Wednesday, February 28, 2018

ස්පර්ශයේ අශ්චාර්‍ය්ය

යම්සේ මහණෙනි මුළු දවසක් රත්කල යකඩ කටාහයකට යම්කිසි කෙනෙක් වතුර බිංදු දෙක තුනක් උඩ සිට දානවා.මහණෙනි ඒ වතුර බිංදු වැටීම හෙමින් නමුත් ඒක වියළී යාම ඊට වඩා ක්ෂණිකයි.ටිකකට හිතන්න,උඩ ඉඳලා වතුර බිංදු දෙක තුනක් දානවා.ඒ වතුර බිංදු වැටෙන වේගය එක දිහා බලන් හිටියොත් ඒක පිච්චෙනවා පේන්නේ නෑ.කොයි තරම් ක්ෂණිකවද කියලා. මේ උපමාවට සරිලන උපමාවක් අපට කියන්න බෑ. දවසක් රත් වෙච්ච යකඩ තලියකට වතුර බිංදු උඩින් දානකොට හෙමින් බිංදුව වැටෙන්නේ වැටෙනවාත් එක්කම පිළිස්සෙනවා.
අන්න ඒකයි ඒකෙ හැංගිලා තියෙන මනසත් ධර්මයනුත් නමුත් එක පවා යෝගාවචරයා යම් අවස්ථාවක අවබෝධ කරගත්තොත් යෝනිසෝ මනසිකාරය ඉතා සීඝ්‍රයෙන් යෙදීමෙන් ඔන්න වැටහෙනවා ආයතන උපදන හැටි මේ දෙක එකතු වෙන හැටි විඤ්ඤාණය හටගන්න හැටි විඤ්ඤාණය හට ගැනීම දැකිම තමයි.පටිච්චසමුප්පාදය දැකිම."චක්ඛුංච පටිච්ච රූපෙච උපපජජති චක්ඛු විඤ්ඤාණං". මතක් කරගන්න "පටිච්ච උපපජජති" ඇසත් රූපයනුත් නිසා චක්ඛු විඤ්ඤාණය උපදිනවා.බුදුහාමුදුරුවෝ දේශනා කළා විඤ්ඤාණය මායාවක් කියලා. ඒකනෙ කිව්වේ "මජෙඣ  මනතා න ලිපපති.යො උභනෙත විදිතවාන". කොන් දෙක හරියට තේරුම් අරගෙන මැද නොඇලෙන්නේ මොකද ? ප්‍රඥාව තියෙනවා. තේරුම් ගන්න විඤ්ඤාණ මායාව අපි කොතෙකුත් කියලා තියනවා මැජික් එකක්-විජ්ජාවක්-ඇතුළේ ඉඳලා දැක්කොත් මැජික් එක නැති වෙනවානේ.අන්න ඒ අවස්ථාවේ තමයි ඒක සිද්ධ වෙන්නේ කොහොම ද අන්න ඒ අවස්ථාවේ යෝනිසෝමනසිකාරය-අර ප්‍රඥාවේ බීජය-ප්‍රඥාවක් හැටියටම ඵලදෙනව. ප්‍රඥාව තුළ විඥානයට තැනක් නැහැ
ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ පඤ්ඤා භාවෙතබබා විඤ්ඤාණං පරිඤෙඤයං කියලා.විඤ්ඤාණයත් ප්‍රඥාවත් අතර වෙනස දක්වන්නේ  එහෙමයි.විඥානය හරියට පිරිසිඳ දැන ගන්නට ඕන.පිරිසිඳ  දැනගන්න නම් "පඤ්ඤා භාවෙතබබා" ප්‍රඥාව වැඩිය යුතුය. ප්‍රඥාව ඉහළටම වැඩු අවස්ථාවේ විඤ්ඤාණයේ හොරේ අහුවෙනවා. අහුවෙන්නේ අර විදියටයි. ආයතනයන් හටගන්නවා එතන එතනම දකිනවා.ආයතනයන් හට ගැනිම දකිනවාත් එක්කම නිරෝධ බිහිවෙලා ඉවරයි.හටගන්න දෙයක් නිරුද්ධ වෙන බව.ඒ නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා කියන්නේ ඒකයි.ඒ වෙලාවේ අන්න ශාන්ත ප්‍රණීත නිවන "ඒතං සන්තං ඒතං පනීතං" කතාව කිව්වේ ඒකයි.

පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමියන් විසින් පැවත්වූ සදහම් දේශණාවක් ඇසුරෙනි.

Saturday, February 24, 2018

කඩිමුඩියේ දුවන අපි...................😌

කඩිමුඩියේ දුවන අපි - ලෝකයක් තනන හැටි
සංසාරේ දුව දුවා  -  රාගයෙන් හති වැටි 

ද්වේෂයෙන් ගිණි ගත්ත - ලෝකයක් දිනන්ට
කළබලෙන් දුව දුවා - හැකිද මට සැනසෙන්න

මෝහයෙන් මුලා වී - එකිනෙකා පරයමින්
හැමතැනම දුව දුවා - සැනසීම ලැබුනාද

නිහඩ හුදකලාවේ - බුදු හිමිගේ භුමියේ
අරණ වී විදින සුව - දැනේවා මගේ හදට



Wednesday, February 21, 2018

මරණය ඉදිරියේ අසරණ නොවීමට නම්..................




