Friday, May 08, 2020

නිවන් දැකීමට නම්...


සෑම බෞද්ධයකු ම වාගේ ඕනෑම කුශලයක් කළාට පසුව ප්‍රාර්ථනා කරන්නේ සසර දුකින් මිදී නිවන් දැකීමට වුවත්, කරනු ලබන සෑම කුශලයක් නිසා ම නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට ලැබෙන්නේ නැති බව සමහර අය නො දන්නා කරුණක් වන්නට පුළුවන්. 

බෝධි පූජා, බුද්ධ පූජා, දන්දීම්, වැනි සසර දිග්ගැස්සීමට හේතු වන වට්ටගාමී කුශලයක් කළාට පසුව ඒවා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම්, එවැනි කුශලයක් වුවත් නිවන් ලැබීමට හේතුවන විවට්ටගාමී කුශලයක් බවට පත්කර ගැනීමට නුවණ ඇති කෙනකුට හැකිබව අවබෝධ කර ගැනීම සුදුසු යි. 

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම යනුවෙන් අදහස් කරන්නේ නුවණින්, විදර්ශනා ඇසකින් නැවත නැවත විමසා බලමින් තමා විසින් ම එම කරුණු අවබෝධ කර ගැනීමට. විදර්ශනාව ගැන අවබෝධයක් නැති කෙනකුට මෙය කළ නො හැකි නිසා ඒ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. එවැනි අවබෝධයක් ඇතිකර ගැනීම නිවන අත්දැකීම සඳහා ද ඉතාමත් ම අවශ්‍ය වනවා.

සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, අග්‍ර ශ්‍රාවක-මහා ශ්‍රාවක භාවයන්, රහත්භාවය ආදී කවර ප්‍රාර්ථනයක් තිබුණත්, ඒ සෑම කෙනකු විසින් ම නිවන අවබෝධ කිරීමට අවශ්‍ය ගුණධර්ම අනිවාර්යෙන් ම දියුණු කර ගත යුතු යි.

නිවන් ලැබීමට අවශ්‍ය ගුණධර්ම කියන්නේ කෙටියෙන් කියනවා නම් ශීල-සමාධි- ප්‍රඥා කියන ත්‍රිශික්‍ෂාවට;
මෙය ඊට වඩා විස්තර වශයෙන් දක්වනවා නම් ආර්යඅෂ්ඨාංගික මාර්ගයට;
ඊටත් වඩා විස්තර වශයෙන් කීවොත් සත්තිස්බෝධිපාක්‍ෂික ධර්මයන්ට.

මේ අතුරෙන් දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි, සැම විටම වාගේ දක්වා වදාළේ.

ත්‍රිශික්‍ෂාව : ශීල, සමාධි, ප්‍රඥා.

ශීල :

ගිහි අයට නම් නිත්‍ය පංච ශීලය හෝ නිත්‍ය ආජීව අෂ්ඨමක ශීලය ආරක්‍ෂා කිරීම ප්‍රමාණවත් වුවත්, ඉන්ද්‍රිය සංවර ශීලය ආරක්‍ෂා කිරීම ද ඉතාමත් ම ප්‍රයෝජනවත් වනවා. ඒ කියන්නේ ඇස- කන- නාසය- දිව- ශරීරය හා මනස කියන ඉන්ද්‍රියන්ට රූප- ශබ්ද- ගන්ධ- රස- කයට දැනෙන ස්පර්ශ හා මනසට දැනෙන දේවල් හමුවුණාට පසුව ආශාවක්, තරහක්, ඊර්ෂ්‍යාවක් ආදී කෙලෙස් ඇතිවන්නට නොදී සිත මැදහත්ව තබාගැනීමට පුරුදු වීම ට.

මේ සඳහා එදිනෙදා ජීවිතයේ දී තරහක් ඇතිවන විට 'තරහක් තරහක තරහක්...' කියා සිහිපත් කොට ඒ තරහ සිතුවිලි මැඩ ගැනීමත්, තමන්ගේම පවුලේ භාර්යාවන් වැනි අය හැර වෙනත් අය ගැන අයුතු රාගයක් ඇතිවන විට 'රාගයක් -රාගයක්- රාගයක් " කියා සිතා ඒ ඔස්සේ සිතිවිලි ගලා යාමට ඉඩ නොදී සිත කෙලෙස් වලින් තොරව හැකි තරම් ඉන්නට පුරුදු වීමත් කළ යුතු වනවා. මෙසේම ඊර්ෂ්‍යා, දැඩිලෝභ ආදී සෙසු කෙලෙස් ඇතිවන විට ද එසේ කරන්නට ඕනෑ. මෙය පුරුදු කිරීම මුලදී තරමක් අපහසු වුවත්, පුරුදු වූ පසු සිත සැනසිලි දායක ලෙස තබා ගැනීමට හැකිවේවි.

