ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
කොත්මලේ කුමාර කස්සප හිමි
ස්කන්ධ පංචකය අහේතුක ව අප්‍රතිකව ඉපදුන දෙයක් නො වෙයි. ස්කන්ධ පංචකය ආහාරය නිසා හටගත් දෙයක් යනුවෙන් දැක, ඒ හටගත්ත ආහාරයාගේ නොඇලීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස උත්සාහවත් වෙනවා.
ඒ ආහාරයන් ටික යම් හේතු ටිකක් නිසා ස්කන්ධ ධර්මතා ටික හටගත්තා නම්, ඒ හේතු ටික නැතිවෙලා යන විට, ස්කන්ධ ධර්මතා ටික නැතිවෙලා යාම සිද්ධ වෙනවා. එවිට ඒ ස්කන්ධ ධර්මතා හේතු ටික අනුව ගොඩ නැඟුණු ස්කන්ධයන් හේතු ටික නැති වෙන විට නැති වෙනවා යනුවෙන් දකින, ඒ උත්තරීතර දර්ශනය නිසා තමයි, ස්කන්ධයන්ගේ මිදීම මෙහි නිරෝධය වන්නේ.
මෙහි නිරෝධය නමැති වදන තැන් දෙකක භාවිත වුණා. නිරෝධය වචනය පාවිච්චි වෙන විට, ආහාර නිසා හටගත්ත ධර්මය , ආහාරයාගේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා යනුවෙන් කතා කරනවා. ඉන්පසුව මෙය බලන්න , කුමක් පිණිස ද? ස්කන්ධයන්ගේ නිරෝධය සඳහා යනුවෙන් අපි සඳහන් කරමු. මෙහි අපට නිරෝධය වදන අර්ථ දෙකක ලැබෙන අතර, එකක් හටගත්ත ධර්මයන්ගේ ඉතිරි නැතිව නිරුද්ධ වන ස්වභාවය, අප කියනවා සමුදය ස්වභාව කොට ඇති ධර්මයන් ඇති වීම ස්වභාව කොට ඇති ධර්මයන් නැතිවීම ස්වභාව කොට පවතිනවා. එසේත් නොමැති නම්, යමක් සමුදය ස්වභාව කොට පවතිනවා නම්, එය නිරෝධය , නැතිවීම ස්වභාව කොට පවතිනවා යනුවෙන් .
එවිට මෙලෙස පවතින නිරෝධය , නිරෝධ සත්‍ය යනු නැති බව යි. හේතුව එය නිරෝධ සත්‍ය බවට පත් වුණොත්, අප නිවන් දැක තිබෙන්නේ අප විසින් නිවන් දැකීම සඳහා අමුතුවෙන් කළ යුත්තක් අපට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා අප නිරෝධය කියන කාරණාවේ දී තේරුම් ගන්නට ඕනේ, ක්ෂණික නිරෝධයක් තියෙනවා, ක්ෂණික නිරෝධයක් යනු ස්කන්ධයන්ගේ හටගෙන , හැම මොහොතක ම බිඳී යන ස්වභාවයක් තියෙනවා. ස්කන්ධයන් මේ මොහොතේ හටගත් ස්කන්ධයන් නැවත හට නොගන්නා ලෙස ඉතිරි නැතිවම බිඳී යනවා. ස්කන්ධ පංචකය හට ගන්නවා. ස්කන්ධ පංචකය බිඳී යනවා.
උදාහරණයක් ලෙස සඳහන් කළොත්, ඔබට රූපයක් එළියේ පෙනෙන අවස්ථාවක දී ඔබ ඉදිරිපසින් ඇති ගසක් අප දකිනවා කියන මේ සංසිද්ධිය තුළ ඇසට අනාත්ම වර්ණ සටහනක් පතිත වෙනවා. වර්ණ සටහන දන්නේ නැහැ, ගසක් අරගෙන ඇසට එනවා යනුවෙන් දන්නේ නැහැ. එසේම ඇස දන්නේ නැහැ, වර්ණ සටහන ගසක් අරගෙන ඇවිත් ඇසට පතිත වුණා යනුවෙන් ඇස දන්නෙත් නැහැ. එවිට එතැන තියෙනවා, අනාත්ම ධර්මතාවයක්, අනාත්ම වර්ණ සටහනක්, ඇසෙහි ඇති ප්‍රසාදවත් බව නිසා, ඔපවත් බව නිසා, ඇසට පතිත වුණා යනුවෙන් ඒ ස්වභාවය තියෙනවා. එවිට ඒ ධර්මය නිසා අපට පෙනීම යන ක්‍රියාව නැතිනම් දර්ශනය කියන දේ සිද්ධ වුණා, එවිට දර්ශනය කියන දේ සිද්ධ වුණාට ඒ අවස්ථාවේ දී පැවතුණ එකම තැනකදිවත් අපට ගස කියන දේ ඇසට ආවා හෝ ඇස ගහ දැනගත්තා කියන තැනකට පැනවීමකට යන්නේ නැහැ.