අවිද්‍යා අන්ධකාරයෙන් වැසී සසර දුකට වැටුණු සියලු සත්වයෝ එහි අසරණ වී සිටිති. එයින් එතෙර වීමට මඟක් සොයාගත නොහැකි තරම් ඔවුන් අසරණ ය. ඉපදීම අබියස ඔවුන් අසරණ ය, ජරාව, ලෙඩ වීම, මරණය අබියස ද ඔවුන් අසරණ ය. එනිසා ම හැඬීම්, වැළපීම්, දුක් දොම්නස්, ක්ලාන්තවීම්, අත්පැහැර හැඬීම් ආදී අනේකවිධ දුක්වලින් දීර්ඝ සසර පුරා ඉපදෙමින් මැරෙමින් සැරිසරා ගමන් කරමින් සිටිති.
නමුත් භාග්‍යය නම් මෙය යි. පුරා අසංඛෙය්‍ය කල්ප ගණනක් මුළුල්ලේ පාරමී පිරූ අප මහා බෝසතාණන් වහන්සේ අවසන් භවයේ රාජකීය පවුලක ඉපිද උයන් සිරි නරඹන්නට යන ගමනේදී දුටු දසුන් පෙළකින්, දුකට පත් ලෝසතුනට පිහිට වීමේ පරම අදිටනින්… රාජකීය සම්භාෂණ පවා පසෙකලා ගිහිගෙයි දොරටු වසාලමින්, අමා නිවන් දොරටු විවර කරමින් එදා ඇසතු බෝ සෙවණේ දී දසබිම්බරක් මාර සේනා පරදවමින් ගෞතම අරහත් සම්බුදුරජුන් ලෙස ලොව පහළ වීම යි.
අති දීර්ඝ වූ සසර ගෙවාගෙන යන අපට ද ඉතාමත් දුර්ලභව ඒ උතුම් ක්ෂණය උදා වුණේ සම්බුදු කෙනෙකුගේ පහළවීමත්, අපි ලද මනු දිවියත් එකිනෙක යාවීමෙනි. නමුදු ළදරු වයස ළමා වියෙන් කෙළවර වී යයි. ළමා විය තරුණ වයසින් කෙළවර වී යයි. තරුණ බව වැඩිහිටි බවින් කෙළවර වී යයි. වැඩිහිටි බව මහලු බවින් කෙළවර වී යයි. මහලු බව මරණයෙන් කෙළවර වී යයි. මහලු බව පමණක් නොව අන් සියලු අවදීන් ද ඕනෑම මොහොතක මරණයෙන් කෙළවර විය හැකි ය.
මේ අති දීර්ඝ ගමනේ මියැදුනු වාර නම් ගණනය කළ නො හැකි තරම් ය. අප ඒ මරණයට පත්වන හැම මොහොතක ම බිය වීම්, තැතිගැනීම්, හැඬීම්, වැළපීම්, ශෝක වීම්, අත්පැහැර හැඬීම් කොතරම් නම් සිදු වී ඇද්ද?
අතීතය බැලුවත් අනාගතය බැලුවත් මරණය සහිත ගමනක් හැර කිසිවක් දැකගත නො හැක. එවන් වූ මරණයට පත් වීම් අබියස නැවතත් ශෝක නොවන්නට, ජීවිතය ගැන සැබෑ තත්ත්වය තේරුම් ගන්නට, සියලු දුකින් නිදහස් ව වැඩ සිටි බුදු කෙනෙකුගේ උතුම් ධර්මය ම පිහිට වනු ඇත.
යමෙක් මරණය ඉදිරියේ ශෝක, වැළපීම්, හඬාවැටීම් ඇති කරන්නේ නම් ඔවුන් යමක් දැඩිව අල්ලාගෙන සිටිනවා විය හැක. නො එසේ නම් තමා පිළිබඳ විපිලිසර වීමක් විය හැක, නො එසේ නම් තමා පුරුදු කළ ප්‍රතිපත්තියේ නිෂ්ඵල බව නිසා හටගත් දෙයක් විය හැකි ය.
යමෙක් කාමයන් කෙරෙහි ඇති රාගය දුරු නොකළා නම්, කැමැත්ත දුරු නොකළා නම්, ප්‍රේමය, පිපාසය, දාහය, තෘෂ්ණාව දුරු නොකළා නම් ඒ කාමයන් නිසා ම හැඬීම්, වැළපීම්, දුක්දොම්නස් උපදියි.
දිනක් කෝසල ජනපදයේ සොරකමකට හසුවී දම්වැල් දමා කඹවලින් බැඳ හිරකොට, දඬු කඳේ ගසා ලීවලින් බැඳ සිරගෙට ගෙනගිය පිරිස දැක, ඈත ජනපදයක සිට පැමිණි භික්ෂු පිරිසක් බුදුරජුන්ට මෙසේ කීහ.
“ස්වාමිනී, අප අද උදෑසනින් ම දුක්ඛිත වූ දර්ශනයක් දුටුවා. ඒ රාජ පුරුෂයන් විසින් කුදලාගෙන යන දුක් ස්වරූපයෙන් යුතු හොරු කණ්ඩායමක්. අපට නම් සිතෙන්නේ ඔවුන්ට ලෙහෙසියෙන් ගැලවිය නො හැකි තරම් මහා බන්ධනවලින් බැඳ ඇති බවයි.”
සම්බුදුරජුන් වදහළේ “මහණෙනි, ඕවා මහා බන්ධන නො වේ, වසර කිහිපයකින් ඔවුන් නම් නිදහස් වේවි. නමුත් මහණෙනි, යමෙක් ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, අඹු දරුවන් ආදී දේ කෙරේ බැඳී ඇත්නම් එයයි මහා බන්ධනය. බලවත් වූ බන්ධනය.” කියා යි.
“යමෙක් යකඩ දම්වැල්වලින් බැඳලා තිබ්බත්, දඬු කඳේ ගහලා තිබ්බත්, බබුස් තෘණවලින් කරපු ලණුවලින් බැඳලා තිබ්බත්, ප්‍රඥාවන්තයෝ බලවත් බන්ධනය කියලා කියන්නේ ඒවාට නො වේ. කන කර ආභරණවලට, අඹු දරුවන්ට බැඳී ගිය සිතින් යුක්තව ඔවුන් ගැන යම් අපේක්ෂාවක් ඇද්ද ප්‍රඥාවන්තයෝ අන්න ඒකට යි බලවත් බන්ධනය කියන්නේ. ඒක හරි ලිහිල්ව පෙනුනට අපායට ඇදගෙන යන්න පුළුවන් වූත්, මිදෙන්නට දුෂ්කර වූ බන්ධනයත් ඒක ම යි. කාම සැපය සිතින් අත්හැරලා ඒ කෙරෙහි අපේක්ෂා රහිතව නුවණැති උදවිය නිවන අපේක්ෂාවෙන් පැවිදි වෙනවා.”
(ධම්මපදය)
යමෙක් ජීවත් වෙලා සිටිද්දී ම මේ හිස් වූ කාමයන් ගැන මෙසේ සිතන්නේ නම් ‘යම්තාක් වූ ප්‍රියමනාප දේවල් ඇද්ද, ප්‍රියමනාප පුද්ගලයන් සිටිත් ද ඒ සියල්ල ම මට අතහැර දමන්නට වනවා’ කියා මෙසේ නිතර නිතර මෙනෙහි කරන විට තමාට ප්‍රියමනාප වූ කාමයන් කෙරෙහි සිත නො බැඳී යනවා. එවිට යම් දවසක කාමයන් තමන්ට අතහරින්නට සිදු වන විට ඔවුන්ගේ සිත් ශෝකයෙන්, වැළපීමෙන්, හැඬීමෙන්, ක්ලාන්ත වීමෙන්, සිහිමුළාවට පත් වීමෙන් නිදහස් වෙනවා. ඒ නිසා මරණයට පත්වන ස්වභාවය තිබෙද්දී ම ඒ මරණය ඉදිරියේ බියට හෝ සන්ත්‍රාසයට පත්නොවන පුද්ගලයන් අතරට මේ කෙනා අයත් වෙනවා.
එමෙන්ම යමෙක් තමන්ගේ ශරීරය කෙරෙහි රාගය දුරු නොකළා නම්, කැමැත්ත දුරු නොකළා නම්, ප්‍රේමය, පිපාසය, දාහය, තෘෂ්ණාව දුරු නොකළා නම් යම් දිනෙක දරුණු රෝගයකට යට වූ විට ඔවුන් බොහෝ සේ දුකට පත් වෙයි, හැඬීම්, වැළපීම්, දුක් දොම්නස්වලින් ඔවුන්ගේ ජීවිත වෙලා ගනී. ‘අහෝ තව සුළු කලක් මට ජීවත්වන්නට තිබුණා නම්… මේ ශරීරය මාව අත්හැර දමනවා… මට ද මේ ශරීරය අත්හරින්නට වෙනවා…’ යනුවෙන් මරණාසන්නව සිට බොහෝ ශෝක වෙනවා. නමුත් යමෙක් මේ ශරීරයේ සත්‍ය ස්වභාවය ගැන ඒ අයුරින් ම ඇත්ත ඇති සැටියෙන්ම තේරුම් ගන්නවා නම් මේ ශරීරය වනාහී සතරමහා භූතයන්ගෙන් හටගත්, මව්පියන්ගෙන් හටගත්, ආහාරපානාදියෙන් පෝෂණය වන අනිත්‍ය වූ ඉලීම් පිරිමැදීම්, බිඳීම් විසිරීම් ආදිය උරුම කරගත් දෙයක් ලෙස රූපය(ශරීරය) වෙනස්වන විට යන විට ඔවුන්ගේ සිත් දුකින්, ශෝකයෙන් වෙලා ගන්නේ නෑ.