සමාධි :

සමාධි කියන්නේ සමථ වශයෙන් හෝ විදර්ශනා වශයෙන් ඇති කර ගනු ලබන රූපාවචර 1-2-3-4 ආදි ධ්‍යාන සිත් වලට. නිර්වාණය අත්දැකීම සඳහා අඩුම වශයෙන් පළමුවන ධ්‍යාන සිතවත් තිබීම අත්‍යවශ්‍ය වුවත්, සමථ භාවනා කොට ධ්‍යානයක් උපදවා ගෙන විදර්ශනා භාවනා කිරීම අවශ්‍ය වන්නේ නැහැ. මුල සිටම විදර්ශනා භාවනා කරන කෙනකුට වුවත් ධ්‍යාන සිත් උපදවා ගන්නට පුළුවන්. ඒවා හඳුන්වන්නේ "වීමංසා සමාධි" නැත්නම් "ඛනික සමාධි" කියලා.

ප්‍රඥා :

මෙයින් අදහස් කරනු ලබන්නේ නිවන ලැබීමට අවශ්‍ය වන කරුණු ගැන තමන් විසින් ම ඇති කර ගත යුතු විදර්ශනාමය ප්‍රඥාව. ලෞකික වශයෙන් ඇතිකරගනු ලබන ප්‍රඥාවක් නිර්වාණාවබෝධය සඳහා හේතු වන්නේ නැහැ.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් රචිත ලිපියකි.




මාර්ගඵල සහ නිවන් මඟ

සෑම බෞද්ධයකු ම බලාපොරොත්තු වන්නේ සසර දුක නිමා කරමින් නිවන් සුව අත් දැකීමටයි.

"අද කාලයේ නිවන් දකින්නට බැහැ, මේ කාලයේ ධ්‍යාන මාර්ගඵල ලබපු, නිවන් දැකපු අය නැහැ" යැයි කියන ප්‍රකාශ මාධ්‍යයන් තුලින් අපට අසන්නට ලැබෙයි. සමහර විට ආර්ය උපවාද කර්මයට පවා එසේ කියන අය හසුවීමට ඉඩ ඇති බව තේරුම් ගත යුතුය.

අදත් ධ්‍යාන මාර්ග ඵල ලැබිය හැකි බවත්, එසේ ධ්‍යාන මාර්ග ඵල ලැබූ අය අදත් සිටින බවත්, අවබෝධ කර ගත යුතුය. නිවන් සුව මේ ජීවිතයේදීම අත් දැකීමට තරම් ප්‍රමාණවත් පාරමී ශක්තියක් ඇති අය අද ද සිටිති.

එබැවින් "දැන් නිවන් දකින්නට බැහැ"

කියන අය පසුපස නොගොස් මේ ජීවිතයේ දී ම මාර්ග ඵල ලබා ගැනීම සඳහා මඟ පෙන්වන අයගේ උපදෙස් අනුගමනය කරමින් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග දියුණු කර ගැනීමට උත්සුක වීම ප්‍රඥාගෝචරය.

නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට නම් අනිවාර්යෙන්ම පංචස්කන්ධයේ යථා තත්ත්වය අවබෝධ කර ගත යුතුය.

පඤ්චස්කන්ධය පිළිබඳව පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නොලබා ඒවා සිතින් අත නොහැර දුක කෙළවර කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ ඛන්ධ සංයුත්තයේ අනභිජාන සූත්‍රයේ දක්වා ඇත.

පඤ්චස්කන්ධ ධර්මයන්ගේ යථා තත්ත්වය යනු ඒ ස්කන්ධ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුබ බව, ශුන්‍ය බව ආදී ලක්ෂණයන්ය. අනිත්‍ය ආදී ඒ අවබෝධයක් ලබා ගැනීම සදහා එවැනි ධර්ම කරුණු අඩංගු පොත් පත් කියවා හෝ එවැනි ධර්ම දේශනා අසා හෝ එම කරුණු දන්නා අය සමග සාකච්ඡා කර හෝ පළමුවෙන් ඒ පිළිබඳව දැනීමක් ඇති කර ගැනීම සුදුසු ය.

දැනීම නිවන් අවබෝධ කර ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බැවින් එය තමන්ගේ ම අවබෝධයක් බවට පත්කර ගත යුතුය.දැනීම සහ අවබෝධය අතර විශාල පරතරයක් ඇත.