එසේම සිතෙන් අප ඒ වේලාවේ දී රූපය පිළිබඳ අරමුණු කරන විටත්, ඇස ගස දැනගන්නවා කියන තැනකදී නැතිනම් ප්‍රත්‍යඤ්ඤ මාත්‍රයක් දැනගන්නවා කියන තැනකට යන්නේ නැහැ. නමුත් අප මනෝ විඤ්ඤාණය පැත්තෙන් රැස් කර ගන්නවා, සම්පූර්ණම එළියේ තියෙන ගස පිළිබඳව ආශ්‍රව ටිකෙන් , නිමිති වශයෙන් අරමුණු කර දැනගන්නවා, දැනගන්නේ කවර ස්ථානයක තියෙන ගසද යනුවෙන් බාහිර සතර මහා ධාතුව පැත්තේ ගසක් ඇති බවට අපට පේනවා කියන දේ පිළිබඳ අප දැනගන්නවා. ඇත්තටම මෙලෙස පෙනෙන සිද්ධිය, තුළ අපට ගසක් සහ ගස දකින පුද්ගල භාවයත්, නිර්මාණය වීම තමයි, සිද්ධ වෙලා තියෙන්නේ. ගසක් සහ ගස දකින පුද්ගල භාවය තමන්ගේ පැත්තෙන් නිර්මාණය වීම යි.
ඒ නිසා අපට ඇත්තට ම මේ සිද්ධිය තුළ හටගත්ත ධර්මයන් ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා යනුවෙන් සඳහන් කළේ, හටගත්ත ධර්මයන්ගේ ඉතිරි නැතිව නිරුද්ධ වීමේ දී ඇසට පැමිණි වර්ණ සටහන රූපය පෙර නොතිබීම ආවා. එනම් පෙර තිබිලා පැමිණියා නො වෙයි, ඒත් තිබුණට පසුව නැවත එනවාත් නො වෙයි, උදාහරණයක් සඳහන් කළොත්, එක වතාවක් අප විදුලි පන්දමක එළියක් පත්තු කර නැවත නිවා, නැවත දල්වද්දී පෙර තිබුණු එළිය නො වෙයි, අලුතෙන් ම හේතු ටික නිසා හටගත් ඵලයක්. මෙලෙස ඇසට ඇතිවන පාට ටික, වර්ණ සටහන පෙර පැමිණි දෙය නො වෙයි, එසේම මේ දැන් එන දේ අනාගතයට එන දේත් නො වෙයි, ඒ නිසා කියනවා, පෙර නොතිබීම හට ගත්තා, ඉතිරි නැතිවම නැතිවුණා යනුවෙන් සඳහන් කරනවා. එවිට පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව නැතිවී යන ධර්මතාවක් වන්නේ, රූපය පැත්තෙන් ඇස සහ රූපය පැත්තෙන් තිබුණෙත්, ඒ වගේම ඒ ඇස සහ රූපය ඇති කල්හි, එතැනට යොමු වුණ සිතේ ස්වභාවයත් , එසේම අප ගස යනුවෙන් දැනගත් දෙයක්. එවිට ඒ දැනගත්ත ගස නැවත කවදාකවත් දැනගන්න පුළුවන්කමක් නැහැ. එය එකම ගඟෙන් දෙපාරක් ස්නානය කරන්න බැහැ වගේ දෙයක්. අපට කවදාකවත් එකම ගංඟාවකින් දෙවරක් නාන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ.
නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි
No comments:
Post a Comment