දිනක් බුදුරජුන් වෛශ්‍යාංගනාවකගේ රූපයට ආශා කළ භික්ෂුවක් අරබයා ඉතා මනහර අයුරින් රූපයේ ආදීනව ප්‍රකට කරමින් දහම් දෙසා වදාළ සේක. වෛශ්‍යාංගනාව මියගිය පසු ඇගේ මෘත ශරීරය බැලීමට ගිය සියලු දෙනා අබියසදී උන්වහන්සේ මෙසේ විමසූහ.
“මෙම වෛශ්‍යාංගනාව එක් රැයකට කහවණු කීයක් ගන්නවා ද?”
“ස්වාමීනි, කහවණු 500යි.”
“මියගිය මැගේ ශරීරය දැන් කහවණු කීයක් වටිනවා ද?”
මේ ආකාරයෙන් ප්‍රශ්න කරමින් රූපයෙහි අනවබෝධයෙන් ඇලී සිටීම නිසරු දෙයක් බව පෙන්වා දෙමින් ආර්ය සත්‍යාවබෝධයේ පිහිටුවා වදාළ සේක. තමාගේ ශරීරය කෙරෙහි හෝ අන් අයගේ ශරීරය කෙරෙහි හෝ අනවබෝධයෙන් වාසය කිරීම ආර්ය සත්‍යාවබෝධයට බාධා පමුණුවන බවත්, එයින් නිදහස්ව සත්‍යයට පැමිණීමෙන් නිවන් අවබෝධය කරා සිත හැසිරවිය හැකි බවත් පෙන්වා වදාළහ. යමෙක් තමන්ගේ වේවා අනුන්ගේ වේවා ශරීරය කෙරෙහි නිවැරදි අයුරින් සිතන්නෙහි නම් මරණය ඉදිරියේ තම ශරීරය අත්හරින්නට වන විට ඔවුන්ගේ සිත් ශෝකයෙන්, වැළපීමෙන්, හැඬීමෙන්, ක්ලාන්ත වීමෙන්, ළයෙහි අත් පැහැර හැඬීමෙන්, සිහිමුළාවට පත් වීමෙන් නිදහස් වනු ඇත. මරණය ඉදිරියේ බියට, සන්ත්‍රාසයට හෝ පත්නොවන පුද්ගලයන් අතරට මේ කෙනා ද අයිති වනු ඇත.
ඉපදීම යනු ආයතන හයක පහළ වීමයි. මේ හරහා සිත, කය, වචනය ආදිය හසුරුවමින් උපන්දා සිට අප හට නොයෙක් ආකාරයෙන් එක්වී ඇති සියල්ල කර්මය නම් වූ දෙයට අයත් ය. කරත්ත රෝදය යම්තාක් ගමන් කරනුයේ කඩ ඇණය ගසා තිබෙන තාක් ය. එලෙසින් ම සසරේ අප ද කර්මයට අනුව ගමන් කරමින් සිටී. යමෙක් පවු කළා නම්, දරුණු පවු කළා නම්, කිලිටි පවු කළා නම්, පින් නොකළා නම්, කුසල් නොකළා නම්, බියට රැකවරණයක් සලසා ගත්තේ නැත්නම් ඔවුන් මරණාසන්නයේ දී දරුණු රෝගයකින් හෝ යටපත් වූ විට තමා විසින් කරන ලද එම අකුසල් ගැන සිහිවීමෙන් බොහෝ සේ ශෝක කරයි, වැළපෙයි, ක්ලාන්ත වෙයි, ළයෙහි අත් පැහැර හඬයි, සිහිමුළා බවට පත් වෙයි. “අහෝ…. අපි ජීවත් වෙලා සිටි කාලයේ කිසිදු යහපත් දෙයක් කළේ නෑ. අප අතින් බොහෝ අකුසල් සිදු වුණා.” කියමින් හඬයි. නමුත් යමෙක් සම්බුදුරජුන්ගේ ධර්මය තුළින් කුසල්, අකුසල් හඳුනාගෙන තුනුරුවන් හඳුනාගෙන සීලවන්තව වාසය කළා නම් ඔවුන්ට තමන් ගැන සිහි කරන මොහොතක් පාසා සතුට උපදිනු ඇත.
“අපි නම් පස් පවු, දස අකුසලයෙන් වෙන් වුණා, අපේ අත්වල නම් ලේ තැවරිලා නෑ. අපි ආර්යයන්ට උපවාද කළේ නෑ, අපි සිල් ගත්තා, දන් දුන්නා, ශ්‍රමණ උතුමන්ට ගරු කළා, වැඩිහිටියන්ට සැලකුවා, දෙමාපියන් ආදරයෙන් රැකබලා ගත්තා, චෛත්‍ය, බෝධි, පිළිම ගෙවල් තැනුවා” ආදී වශයෙන් තමන් කළ උදාර වූ පින් ගැන, කුසල් ගැන, දියුණු කළ සත්තිස් බෝධ්පාක්ෂික උතුම් ධර්මයන් ගැන, තුනුරුවන ගැන පිහිටුවාගත් සතුටු සිතින් ඒවා මෙනෙහි කරමින් වාසය කරද්දි, ‘යමෙක් කල්‍යාණ වූ උතුම් දේවල් කරලා යහපත් තැනක ගියා ද අපිත් ඒ උතුම් ගති ඇති ලොව උපදිනවා ම යි’ යනුවෙන් සිතමින් ශෝක, වැළපීම්, දුක්දොම්නස්, සිහිමුළා වීම්, ක්ලාන්ත වීම් ආදිය නැති සිතින් මරණය ඉදිරියේ මරණයට පත්වන ස්වභාවය ඇතිව සිටිද්දී ම බිය නැති සන්ත්‍රාසයට පත් නොවන පුද්ගලයන් අතරට පත්වෙයි.
යමෙක් උපදවාගත් වැඩපිළිවෙළ, ප්‍රතිපත්තිය සියලු දුකින් නිදහස් වීම සාක්ෂාත් නොවන ස්වභාවයෙන් යුක්ත නම් එය දුර්ලභව ලද ක්ෂණ සම්පත්තිය ම විනාශ කිරීමට තරම් බලවත් ය. යමෙක් ඒ තථාගත අරහත් සම්බුදුරජුන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි සැකයෙන් සිටිත් නම්, සද්ධර්මය පිළිබඳ නිෂ්ඨාවට නොගියා නම්, ඔවුන් ශ්‍රද්ධාවට නොපැමිණීම නිසා, සිත ඒ උතුම් ධර්මය කෙරෙහි නොපැහැදීම නිසා, කුසල් දියුණු කිරීමට ද ප්‍රමාද වන නිසා මරණාසන්න මොහොතේ දී දුක්වන්නේ, ‘අහෝ අපට මේ උතුම් ධර්මය ගැන තිබූ සැක දුරු කර ගන්න බැරිව ගියා. අපි නිෂ්ඨාවට පැමිණුනේ නෑ. විචිකිච්ඡාවෙන් යුක්ත වුණා,’ කියමිනි. සිදුවන්නේ නැවත භයානක වූ සසර දුකට වැටීම යි. නමුත් කෙනෙක් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන, නුවණින් විමසීම පුරුදු කොට උදාර වූ දහම් පද තම ජීවිතයට ගළපමින් පුරුදු කිරීමෙන් තමා තුළින් අත්දකින ස්වභාවය ඇති විට සැක දුරු වී යයි. ඔවුන් ‘අහෝ මම වනාහී සැක දුරු කළ කෙනෙක් වෙමි. විචිකිච්ඡා නැති කෙනෙක් වෙමි, සද්ධර්මයේ නිෂ්ඨාවට පැමිණියෙමි’ ආදි වශයෙන් සතුටු වෙයි. ඒ අය මරණාසන්න වන විට මරණයට පත් වන ස්වභාවය තිබියදී ම ශෝක වීම්, වැළපීම්, ක්ලාන්ත වීම්, සිහිමුළා වීම්වලට පත් නො වී මරණය ඉදිරියේ බිය, තැති ගැනීම් දුරු කරමින් සිටින පුද්ගලයන් අතරට එක් වෙයි.
මේ අයුරින් ලොව දවසින් දවස මියැදෙනා මිනිසුන්ගෙන් ඉතා අතලොස්සක් වූ කොටසක් මරණය ඉදිරියේ බිය නො වී සන්ත්‍රාසයට පත් නො වී සිටිත්. නමුත් ඉතා සුවිශාල වූ පිරිසක් මහා හැඬීම්, වැළපීම් සහිත ව ම, සිහිමුළා වීම්, අත් පැහැර හැඬීම් සහිත ව ම මරණය ඉදිරියේ බිය වී, තැතිගෙන අවසන් ගමන් යයි. ලෝකනාථ වූ බුදුරජුන් අනාථ අය නාථ කළ සේක, අසරණ අයට සරණ වූ සේක. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලද ඔබට ද මරණය ඉදිරියේ බිය නැති තැති ගැනීම් නැති ජීවිතයක් උදා කරගැනීමට උතුම් බුද්ධරත්නයේ, ධර්මරත්නයේ, සංඝරත්නයේ ආශීර්වාද සැලසේවා!
(ජානුස්සෝනි සූත්‍රය ඇසුරිනි)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි.




