මාර්ගය (නිවන් මඟ) වැඩීමේ ධර්මතාව සිදු නොවන්නේය. එබැවින් මුලින්ම අප ‘ස්කන්ධ’ සහ ‘උපාධානස්ඛන්ධ’වල ලක්ෂණ සහ වෙනස්කම් පැහැදිලිව තේරුම්ගත යුතුය. ඒ වෙනස්කම් හඳුනාගැනීමට හැකිවන්නේ ස්කන්ධයෝ සහ පංච උපාධානස්ඛන්ධයෝ ඇතිවීමට මුල් වූ හේතු ප්‍රත්‍යයන් පිරික්ෂා බැළීමෙනි.
ස්කන්ධ යනු සෑම විටම පෙර අවිද්‍යා කථනයට හටගත් වර්තමාන විපාක වූ ස්පර්ශ ආයතන හයත් එම ආයතනවලට ප්‍රකෘතියෙන් ගැටෙන රූපාදී අරමුණුත්ය. ස්ඛන්ධවල රූපය සෑම විටම සැදී ඇත්තේ සතර මහා ධාතූන්ගෙනි. ස්ඛන්ධවල වේදනා, සංඥා, සංකාර යන චෛතසික සෑම විටම සෑදී ඇත්තේ ස්පර්ශ ප්‍රත්‍යයෙනි. ස්ඛන්ධවල විඤ්ඤාණය සෑදී ඇත්තේ සෑම විටම නාමරූප ප්‍රත්‍යයෙනි. එනම් ස්ඛන්ධ සෑම විටම සෑදී ඇත්තේ ආහාර ප්‍රත්‍යයෙනි. එහෙත් පංචඋපාධානස්ඛන්ධයේ රූපයද, වේදනාවද, සංඥාවද, සංස්කාර සහ විඤ්ඤාණය ද යන සියල්ලම සෑදී ඇත්තේ තණ්හා ප්‍රත්‍යයෙනි.
කන බොන ආහාරයෙන් සැදුණු, පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුවෙන් යුක්ත රූපයක් ඇසුරු කොටගෙන ඇති වර්ණ සහ හැඩතල සටහනක් පෙනීම රූපයක් දැකීම වශයෙන් අපි හදුනාගන්නෙමු. මේ ආකාරයෙන් රූප දැකීම කෙළෙස් ඇති නැති කාටත් එකසේ සිදුවේ. මෙය පෙනීමයි.
මේ පෙනීම යන සිදුවීම තුළ රාග, ද්වේෂ, මෝහ (අකුසල් මුල්) කිසිත් නැත. නමුත් දකින්නා තුළ මේ පෙනෙන අරමුණේ (රූපයේ) ඇත්ත ඇති සැටියෙන් නොදන්නාකම (අවිද්‍යාව) හෝ ඡන්ද රාගය (තණ්හාව) තිබුණොත් ඇතිවන දෝෂය වන්නේ ඒ රූපය දැකීමෙන් පසුව දකින්නා පැත්තකට ගියද මේ දැකපු දේ, දැකපු සිද්ධිය හෝ දැකපු කෙනා එහෙම පිටින්ම මනසේ රැඳීමය. එවිට අපට දැකපු දේ පසු අවස්ථාවකදී එලෙසින්ම නැවත සිහිකිරීමේ හැකියාවක් ඇතිවේ. ‘උපාධානස්ඛන්ධය’ යනුවෙන් හැඳින්වෙන්නේ එලෙස සිහිකළ හැකි දෙයයි. එනම් මුලින් දුටු දෙය නොව ඒ දුටු දෙයෙහි ඒ අවස්ථාවේ වූ වර්ණ සහ හැඩතල සටහනයි එලෙස සිහිකළ හැක්කේ රූපයක් වන විට එයට රූප උපාධානක්ඛන්ධය යැයි කියයි. එලෙස සිහිකළ හැක්කේ වේදනාවක් නම් එය වේදනා උපාධානක්ඛන්ධය යි. පංච උපාධානක්ඛන්ධය පැනවෙන්නේ ඒ ආකාරයෙනි. ඇස් ඉදිරිපිටට හමුවන රූපය රූපස්කන්ධයයි. එය බාහිර ලෝකයේ පවතින්නකි. එහි කෙළෙස් කිසිවක් නැත. එහෙත් එම රූපය හඳුනාගන්නා තුළ අවිද්‍යාව ශේෂයක් හෝ තිබුණහොත් හෝ අරමුණ රසවිඳගැනීමේ තණ්හාව ශේෂයක් හෝ තිබුණ හොත් (අවිජ්ජා-භව තණ්හා) දෝෂයක් ඇතිවේ. ඒ දෝෂය නම් ඇසට ගැටුණු රූපය ගැටුණු වහාම ඉතිරි නැතිව නිරුද්ධ වෙද්දී එය මනස තුළ නැවත ඒ ආකාරයෙන්ම සිහිපත් කළ හැකි මට්ටමකින් ඇතිවීමය.