ඒ අවබෝධය ඇතිකර ගෙන විදර්ශනා භාවනාවක නියැලෙමින් අනිත්‍ය අනාත්ම ආදී ස්වභාවයන් භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැකීමෙන් නිවන් දැකිය හැකි වේ. නිර්වාණාවබෝධය ලබන්නේ අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ ලෙස අත්දැකීම තුළිනි. නිර්වාණය අත් දකින්නේ සෝවාන් - සකදාගාමී - අනාගාමී - අරහත් යන මාර්ගඵලවලට පත් වීමෙනි. 

සෝවාන් වූ කෙනාත් නිර්වාණය අවබෝධ කළ අයකු වන අතර, ඔහුට ඵලසමවත් වලට සම වදිමින් නිවන් සුව මේ ජීවිතයේදීම රස විඳිය හැකිය.

****සෝවාන් වීම****

සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයන් නැවත කිසිදා නූපදින අන්දමින් නිරුද්ධ වේ. පඤ්චස්කන්ධ ධර්මයන් ආත්ම වශයෙන් ග්‍රාහණය කිරීම සක්කාය දිට්ඨියයි. විචිකිච්ඡා යනුවෙන් හැඳින්වෙන්නේ ත්‍රිවිධ රත්නය, පෙර භව, පසු භව, පෙර පසු භව, පටිච්ච සමුප්පාද ධර්ම හා ත්‍රිශික්ෂාව පිළිබඳ ව පහල වන සැකයයි. සීලබ්බත පරාමාස යනු දුකින් නිදහස් වීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් නොකර වෙනත් ලබ්ධි වල එල්බ ගෙන කරනු ලබන විවිධ ක්‍රියාවන් ය.

පඤ්චස්කන්ධ ධර්මයන්ගේ යථා තත්ත්වය අවබෝධ කරගෙන සති සමාධි ප්‍රඥා දියුණු කරමින් විදර්ශනා භාවනාවක නියැලෙමින් පඤ්චස්කන්ධයේ ඇති වීම් නැති වීම් බල බලා සිටීමෙන් පාරමී ශක්තියක් ඇති කෙනෙකුට පහසුවෙන් නිවන් අත් දැකිය හැකි වනු ඇත.

විදර්ශනා භාවනාවක යෙදෙන සමාධි ප්‍රඥා දියුණු කෙනකුට පංචස්කන්ධයේ ඇතිවීම් නැතිවීම් ප්‍රත්‍යක්ෂ ලෙසම අත්දැකිය හැකි වේ. 

අප අත පය හිරි වැටී දිග හැරිය පසු ඒ අතපය නලිය නලියා වෙනස් වෙන හැටි කායික වශයෙන් ප්‍රත්‍යක්ෂ ලෙසම තේරෙන්නාසේ සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුට තමන්ගේ ශරීරය කිව නොහැකි තරම් අතිශය වේගයකින් ඇතිවී ඇති වී නැතිවී නැතිවී යන ආකාරය ප්‍රත්‍යක්ෂ ලෙසම පෙනී යයි. සමහර අවස්ථාවලදී ඒ රූප බිඳී බිඳී යන හඬ පවා "හ්ම් හ්ම් හ්ම් " යන හඬින් තමාගේ පියවි කනට පවා ඇසෙයි. ඒවා දක්නා සිත් ද එලෙසින්ම අති වේගයකින් ඇති වෙමින් නැති වෙමින් යන ආකාරයද ඔහු දකියි. එසේ වහ වහා බිඳී බිඳී යන නාම රූප "මම" "මගේ" "මගේ ආත්මය" ආදී ලෙසින් ගැනීමට කිසිවක් ඉතිරි නොවීම නිරුද්ධ වී යාම ද එවැනි කෙනෙකුට අවබෝධ වේ.

මේ මොහොතේ පවත්නා රූප කොටස් ඊළඟ මොහොත වන විට නැතිවී නිරුද්ධ වී යන බැවින් ආත්ම වශයෙන් ගැනීමට කිසිවක් ශේෂ නොවන බව දැක අනාත්ම ලක්ෂණ ප්‍රකට ව හා ප්‍රත්‍යක්ෂ ලෙස දක්නා කෙනෙකුට රූපය සිතට නොපෙනී ගොස් රූප නිරෝධයකට සිත පත්කර ගත හැකිය. මෙවිට තමාගේ ශරීරය සම්පූර්ණයෙන්ම සිතට නොපෙනී ගොස් හිස් අහසක් බඳු ශුන්‍ය තත්ත්වයකට සිත පත් වේ. ඒ අවස්ථාවේ දී රූපය තුළ ආත්මයක් ඇත යැයි ගැනීමට රූපයක් විද්‍යාමාන වන්නේ නැත.

මෙවිට ඉතිරිව ඇත්තේ ඒ ශුන්‍ය භාවයත් ඒ දක්නා දැනීමකුත් පමණි. තමාගේ ආත්මය වශයෙන් ගැනීමට ඒ අවස්ථාවේ දර්ශනය වන එකම දෙය එයයි. 

යම් දෙයක් ඇති විට ඒ දේ ඇතැයි කිව හැකිය. උදාහරණයකට පහන් දැල්ලක් දැල්වෙන විට එය ඇතැයි කියා කිව හැකිය. එහෙත් ඒ දැල්ල නිවී ගිය පසු එය ඇතැයි කියා කිව නොහැක. 

මේ අවස්ථාවේ දර්ශනය වන ආත්මය වශයෙන් ගැනීමට ඉතිරිවී ඇති ඒ දර්ශනය පවා අනිත්‍යයට යන ආත්ම නොවන නාම ධර්මයකි ; සංස්කාර ධර්මයකි. 

එය නැතිවී නිරුද්ධ වී ගිය විට එහි ආත්මය කියා ගැනීමට කුමක් නම් ඉතිරි වේ ද?
මේ අවබෝධයෙන් යුතුව ඒ ශුන්‍යතාවය දෙස බලා සිටින විට ඒ දක්නා නාම ධර්මය ද නිරුද්ධ වී යාම එක් ක්ෂණයක දී දර්ශනය වී තවත් ගැඹුරු ශුන්‍යතා දර්ශනයක් ඇති වේ.
එය ද අනිත්‍ය වූ අනාත්ම වූ "මම" "මගේ" නොවන සංස්කාර ධර්මයක් බව අවබෝධ වන විට නාම රූප නිරෝධය අත් දැක නිවනට සිත පත් කර ගත හැකිය.

ඇතැම් අය කියන "නාම-රූප නිරෝධය කියා දෙයක් නැත. එහෙම දෙයක් බුදුහාමුදුරුවෝ කියා නැත" ආදී ප්‍රකාශ අපට අසන්නට ලැබෙයි. ඒ අය බුදුරජාණන් වහන්සේ විසින් විවිධ සූත්‍ර වල "රූප නිරෝධඤ්ච පජානාති" ආදී ලෙසින් දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසුය.

මෙසේ නාම-රූප නිරෝධය ප්‍රත්‍යක්ෂ ලෙස දක්නා පුද්ගලයා චතුරාර්ය සත්‍යය ද පැහැදිලිව දකී.

රූප නිරෝධයට පත් වූ අවස්ථාව සමඟ ඊට පෙර පැවති රූපයේ පැවැත්ම සසඳා බැලීමේදී, රූපය සිතට වැටහෙමින් පැවති අවස්ථාව දුකකි. 

නාම ධර්ම සංසිදී ගිය අවස්ථාව සමඟ ඊට පෙර පැවැති නාම ධර්ම සංසන්දනය කර බලන විට නාම ධර්ම ක්‍රියාත්මක අන්දමින් පැවැත්ම දුකක් බව වැටහේ. එබැවින් මෙම නාම රූප ධර්ම එනම් පංචස්කන්ධ ධර්ම පැවතීම ම දුකකි.

"සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා " කෙටියෙන් දුක යනු පඤ්චස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම යි. දුක්ඛ සත්‍යය යනු එයයි.

පංචස්කන්ධය ඇතිවීමේ හේතු වශයෙන් දුටු සමුදය පංචස්කන්ධ සංඛ්‍යාත දුක ඇති කරනු ලබන දුක්ඛ සමුදය සත්‍යය වේ. මේ නාම රූප නිරෝධය ප්‍රත්‍යක්ෂ ලෙසම දක්නා ඔහු දුක්ඛ නිරෝධ සත්‍යය ද දකී.

නාම-රූප නිරෝධය ලැබීමට අනුගමනය කල විදර්ශනා භාවනාව දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය බව ඔහුට අවබෝධ වේ.
ඉහළ ඉහල මාර්ග ඵල ලබන විට චතුරාර්ය සත්‍යාවබෝධය වඩාත් ගැඹුරින් ප්‍රත්‍යක්ෂ ලෙස දැකිය හැකි වනු ඇත.

~~~ අති පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් රචිත "නිවන් සුව මේ ජීවීතයේදීම" ග්‍රන්ථයෙනි. ~~~

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...