Tuesday, February 20, 2018


කිච්ඡෝ මනුස්සපටිලාභෝ – කිච්ඡං මච්ඡාන ජීවිතං
කිච්ඡං සද්ධම්මසවනං – කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ

මනුෂ්‍ය ජීවිතයක් ලබාගැනීම ඉතාම දුෂ්කරයි. ඒ මනුෂ්‍යයන්ට ජීවත්වීමේදී දුෂ්කරතා ඇතිවෙනවා. පිරිසිදු සද්ධර්මය අසන්ට ලැබීමත් ඉතා දුර්ලභයි. බුදු රජාණන් වහන්සේලාගේ ඉපදීම ඒ හැමටම වඩා දුර්ලභයි.

(බරණැස් නුවරදී ඒරකපත්ත නා රජුන් අරභයා වදාළ ගාථාවකි ෴)














යෝ බාලෝ මඤ්ඤති බාල්‍යං – පණ්ඩිතෝ වා’පි තේන සෝ
බාලෝ ච පණ්ඩිතමානී – ස වේ බාලෝ’ති වුච්චති

යම්කිසි අඥාන පුද්ගලයෙක් තමන්ගේ අඥානකම දන්නවා නම්, ඔහු නුවණැත්තෙක් වෙන්ට හේතු වෙන්නෙ ඒකමයි. අඥාන පුද්ගලයා තමන් ගැන හිතාගෙන ඉන්නෙ මහා නුවණැත්තෙක් කියලා නම්, ඔහු ඒකාන්තයෙන්ම අඥානයෙක් කියලයි කියන්ට තියෙන්නේ.

(ජේතවනාරාමයේදී ගැට කපන්නන් දෙදෙනෙක් අරභයා වදාළ ගාථාවකි ෴)

Sunday, February 18, 2018

යහපත්කමේ බලය


යහපත්කමේ ශක්තිය අවතක්සේරු නොකළ යුතුය. ඔබට කාලය සහ අවස්ථාවක් ලැබුණ තාක් කල්, ඔබ දක්ෂ ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් ඔබ දැක ඇති අවස්ථාවක, ඔබ ඉක්මන් කළ හැකි ඉක්මනින් එම සුභසිද්ධිය වර්ධනය කිරීමට උත්සාහ කරන්න. මරණය දැන් පැමිණියේ නම්, ඔබ කුමක් ඉතිරි වී ඇද්ද? කිසිවක් නැත. ඔබ කළ හැකි සියල්ල ඔබ විසින් ඉවතට ගෙන ඇති මංපෙත මිශ්‍ර කර ඇත - වෙනත් වචන වලින්, ඔබ අතීතයේ කළ යහපත්කම. ඔබ එය සිහිපත් කළ විට, එම යහපත්කම ඔබගේ ආත්මය පෝෂණය කරනු ඇත.

ඔබ ඔබේ ධනය ලෙස කළ දේ ගැන සිතා බලන්න. ඔබගේ මෙම ධනය ඔබේ ජීවිතයේ පහත් බිම් වලට වැටීමෙන් වලක්වනු ඇත. ඔබ මේ ලෝකයෙහි රැඳී සිටින තාක් කල් ඔබගේ ජීවිතයේ මාර්ග තීරණය කිරීමට ඔබ කළ යහපත් දේ මත රඳා පවතී. ඔබ මේ ලෝකයෙන් නික්ම ගියහොත්, ඔබේ යහපත්කම සැමවිටම සෙවණක් මෙන් ඔබ අනුගමනය කරනු ඇත.

*** ආචාන් හිමියන් ***


 

ධර්ම ස්වභාවය

අපට ලැබී ඇති පුණ්‍යවන්ත භාවයේත්,වාසනාවන්ත භාවයේත් අගය ගැන අපේ සැලකිල්ල යොමු කළ යුතුය. මේ සඳහා කළ යුතුව ඇත්තේ ලෝකයේ වෙසෙන අනෙකුත් සතුන් එනම් බල්ලන්,ඌරන් සර්පයින් වැන්නවුන් කෙතරම් අවාසනාවන්ත ද කියා දැනගැනීමට අප අපේ වටපිටාව දෙස හැරී බැලීම ය. එම සතුන්ට ධර්මය ගැන ඉගෙන ගැනීමටවත් ඒ ගැන දැන ගැනීමටවත් එය ප්‍රගුණ කිරීමටවත් වාසනාවක් නැත පුර්වයේ කරන ලද කර්මයන්ගේ විපාකයන් අත්විඳින මෙම සත්වයන් අවාසනාවන්තය. ධර්මය ඉගෙනීමට ඒ ගැන දැන ගැනීමට,එය ප්‍රගුණ කිරීමට හෝ අවස්ථාවක් නොලැබෙන කෙනෙකුට දුකෙන් නිදහස් වීමට අවස්ථාවක් නොලැබේ.

මනුෂ්‍යයන් වශයෙන් සිටින අප යහපත් සිරිත් විරිත් වලින්   හික්මීමෙන් තොර අවාසනාවන්ත තත්ත්වයක ගොදුරු බවට පත්වීම සඳහා ඉඩ නොහළ යුතුය.ඔබත් අවාසනාවන්ත භාවයේ  ගොදුරක් නොවීමට ඔබම  වග බලා ගත යුතුය. එයින් අදහස් වන්නේ නිවන් ලැබීම සඳහා විමුක්ති මාර්ගයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් හා ශීලය දියුණු කිරීමේ බලාපොරොත්තුවෙන් හෝ නො සිටිය කෙනෙකු වශයෙන් සිටීමය.අප දැනටමත් සිටින්නේ ඒ ගැන බලාපොරොත්තුවක් නොමැති අය ලෙසිනි කියා නො සිතන්න. ඒ ආකාරයට කල්පනා කළ හොත් අනිකුත් සතුන් මෙන් අප ද අවාසනාවන්ත භාවයේ හිමිකරුවන් වනු ඇත.

අප සිටින්නේ බුදුන් වහන්සේගේ බල මහිමය යටතේය.එම නිසා මනුෂ්‍යයන් වී සිටින අප හැකි තරම් වූ පුණ්‍ය බලයකින් යුක්තය.අපේ අවබෝධය,අදහස් සහ දැනීම මේ වර්තමානයේදී නිවැරදි කර ඒවා නිසිමඟට යොමු කළ හොත් එය මනුෂ්‍යයන් වශයෙන් සිටින මේ ආත්මභාවයේ දී ම ධර්මය දැක ගැනීමට අවබෝධ කරගැනීමටත් හැකිවන පරිදි අපේ චර්යාව මෙන්ම අපේ පුහුණුව පවත්වා ගැනීම සඳහා අපට මඟ පෙන්වීම ලබා දෙනු ඇත.

ධර්මය තුළින් අවබෝධය ලබා ගෙන ඒ මගින් සැනසීම උදාකර ගත යුතු ව සිටින අප අනිකුත් සත්වයන්ට වඩා වෙනස් වන්නේ මේ අයුරිනි.බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ  ධර්මය අප ඉදිරියේ දැන් මේ මොහොතේ පවත්නා බවය බුදුන් වහන්සේ දැන් මෙතන මේ මොහොතේ අප දෙස බලා සිටින ආකාරයෙන් වැඩ සිටිති එසේ නම් ඔබ බුදුන් වහන්සේ සහ උන් වහන්සේ ධර්මය දැකීමට යන්නේ වෙන කුමන කලකදී ද කුමන තැනක දී ද?

නිවැරදි ආකාරයට කල්පනා නොකළ හොත්, නිවැරැදි ආකාරයට පුහුණු නොවුණහොත් අපි තිරිසන් සතුන්ගේ,නිරිසතුන්ගේ ප්‍රේතයින්ගේ හෝ යක්ෂයින්ගේ තත්වයට ඇද වැටෙමු. එය සිදු වන්නේ කොයි ආකාරයටද ? මේ ගැන ඔබේ මනස තුළට හුදෙක් එබී බලන්න.තරහක් පහළවන  විට එහි කොයිවගේ දෙයක් ද? එය ආ යම් කිසි විටෙක හුදෙක් එදෙස බලන්න.මෝහය පහළවන විට එය කොයි වගේ දෙයක් ද ? එය ආ විටෙක හුදෙක් ඒ දෙස බලන්න.ආශාව පහළ වූ විට එය කොයි වගේ දෙයක් ද ඒ දෙස බලන්න

මෙම මානසික ස්වභාවයන් හැඳින ඒවා ගැන පැහැදිලි අවබෝධයක් ඇති නො කර ගැනීම නිසා අපේ සිත තුළ ඇති මිනිස් ස්වභාවය වෙනස් වෙයි. සියලු සංස්කාරයන් යුහුසුළු වෙමින් පවතින්නේ භවය ඇතිකරවීම සඳහාය. වර්තමානයේ පවත්නා සංස්කාරයන් මගින් හැඩගස්වනු ලබන භවය තුලින් උත්පත්තිය හා පැවැත්ම සිදු කරනු ලැබේ.මේ අනුව උත්පත්තිය හා පැවැත්ම සිදුවන්නේ ඒවායේ හැඩගැස්ම අපේ මනස විසින් සිදුකරනු ලබන ආකාරයටමය.