ඔබගේ සිතේ දැනටත් ඇති අම්මා, තාත්තා, නංගී,මල්ලී ආදී වශයෙන් වන නැවත සිහි පත් කළ හැකි අතීත රූප යම් ප්‍රමාණයක් වන්නේද, ඒ රූපවලට රූප උපාධානස්ඛන්ධය යැයි කියයි. ඒ ආකාරයෙන්ම ඔබට නැවත සිහිපත් කළ හැකි අතීතයේ විඳි යම් වේදනාවන් යම් ප්‍රමාණයක් වේද ඒවාට වේදනා උපාධානස්ඛන්ධය යැයි කියයි. දුටු රූපයක හෝ ශබ්දයක හැඩය සිහිපත් කළ හැකි වන්නේද එයට සංඥා උපාධානස්ඛන්ධය යැයි කියයි. රූපය, ගන්ධය, රසය පිළිබඳ ඔබ සිතපු දෙයක් නැවත සිහිපත් කළ හැකි වන්නේද එයට සංස්කාර උපාධානස්ඛන්ධය යැයි කියයි. රූප, ශබ්ද, ගන්ධ ආදිය දැනගත් බව සිහිපත් කළ හැකිවන්නේද එයට විඤ්ඤාණ උපාධානස්ඛන්ධය යැයි කියයි. මේ පංච උපාධානස්ඛන්ධයම සෑදී ඇත්තේ කෙලේසයකිනි. ඇස් ඉදිරිපිටට ආ රූපස්කන්ධය (රූපය) සෑදී ඇත්තේ ආහාර ප්‍රත්‍යයෙනි. වේදනා, සංඥා, චේතනා සෑදී ඇත්තේ ස්පර්ශ ප්‍රත්‍යයෙනි. ‘විඤ්ඤාණ’ හෙවත් රූපය ගැන යම් දැනීමක් වී නම් එය නාම රූප ප්‍රත්‍යයෙනි. එලෙසින් ඒ ඒ ස්කන්ධවලට වෙන වෙනම ආහාර ප්‍රත්‍යයක් තිබේ. ඒ ආහාර නිරුද්ධ වන විට ස්කන්ධ ටිකද ඉතිරි නැතිවම නිරුද්ධ වේ. නමුත් පංච උපාධානස්ඛන්ධයට ඇත්තේ එක් ප්‍රත්‍යයකි. එහි ස්කන්ධ පංචකයම ඇතිවී ඇත්තේ අවිද්‍යා-භව තණ්හා යන කෙලේස මුල්වීමෙනි. ඔබ යමෙක් පිළිබඳ සිහිකරන විට සිහිකරන කෙනාමයි පෙර දුටුවේ කියා සිතයි. දැකපු දේමයි සිහිකරන්නේ කියා සිතයි. මනසේ ඇති ගතිය පෙනෙන දේට බඳිනතාක්, පෙනෙන දේ මනසින් සිහි කරන්නට පුළුවන්තාක් ඔබත් අපත් මේ ලෝකයට බැඳී සිටිමු. නිවුන් සහෝදරයන් පහසුවෙන් වෙන්කොට හඳුනාගත නොහැකි වන්නාක් මෙනි. ඇසට පෙනෙන වර්ණ රූප සටහන පසුව වෙනත් තැනකදී ඒ ආකාරයෙන්ම නැවත මෙනෙහි කරගත හැකිය. ඒ දෙකේම වර්ණ රූප සටහන් බාහිරින් බැලු විට එකිනෙකට සමානය. එබැවින් බාහිරින් පමණක් මේ දේවල් දකින්නා මේ දෙකම එකක් ලෙස ගැනීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් මේ දෙකෙහි වෙනසක් තිබේ. එය දැකිය හැක්කේ විශේෂයෙන් විමසා බලන්නේ නම් පමණකි. ඒ වෙනස නම් ඇස ඉදිරිපිටට පැමිණි රූපය අනාත්මය. එලෙස දැකීමෙන් පසුව සිහිකළ හැකි රූපය ආත්ම ය. සිහිකරන්නා සිහිකරන්නේ පුද්ගලයෙකු හෝ සත්ත්වයෙකු හෝ කෙනෙකු හෝ දෙයකි.