සාධු ! සාධු !! සාධු !!!

*** ආචාන් හිමියන් ***


Monday, February 12, 2018



බුදු දහමේ අධ්‍යාත්මය 

 
 

බුද්ධාගමේ කවදාවත්  එකිනෙකාගෙන් වෙන්වෙලා ජිවත් වීමට මිනිසුන්ට උගන්වන්නේ නැති බව තේරුම් ගන්න. බුදුදහම සහ අනෙකුත් ආගම් වලින් ජනයාට උගන්වනු ලබන්නේ තමන් අදහාන ආගම අනුව ඔවුන් කැමති තැනට (නිවන ,ස්වර්ගයට......)යන විදිහයි.අපිට කොළඹ නගරයට  ඇතුල් වීමට උවමනා යැයි සිතන්න. එ සදහා බොහෝ ක්‍රම තිබේ යයි අපිට පැවසිය හැකිය. එයින් එක් මාර්ගයක් තෝරාගෙන එය භාවිතා කළ විට අපි සියලු දෙනාටම කොළඹ නගරය වෙත ළඟා විමට හැකි වනු ඇත. එය ඔබ කැමති උතුම් මාර්ගය වන නිවන් මඟ,ස්වර්ගය හෝ කුමන දෙයක් ලබා ගැනීම හා සසඳන්න. අපිට කුමන ආගමක්  තිබුණත්, ඒ අනුව එය පිළිපදින්න. එවිට අපි සියලුම දෙනා එ ඒ තැන් වලදි හමුවනු ඇත.

කෙසේ වෙතත්, බුදුදහම තුළ නිවන්  මාර්ග අවබෝධය ගැන වැඩියෙන් අවධානය යොමුකර ඇති අතර, එය   ඉගැන්වීම්වලට අනුව අවබෝධ කරගත් හා ප්‍රායෝගිකව අනුගමනය කිරීමට අවශ්‍ය වේ, එය කරගෙන යෑම සඳහා ක්‍රම තිබේ. බුද්ධි ප්‍රබොධය යනු සම්පූර්ණයෙන්ම දුක්ඛ (අසතුටුදායක බව, දුක්විඳීම, රෝගාබාධ) නොමැති වීමයි. බුදුන් වහන්සේ සහ  අරහත් රහතන් වහන්සේලා සියලු ක්ලේෂයන්ගෙන් ම  සම්පූර්ණයෙන්ම නිදහස්ව සිටිති. එබැවින් එම උත්තමයානන් අනුගමනය කරන කිසිවෙකු ගැන ඔවුන් කනස්සලු නොවිය යුතුය. ඔබට බුද්ධාගම තුළින් උගන්වන්නේ සමාජයේ ස්ථාවරත්වය හා සමෘද්ධිය ගැනයි. එය තුළින් යහපත් අය විය යුතු ය. බුදුදහම තුළින් නිවන් මඟෙහි ගමන් කරන්නා කවදාවත් දුක් සහිත අපාය දෙසට ගමන් නොකර සිටින බවත්, එහි ඉගැන්වීම් පිළිපදින්නන්ට විනාශයට ගෙන නොයයි.

හොඳ නැති දේ දැනගෙන, හදවත පුහුණු කිරීම සහ නරක දෙයක් කිරීමට ඉඩ නොදී ඔබම එයට බාධා කිරීම මගින් ඔබට කිසිදු හානියක් සිදු නොවේ. ඔබේ නරක ප්‍රතිඵල අත්පත් කර ගැනීමෙන් ඔබේ නරක ප්‍රතිඵල අත්දකින අතර, ඔබ විසින්ම එය නතර කරනු ලබන්නේ නම්, ඔබේ ජිවිතයේ විනාශය එයින් වලකාලීමට හැකි වේ.

සාධු ! සාධු !! සාධු !!!

*** ආචාන් හිමියන් ***

Sunday, February 11, 2018

කුසලතා සහ ඉරණම

"කුසලතා සහ ඉරණම යනු අපිට ආවේනික ගුණාංගයක් වේ. එය අපගේ  හදවත තුළ අප විසින් රැස් කර ගන්නා දෙයකි . යහපත් ගති ගුණ පින්(සැප) විපාක ලෙසත්  නරක ගුණාංග දුක් විපාක(පාපය)ලෙසත් පවතී . අපගේ  එක් එක් ජීවිත කාලය තුළ වඩා හොඳ හෝ නරක විය හැකි. "

මිනිසුන්ගේ කතාබහ තුළ තියෙන දේවල් අපි හිතනවාට වඩා හරි භයානකයි. මේ හැම දේකින්ම පරිස්සම් වෙලා ඉන්නවා කියන එක හරි අමාරුයි.නුවණ තිබුණොත් තමයි හිත පරිස්සම් කරගෙන,බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හොදට සිහිකරගෙන ඉන්ට පුළුවන් වෙන්නේ.එහෙම නැත්නම් ඔලුව අවුල් කරලා දාන්නට ඕනෑ තරම් කට්ටිය ඉන්නවා.සත්‍යයේ නාමයෙන් බොරු කියන ලෝකේ ඕනතරම් ඉන්නවා.ධර්මය කෙරෙහි හිත පහදවා ගන්නට තියෙන බාධා තමයි හැම තැනම තියෙන්නේ

මේ ධර්ම මාර්ගයේ යද්දී ගුණධර්මයන් ගේ පැත්ත ගැන වැඩිපුර අවධානය යොමු කළොත් අපිට රැකෙන්ට තියෙන අවස්ථාව වැඩියි.ගුණධර්ම පැත්ත අතහැරියොත් අනතුර වැඩියි.අපේ තිසරණය රැකෙනවා නම් රැකෙන්නේ අපේ ගුණධර්මත් එක්කයි.තිසරණේ අහිමි වෙනවා නම් අහිමි වෙන්නේ  ගුණධර්ම නැති කමින්. ඒ නිසා මේක හොදට තේරුම් අරගෙන අපටත්  බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිසරණ කරගෙන වාසය කරන්නට හැකියාව ලැබේවා.

සාධු ! සාධු !! සාධු !!!


පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.






සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශණා කරන ලද මජ්ඣිම නිකායේ  මූලපණ්ණාසපාළියෙහි  මුලපරියාය සුත්‍රයේ එන මෙම වචන දෙකේ අර්ථය කොතරම් විශ්මය ජනක ද?

"අසසුතවා පුථුජ්ජනො" යන වචන දෙකයි බුදු හාමුදුරුවෝ පාවිච්චි කළේ. කෙලෙස් ජනනය කරන නිසයි පුථුජ්ජන කියලා කීවේ.කෙලෙස් කීවේ පීඩා දෙන පැවැත්මක් රඳවන දෙය යි.පීඩා දෙන පැවැත්මක් රඳවන දේ අත්හැරලා සම්පුර්ණ පැවැත්ම නැති කරන්ටයි කියන නිගමනය යි බුදු රජාණන් දේශණාවෙන් පෙන්වන්නේ.

අපි දැනට පාවිච්චි කරන කෙලෙස්වල ස්වරුපය කුමක්ද ? අපේ කෙලෙස් නිසා යම්කිසි වැරදි තත්වයක් අප සිත ඇතුළේ ඇති වුණා නම් ඒ සිත ඇතුළේ ඇති වු වැරදි තත්වයේ මුල ධර්මය රත් විමයි.

යමෙකු ට කාම හැඟිමක් ආවා. ද්වේශ හැගීමක් ආවා.ඒ පුද්ගලයා සාමාන්‍ය සෞම්‍ය ස්වභාවයෙන් ඉඳලා අර කාම හැඟිම් නැමති ලෝභ චේතනාව ආපු හැටියේ ඇඟ රත්වෙලා,උණුසුම් වෙලා එනවා. සිතුවිලි ස්වරූපය නිෂ්පාදනය වෙන්නේ  හැඟිම් මතුවන්නේ , නැඟි එන තේජසේ හැටියට යි. බුද්ධාගමේ නිවන කියා උගන්වන්නේ තේජස නවතිනවා කියන එකයි.නැති ව වෙන කුමක් හෝ අයිතියක් ලබන එකක් නොවෙයි.

තමන්ට දුක් දෙන්නා වු තේජස නිවා ගැනීම යි බුද්ධාගමේ උගන්වන " සදාකාලික සැපය" කියලා පෙන්නුවේ. ද්වේෂය සිතට ආ විට මිනිහාට උහුලන්ට බැරි වෙනකොට යි මිනිහා ගඟේ-මුහුදේ පැනලා ජීවිතය නැති කරගන්නේ.එහෙම කර ගන්නේ රත්වීම තියාගෙන ඉන්ට බැරි නිසයි. ඒ තරම් රත්වෙලා. ඒක පාවිච්චි කරන්ට බැහැ. ඒ කාල සීමාවට , ඒ අවස්ථාවට, එයාට මුළු ජීවිතය එපා වෙනවා. එයින් වැටහෙනවා කෙලෙස් කියන්නේ රත්වීම වැඩිවෙන ප්‍රමාණය බව. දැන් මෙයින් පැහැදිලි වෙනවා රත්වීම වැඩිකරන , එක්කාසුව නැතිනම් සංවිධානය,ලෝකයේ මුලින්ම සියලු ධර්මයන් හැදීමට මුල් වුණු බව. රත්වීම නිෂ්පාදනය කරන ක්‍රියා මාර්ගයකුයි මුලින්ම හැදිලා තියෙන්නේ. ඒ ක්‍රියාව බුදු වදනින් කීවා පඨවි , ආපෝ , තේජෝ , වායෝ , වර්ණ , ගන්ධ , රස , ඕජා , කියලා.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

Saturday, February 10, 2018


කෙනෙක් ඉන්නවා කේළාම් කියන.තව කෙනෙක් ඉන්නවා කේළාම් කියන්නේ නැති.කේළාම් කියන්නේ නෑ කියන්නේ ගුණයක්.වචනය සංවර වීම තියෙන්නේ එහෙනම් ගුණයක් මතයි.ඒ ගුණය නැත්නම් මම කේළාම් කීමෙන් වැළකී වාසය කරමි කියලා සමාදන් වුනාට එයා සත්‍ය වචනය පාවිච්චි කරන්නට තරම් ගුණවන්ත වෙලා නැත්නම් මේක කරන්න බෑ.

කේළාම් කීම කියන එක කරන්ට ලේසියෙන් පුළුවන්කම තියෙද්දී එයා කේළාම් නොකියා ඉන්නවා නම්  අන්න අපිට කියන්න පුළුවන් එයා තුළ ගුණයක් තියෙනවා කියලා.පරුෂ වචන කියන්ට පුළුවන්කම තියෙද්දී එයා පරුෂ වචන නොකියා ඉන්නවා නම්  අන්න අපිට කියන්න පුළුවන් එයා තුළ ගුණයක් තියෙනවා කියලා.හිස් වචන කියන්ට පුළුවන්කම තියෙද්දී එයා හිස් වචන නොකියා ඉන්නවා නම්  අන්න අපිට කියන්න පුළුවන් එයා තුළ ගුණයක් තියෙනවා කියලා.

අපිට මේ ලොකයේ වැඩිපුර අහන්න ලැබෙන්නේ ඕවනේ.එක්කෝ බොරු , එක්කෝ කේළාම් , එක්කෝ පරුෂ වචන,එක්කෝ හිස් වචන.

යම් ගුණයක්  පිහිටනකම් ධර්මය වැඩෙන්නේ නැහැ.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

කර්මය

කර්මය හරියට ගංගාවක් වගේ,හැම විටම ගලා ගෙන යනවා.අන් අය වෙතින් ලැබෙන සෑම දෙයක්ම අතීතයේ දී(පෙර ආත්මයක) අප විසින් අන් අයට කළ දෙයක්ම වේ.මේ විශ්වයේ කිසිම දෙයක් නිකං ලැබෙන්නේ නැත.අපට යහපත් දේ කිරීමට අපට අවශ්‍ය නම්,අප එය සඳහා වැඩ කළ යුතුය.