ඇහැට පෙනෙන රූපය හෝ ස්පර්ශයෙන් උපන්න වේදනා, සංඥා, චේතනා හෝ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නා විඤ්ඤාණය හෝ අරභයා අපට කළ හැකි කිසිවක්ම නැත. ප්‍රත්‍ය නිසා හටගත් එම ස්කන්ධයෝ ප්‍රත්‍ය නිරුද්ධ වීමෙන් නිරුද්ධවීම නියත වශයෙන්ම සිදුවන්නේය. සැබෑවටම සැම කල්හිම ඇස් ඉදිරිපිටට ආවේ අනාත්ම වූ, සත්ත්ව පුද්ගල නොවන, සතර මහා ධාතූන්ගෙන් සැදුණු රූප සටහනක්මය. එබඳු වූ රූප ස්පර්ශයකින් උපන් වේදනාවක්මය. එබඳු වූ සංඥාවක්මය. අපි සිතුවේ එබඳු වූ රූපයක් ගැනමය. මේ ස්කන්ධ පංචකයම අනාත්මය. මේ ස්කන්ධ පිළිබඳ ඇත්ත නොදන්නාකම ඇතිවිට පංචඋපාධානස්ඛන්ධ ලෝකය සැදේ. දැකපු දේ නැවත සිහිකිරීමේ හැකියාව ලැබේ. එයට ‘චක්ඛායතනයේ උපචය රූප’ යැයි කියයි. දැකපු දේවල් රැස්වේ. නැවත සිහිකළ හැකිවන්නේ එලෙස රැස්වුණු දේවල් පමණි. බාහිර ලෝකයේ සැබෑ වශයෙන්ම පවතින්නාවූ එහෙත් උපාධාන වශයෙන් අපගේ සිත තුළ රැස් නොවුණු දේ අපට සිහිකළ නොහැකිය. රැස් නොවුණු දේවල්ද එලෙස සිහිපත් කළ හැකිවන්නේ නම් අපට නොදුටු දෙව් ලද් සිහිපත් කළ හැකි විය යුතුය. යමක් දකින්නට කලින්ද එය සිහිපත් කළ හැකි විය යුතුය. එහෙත් එසේ කළ නොහැකිය. නිදසුනකින් දක්වතොත් කිසිදා බුද්ධගයාව නොදුටු කෙනෙකුට බුද්ධගයාව සිහිපත් කළ හැකි නොවේ. බුද්ධගයාව සිහිපත් කළ හැක්කේ එකවරක් හෝ බුද්ධගයාව දැක ඇති අයෙකුට පමණකි. ඔබ බුද්ධගයාවට කිසිදා නොගිය අයෙකු නම් ‘බුද්ධගයාව’ යැයි කී විට ඔබට කිසිවක් සිහිපත් නොවේ. වචන මාත්‍රයකින් පමණක් එය ඇසේ. එහෙත් ඔබ බුද්ධගයාවට ගිය අයෙකු නම් ‘බුද්ධගයාව’ යැයි කියන විට ඒ පිළිබඳ පෙර මතකයක් නැවත ඇතෙි ව්. එලෙස සිහිපත් කළ හැක්කේ කලින් දුටු දේ පමණකි. දැකපු දේ එක්වීමක් සිදුව ඇති බව එයින් පැහැදිලිවේ. ඔබ හුදකලාව සිටින විට ඔබේ සිතට අම්මා, තාත්තා, අයියා, අක්කා ආදී වශයෙන් සත්ත්ව පුද්ගලභාවයෙන් යුක්ත සිහිවීම් රූප උපාධානස්ඛන්ධයයි. විදර්ශණාව යනු ඒ පිළිබඳ ඇතිකරගන්නා විශේෂ දැකීමයි. දුක ඇතිවන්නේ උපාධානස්ඛන්ධයෙනි. දුක නැති කිරීමට නම් උපාධානස්ඛන්ධය නැති කළ යුතුය. එය කළ හැක්කේ කෙසේද? මේ රූප උපාධානස්ඛන්ධය පිළිනොගන්න. එය ඇත්තක් ලෙස නොගන්න. මෙය පිළිනොගෙන, ඇත්ත වෙන්නට ද නොදී ඒ රූපය දුරුකරන්න. ඒ රූපය අයින් කරන්න. ඒ රූපය බැහැර කරන්න. ඒ රූපය ගෙවා දමන්න. ඒ රූපය නැති කිරීමට උත්සාහවත් වෙන්න. එය කළ හැකිවන්නේ මෙසේය. ‘අම්මා’ කියා සිහිවන විටම එය ඇත්ත කරගෙන ඒ පිළිබඳ කැමැත්ත අකමැත්ත ඇතිවන ආකාරයෙන් සිහිපත් කිරීමක් නොකර, ඒ රූපය පිළිනොගන්න. එය කන බොන ආහාරයෙන් සෑදුණු ඇස් ඉදිරිපිටට ආ රූපයක ස්වාභාවය නොදන්නාකම නිසා තමන්ගේම සිතෙන් හදාගත්තා වූ රූපයක් බව සිහිකරන්න. ‘අම්මා’ කියා සිහිපත් වෙන්නේ පෙර දකින ලද්දා වූ රූපය ලෙස තීරණය නොකරන්න. මේ ආකාරයෙන් සියලූ උපාධානස්ඛන්ධයන් සම්බන්ධයෙන් කටයුතු කරන විට නොබෝ දවසකින් කෙලෙස් ගෙවී යයි. ඒ සඳහා බොහෝ කාලයක් ගත නොවේ. මෙලෙස උපාධානස්ඛන්ධ රූප ගෙවා දමන්නේ කෙසේද? බැහැර කරන්නේ කෙසේද? මෙසේය. උපාධාන රූපයට ප්‍රත්‍ය වූ පූර්වයෙහි ඇස් ඉදිරිපිටට පැමිණියා වූ රූපයේ යථා ස්වාභාවය, සැබෑ ස්වාභාවය පෙන්වා දෙන්න. ඇස් ඉදිරියට පැමිණි රූපය, කන-බොන ආහාරයෙන් සැදුණු කෙස් ලොම් නිය දත් සම් මස් ඇට ඇති තැනෙක තියන වර්ණ සටහනක් බව පෙන්වා දෙන්න. එය රසවිඳගැනීමෙන් යුක්තව නැරඹීම නිසා සිතේ ඇතිවූ උපාධාන රූපයක් බව පෙන්වා දෙන්න. මෙලෙස සිහිපත් වන රූපය සැබෑවක් නොව පූර්වයෙහි එම රූපය දකින අවස්ථාවේ ප්‍රමාදයෙන් වාසය කිරීමේ දෝෂය නිසා සිතේ හදාගත් රූපයක් හෙවත් උපාධානස්කන්ධ රූපයක් බව පෙන්වා දෙන්න.
අපට ඇතිවන දුක පවතින්නේ මේ ආකාරයෙන් ගොඩනැඟී ඇති රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ යන පංච උපාධානස්ඛන්ධ ලෝකය තුළය. ‘අනේ අපේ අම්මා කෑවද දන්නෑ.’, ‘අම්මට මොනව වුණාද දන් නෑ.’, ‘අනේ අපේ අම්මා ජීවත්ව ඉන්න කල් මෙහෙම උපකාර කළා. අනේ අපේ අම්මා මැරිලානේ.’ කියමින් අවශ්‍ය නම් ඔබට ඕනෑතරම් අඬන්න වැළපෙන්නට ද පුළුවන්කම තිබේ. එසේ නොකර විදර්ශණා කිරීම මගින් ඇඩීමෙන් වැළපීමෙන් වැළකී සිටීමටද හැකියාව තිබේ. කළ යුත්තේ කුමක්දැයි යන තීරණය ඔබ සතුය. ඔබගේ තීරණය සහ ක්‍රියාව කුමක් වුවද ඔබගේ හැඟීම වැළපීමට ප්‍රත්‍ය වූ ‘අම්මා’ යනු ආහාර ප්‍රත්‍යයෙන් හටගත් වර්ණ සටහනේ යථා ස්වාභාවය නම් හටගෙන නිරුද්ධ වීමය. ඒ ස්වාභාවය වෙනස් කිරීමට ඔබට හැකියාවක් නැත. ඔබට තබා ඔබේ අම්මාට හෝ ඒ ස්වාභාවය වෙනස් කිරීමට හැකියාවක් නැත. ඒ ස්වාභාවය වෙනස් කළ හැකි අන් කිසිවෙක් හෝ ලෝකයේ නැත.
නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි
No comments:
Post a Comment