අත්හැරීම පුරුදු කරන්න

ඔබ සිදුකරන සෑම ක්‍රියාවකට අනිත්‍යය දකින්න. ඔබ මැදිහත්ව කළ ද එහි මුල් තැන අන් අයට දෙන්න. අත්හැරීම පුරුදු කරන්න. සැවොම සතුටු කර ඒ පිනෙන් ඔබ ශක්‌තිමත් වන්න. දායකයන් උදෙසා බෝධිපූජා, පෙරහැර, කඨින පිංකම්, දානමාන සංවිධානය කොට ඔබ ඒවායේ අනිත්‍ය පමණක්‌ දකිමින් ආධ්‍යාත්මික වශයෙන් ශක්‌තිමත් වන්න. අනුන්ගේ කුස පුරවා ඔබ නිරාහාරව ඉන්න. ඒ බව අන් අයට නොහඟවන්න. වයෝවෘද්ධ ස්‌වාමීන්වහන්සේලා සිටී නම් උන්වහන්සේලාට උපස්‌ථාන කර උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. සමාජසේවයට කැපවී අනුන් සතුටුකොට අනුනට සේවයක්‌ කොට ඔවුන්ගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ලාභය කීර්තිය ප්‍රධානත්වය නොව, තම ඉලක්‌කය නිවන් මගය කියා අරමුණ සිහිකරන්න. ලෝකයට කොතෙක්‌ මහන්සීවී වැඩ කළද පොඩ්ඩ වැරදුන විට ලැබෙන්නේ ගල්මුල් දොස්‌ පරොස්‌ බව ඔබ දකින්න. විවේචන, අසත්පුරුෂකම්, නොසලකාහැරීම්, ලෝකයේ ස්‌වභාවය බව දකින්න. අප පුදුමවිය යුත්තේ ඒවා නොමැති නම් බව සිතන්න. අනුන්ට සේවය කරමින් අනුන්ව සතුටු කරමින්, ගුණ අගුණ අසමින් අනිත්‍යය දකින්න. ලෝකයේ ස්‌වභාවය මෙනෙහි කරමින් ලෝකයෙන් ගත හැකි සියල්ලෙන් ඔබේ ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න. රෝගීන්ට උපස්‌ථාන කිරීමට මැලි නොවන්න. රෝගියෙක්‌ යනු දේවදූතයෙක්‌ බව දකින්න. රෝගියාගේ කයේ ස්‌වභාවය, ඔහු විඳින වේදනාවේ ස්‌වභාවය, රෝගයේ ස්‌වභාවය ඔබට ද පොදු බව සිතන්න. ඔබේ ස්‌වභාවයද එයම බව දකින්න. ඔහුට උපස්‌ථාන කර ඔහුගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ඔබ මාස දෙක තුනකට වරක්‌ මහ රෝහලට, ළමා රෝලට, පිළිකා රෝහළට ලෙඩුන් බලන මුවාවෙන් යන්න. අසාධ්‍ය රෝගීන් සිටින වාට්‌ටුවල ඇවිදින්න. ඔබ රෝගීන්ගේ දුක බෙදාගැනීමට නොයන්න. වේදනාවෙන් ලතෝනි දෙමින් ඔබට ඇසෙන හඬ ඔබේම හඬ බව අවබෝධ කරගන්න. පිළිකා රෝහලේ හිසකෙස්‌ ගැලවී ගිය. පියයුරු ඉවත් කළ රෝගී පිංවතුන් ඔබ කමටහන් කරගන්න. හින්දි සිනමාවේ සුරූපීම ශිල්පිනියටද ශිල්පියාටද මෙම ස්‌වභාවය පොදු බව දකින්න. ඔබේ සිතට නිතර රාග සිත් ඇතිවේ නම් ඔබ කාන්තා රෝහලකට ගැබිනි වාට්‌ටුවට ලෙඩුන් බලන වේලාවට යන්න. දරු ප්‍රසූතියට සූදානම් වූ සහෝදර මව්වරුන්ගේ වේදනාත්මක හැසිරීම් රටා ඒ අයගේ ස්‌වභාවය මනුෂ්‍යත්වයෙන් සහෝදරත්වයෙන් දකින්න. එය ඔබගේ රාග සිත මරා දමනු ඇත. පාරිභෝගික විසිතුරු ලෝකයේ ඔබ මුළා කරන රස නහර පිනායන පාරිභෝගික ද්‍රව්‍ය පිරීගත් සුපිරි වෙළෙඳ සංකීර්ණවල සෑම ආහාරයක්‌ම මේ කය පෝෂණය කිරීම සඳහාය යන්න දකින්න. එහිම රාක්‌කයක ඇති විසිතුරු දවටනයක බහාලු සනීපාරක්‍ෂක තුවා ඇත්තේ කුමන අපද්‍රව්‍යයක්‌ සඳහා දැයි නුවනින් දකින්න. මලු පුරවා කරත්තය තල්ලුකොට උජාරුවට බඩු ගෙනගියද අප සැවොම පෝෂණය කරන්නේ අපවිත්‍ර ශරීරයක්‌ බව දකින්න. හැමදෙයක්‌ම කමටහන් කරගැනීමට ඔබ දක්‍ෂවන්න. ඔබ බසයක යනවා නම් ඔබ වාඩිගත් අසුන සුදුසු ඕනෑම අයකු වෙනුවෙන් දීමට මැලි නොවන්න. ඔබ කතරගමට යැමට කොළඹින් බසයක නැඟ පානදුරට ළංවෙද්දී, ඔබගේ අසුන් සුදුසු යමෙකුට ලබාදීමට අවශ්‍යවුවහොත් ඔබ එය පරිත්‍යාග කරන්න. තව යැමට ඇති දුර ගැන නොසිතන්න. ඔබේ සැප අන් අයගේ වුවමනාව උදෙසා කැපකරන්න. අන් අය ඔබට අවඥාවෙන් සිනාසුනිද එය නොතකන්න. සේවය ලැබුණු කෙනාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ඔබේ නිවන් මඟ උදෙසා ලෝකයාගෙන් ගත හැකි ශක්‌තිය ඔබ උපක්‍රමශීලීව නිදහසේ ලබාගන්න. අනුන්ව ආමිසයෙහි යොදවමින් ඔබ ප්‍රතිපත්තිය වඩන්න. ලෝකය මුළාකොට ඔබ ලෝකයෙන් එතෙරවීමට මඟ හදාගන්න. නිවන් මඟ සොයායැම ලෝකයේ ඇති ආත්මාර්ථකාමීම ක්‍රියාව බව සිතන්න. සියල්ලන් අත්හැර, සියල්ලන්ම කමටහන් කොටගෙන ඔබ ලෝකයෙන් එතෙර වන්න. ඔබ සුවසේ ලෝකයෙන් එතෙර වීමට දක්‍ෂ වුවහොත්, ලෝකයාගේම යහපත උදෙසා ලෝකයාගේම පරාර්ථය උදෙසා ඔබට මහන්සි විය හැකිය. පරාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථකාමී වන්න. ඉහත ක්‍රියාකාරකම් තුළින් ඔබ ලබන සතුට ආරක්‍ෂක දෙවියන්ටද අනුමෝදන් කරන්න. ඔබ යන ගමනේදී බාධක මගහැර ආරක්‍ෂාව සලසාගැනීමට නොපෙනෙන බලවේගද සතුටුකොට, ඒ අයගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට උත්සාහ ගන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට අවශ්‍ය වේලාව පැමිණෙනතෙක්‌ ප්‍රමාද කරන්න. ඉක්‌මන් නොවන්න වගබලාගන්න. ඔබ හැමවිටම ඔබේ සිතේ අවිචාරවත් බව විචාරයට ලක්‌කරන්න. සිත විමසන්න. ඔබේ සිතට ඉහළින් ඇති ප්‍රඥාවේ ඇසින් නිරතුරුවම සිත සමග පිළිසඳරේ යෙදෙන්න. ඇතිවෙමින් නැතිවෙන සිත ප්‍රඥාවේ ග්‍රහණයට ගැනීමට සියුම් ලෙස පුහුණු කරන්න. ඔබ තවමත් ගිහි පිංවතෙකි. ඔබේ ඉන්ද්‍රියන් කැමති හැමදෙයක්‌ම අත්දැකීමෙන් රස විඳ බලා එහි අනිත්‍යය දකින්න. ඔබට ඒ නිදහස තවම ඇත. අත්නොවිඳ, අත්නොදැක අනිත්‍යය දකින්නට යැමෙන් ඔබට ඉදිරියේදී ප්‍රශ්න මතුවීමට හේතුවිය හැකිය. ඔබ වැඩියෙන් ආශා කරන, කැමති දෙයක්‌ වෙතොත්, නැවත නැවත ඒ දෙය රසවිඳ ඒ කැමැත්තෙන් මිදෙන්න. කැමති දෙය අත්දකිමින් අත්විඳිමින්, අවබෝධය ලබමින්, අනිත්‍යය දකිමින්, අත්හැරීමට පුරුදුවෙමින් "ගිහිවත" සම්පූර්ණ කොට නිවන් මඟ වඩන්නට සසුන්කෙතට පියනඟන්න. ගිහි ජීවිතය තුළ ඔබ සිත පමණක්‌ පැවිදිකරගන්න. ඔබ පුරුදුකරන්න, අවම සම්පත් සමග හුදෙකලාව ගත කරන්න. ඔබ පරීක්‍ෂාකර බලන්න පාවහන් නොදා ඔබට ගල් බොරළු මත ඇවිදිය හැකිද කියා. ඇඳුම් කට්‌ටල දෙකකින් ජීවත් වන්නට පුළුවන්ද කියා. ආහාර වේල් දෙකක්‌ ඔබට ප්‍රමාණවත්ද කියා. ඔබ කැමතිම, ආශා කරනම රූපයක්‌ ඔබට අතහරින්න පුළුවන්ද කියා. ඥාතීන්, ගේදොර අතහැර ජීවත් වීමට හැකිද කියා. ඔබ ඉදිරියට එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට ශක්‌තිය තිබෙනවාද කියා. පිළිතුර "ඔව්" නම් පැවිද්දට දැන් ඔබ සැබෑම සුදුස්‌සෙක්‌. ඉහත අත්දැකීම් ගැලපෙන්නේ ජීවිතයේ තරුණ වයසේ සහ ඉන් ඔබ්බට ගොස්‌ ජීවිතාවබෝධයෙන් මේ ආත්මභාවයේදීම නිවන උදෙසා වීර්යය වඩන අධිෂ්ඨානසහගතව නිවන් මඟ වැඩීමට හැකි පිංවතුන්ට පමණක්‌ බව හොඳින් සිහියේ තබාගන්න. ශාසනය ආරක්‍ෂා කරගැනීමට, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, සුගති ප්‍රාර්ථනා කරන, රට ජාතිය ආගම ආරක්‍ෂාකිරීමට බලාපොරොත්තුව පැවිදි වන පිංවතුන්ට ඉහත ප්‍රතිපදාව අවශ්‍ය නොවන බව සලකන්න. මන්ද, එම උතුමන් දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරන, නොදැනුවත්භාවය නිසා ඉහත අරමුණු තුළ සැප ඇතැයි කියනා බලාපොරොත්තුව තබාගෙන සිටින නිසාය. එවැනි උතුමන් ආරක්‍ෂාකරදෙන සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනයට ගනිමින්, දක්‍ෂයා ලෝකයෙන් එතෙරවීමට උත්සාහවන්ත විය යුතුය. ඔබ ලෝකයෙන් එතෙරවීමට දක්‍ෂ වුවහොත් එය ශාසනය ආරක්‍ෂා කරන ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලාටද මහත්ඵල මහානිශංස කුසලයක්‌ වනවා ඒකාන්තය.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි



 














පූති මච්ඡං කුසග්ගේන
යෝ නරෝ උපනය්හති
කුසාපි පූති වායන්ති
ඒවං බාලූප සේවනා

යම් මිනිසෙක් කුස කණ ගසේ අගින් වුවද කුණු මස් වෙලා ගනීද බැඳ ගනීද , ඔසවාගනීද ඒ හේතුවෙන් කුස තණ ගස ද දුගඳ හමන තත්ත්වයට පත්වනවා. බාලයන්ගේ ඇසුරට යොමු වීමත් එබඳුම යැයි අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ වදාළා , මිනිසාගේ සම්පූර්ණ පරිහානිය සිදුවන්නේ බාලයන්ගේ ඇසුරට යොමු වීම නිසයි. බාලයන්ගේ ඇසුර හැම අයුරින්ම පිළිකුල් එකක් බව බුදුහාමුදුරුවො අපට පෙන්වා දෙනවා. මෙහි ‘බාලයා’ යන වචනයෙන් අදහස් වන්නේ වයසින් බාල අය නොව ගුණ දහමින් පෝෂණය නොවූ අයයි. වයසින් බාල අය අපට පහසුවෙන් හඳුනා ගැනීමට හැකි වුවත් ගුණ දහමින් බාල අය නම් හඳුනා ගැනීමට පහසුම නැහැ. ඒ සඳහා අපට අපගේ නුවණ හොඳට අවශ්‍ය වෙනවා. එක අතකින් පාපමිත්‍රයා, මිත්‍රප්‍රතිරූපකයා වශයෙන් හදුන්වන්නේද බාලයය. ඒ අය ලොකු කුඩා ස්තී‍්‍ර, පුරුෂ, උගත් නූගත් හැම දෙනා අතරම අඩුවක් නැතිව සිටිය හැකිය. “සමන්තා පාපමිත්තා” යනුවෙන් දේශනා කළ වදාළේ හැම පැත්තෙම හැම තැනම අඩුවක් නැතිව පවිටු මිතුරන් සිටින බවයි. එනිසා අප බොහෝ විට ප්‍රවේශම් වන්නට ඕනෑ.
බාලයාගේ චරිත බාලයාගේ ස්වභාව , බාලයාගේ ලක්‍ෂණ පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. එය බාල පණ්ඩිත සූත්‍ර ධර්මය කියවන අයට පැහැදිලි වෙනවා. ඒ පිළිබඳව සඳහන් වන්නේ මෙහෙමයි.

“මහණෙනි,බාලයාගේ බාල ලක්‍ෂණ , බාලනිමිති, බාල චරිත තුනයි. මොනවාද ඒ තුන

1. මෙලොව බාලයා, නොසිතිය යුතු දෙය සිතනවා

2. කථා නොකළ යුතු දෙය කථා කරනවා

3. නොකළ යුතු දෙය කරනවා”

පවිටු මිතුරන් ඇසුරු නොකරන්න
අධම පුරුෂයන් ඇසුරු නොකරන්න
කළණ මිතුරන් ඇසුරු කරන්න
උතුම් පුරුෂයන් ඇසුරු කරන්න
යනුවෙන් අපේ පැතුමක් ඒ අනුව සකසාගෙන තිබිය යුතුයි.අපි සෑම පින්කමක්ම සිදුකර අවසානයේ ‘නිවන් අවබෝධ කරන තුරු බාලයන්ගේ ඇසුරක් නොලැබේවා.කියා පතනවා. මෙය වඩාත් අවබෝධයෙන් හා සිහියෙන් කරන්නට අවශ්‍ය වෙනවා.

මේ පින් බලෙන්
අප සැමට බාලයන්ගේ ඇසුර නිවන් ලබනතුරු නොලැබේවා!
තෙරුවන් සරණයි !

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

නියම පුහුණුව

යහපත් දෙය වටහා ගැනීමට මෙන්ම යහපත් දෙයක් සිදු කිරීමට අප උනන්දු කරවන කුමක් හෝ වේවා එය නියම පුහුණුවයි.එය හදුන්වා දීම සදහා කැමති නමක් යොදා ගැනීමට ඔබට පිළිවන.

එහෙම හිතන බෞද්ධයකු ට නත්තල වුවද සැමරිය හැකිය.

අනුරාධපුර – තන්තිරිමලේ මාර්ගයේ   නෙල්ලිකුලම සිරි සම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාම දී ලබා ගත් ජායාරූපයක්

ඔබට පුහුණු වන්නට ඕනැ නම් දහම් මඟ යාමට ඔබ දිරිය වැඩිය යුතුය.ඔබ උනන්දුවෙන් ඒ මඟ යන්නේ නම් ඔබට ද ගිහි ජිවිතයේ සීමාව අත් දැක එය අත් හරින්නට හැකි වෙනවා.

මත්පැන් බොන සමහරුන් මෙසේ කියනවා. ' මට එය අත් හරින්න බැහැ.ඇයි අත්හරින්න බැරි ? එහී ආදීනව දකිනවා නම් එය අත්හරින්න කෙනෙක් කියන කල් ඉන්න ඕනෑ නැහැ.යමක ආදීනව නොදකින්නේ නම් එය අත් හැරීමෙන් ඇතිවන ඵලයද දන්නේ නැහැ.ඔබගේ පුහුණුව නිශ්ඵලයි.

බිලී බාන මිනිසෙක් ඔහුගේ දැලේ යමක් පැටලිලායයි සිතන කතාව ගැන කල්පනා කර බලන්න.ඔහු දන්නවා දැල ඇතුළේ සතෙක් ඉන්නවා කියා. ඌ කරන ශබ්දය  ඇසෙනවා.දැල ඇතුළේ ඉන්නේ මාළුවෙක් කියා සිතා ඒ තුලට අත දමා අමුතු සතෙක් එහි ඇති බව වටහා ගන්නවා.සතා පෙන්නේ නැහැ.ඒ නිසා ඔහුගේ සිත සැකයෙන් පීඩාවට පත්ව ඇත. ඒ තුල ආඳෙක් විය හැකියි.නැතිනම් සර්පයෙක් 🐍.ඔහුගේ මනස සැකයෙන් පිරී ගොස්ය.ඔහුගේ ඇල්ම නිසා ඌ තබා ගන්නවා අඳෙක් වෙන්න පුළුවන් නිසා. එහෙත් ඔහු ඌව දැලෙන් එලියට ගත් විගස උගේ හමේ වයිරං දැක කෙලින්ම ඌව පහලට විසී කරනවා.ඔහු බලා ඉන්නේ නැහැ.'ඒ නයෙක් ' කියා අන් අය පෙන්වා දෙන තෙක්.ඔහු දන්නවා කුමක් කල යුතුද කියා.ඇයි ඔහු දන්නවා සර්පයාට දෂ්ඨ කල හැකි බව.කවුද ඔහුට එය කියා දිය යුත්තේ ? එලෙස අපේ පුහුණුව වැඩුනාම ඒ ඒ දේ නියම අන්දමින් අපි දැක බලා ගෙන හානි කරන දෙයින් අපි ඈත් වන්නේ.

*** ආචාන් හිමියන් ***

නිතරම යමක වරද්දක් පෙන්වා දෙමින් දහම් අවවාද දෙන සුසෝභිත ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් ස්වාමීන් වහන්සේලාට   නිර්වාණ අවබෝධය පිණිස මෙම ධර්ම දානය හේතු වාසනා වේවා.

අසත්පුරුෂයා හැම දේකින් ම අන්‍යයන් මඩිනවා....

බුදරජාණන් වහන්සේ වදාළා අසත්පුරුෂ කෙනා ලොකයේ යම්තාක් කැරකැවෙනවා ද එයා කැරකෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් වටා ම යි.ලොකයේ යම්තාක් කැරකැවෙනවා ද එය කැරකැවෙන්නේ විඳින දෙයක් වටා ම යි.යම්තාක් කැරකැවෙනවා ද එයා කැරකැවෙන්නේ සංඥාව වටා ම යි.  යම්තාක් කැරකැවෙනවා ද කැරකෙන්නේ සංස්කාර වටා ම යි. යම්තාක් එයා කැරකි කැරකී ඉන්නවාද  කැරකෙන්නේ විඤ්ඤාණය වටා ම යි. මේක ඉක්මවා යාගන්නට බෑ කියලා.

සතෙක් දම්වැලකින් ගැටගසා කණුවක බැඳ සිටිනාතාක් දම්වැලේ ප්‍රමාණය මත ඒ කණුව වටේ ම කැරකි කැරකී ඉන්නවා මිසක් ඒ සතාට ඒකෙන් නිදහස් වෙලා බේරිලා යන්ට බෑ. අන්න ඒ වගේ අවිද්‍යාවෙන් වැසී,තෘෂ්ණාවෙන් බැදී සිටින පෘථග්ජන සත්වයාත් දුකෙන් නම් නිදහස් වෙන්නේ නැහැ.

ප්‍රඥාවෙන් තමයි පුද්ගලයා අසත්පුරුෂ නොවී ඉන්නෙ. ප්‍රඥාව නැති පුද්ගලයාට අසත්පුරුෂ වෙනවා කියන එක සුළු දෙයක්. කෙළෙහි ගුණ නසනවා කියන්නේ සුළු දෙයක්.තමන්ගේ වාසියට ඕන එකක් පෙරලගන්නවා කියන්නේ සුළු දෙයක්.

එවැනි අසත්පුරුෂයන් මැද සත්පුරුෂයෙක් විමට යි නිතරම උත්සාහ කල යුත්තේ

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...