Saturday, August 21, 2021

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත.

“කමමා විපාකා වතතනති – විපාකො කමමසමභවො
තසමා පුනඛහවො හොති – එවං ලොකො පවතතතී’ති.”

කයින් වචනයෙන් සිතින් සිදු කරගනු ලබන කුසලාකුසල කර්මයන් විපාක පිණිස පවතී. එම විපාකයන් ගෙන් නැවත කර්ම හට ගනී. ඒ හේතුවෙන් නැවත ඉපදීම සිදු වේ. මෙසේ සත්ව ලෝකය නො සිඳී පවතී.

මෙම පොත(PDF) පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
 
 
 

"ලොව පවත්නා පොත් අතරින් අගනාම විසිතුරු පොත වශයෙන් සැළකිය යුත්තේ ජීවන පොතය. .." - අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශාභිධාන මාහිමිපාණන් වහන්සේ..!

 


හොරුන් ට නම් වසංගතයත් වසන්තයක් වෙලා තියෙන්නේ............

 

හොරුන් ට නම් වසංගතයත් වසන්තයක් වෙලා තියෙන්නේ. මිනිසුන් සුරාකන, මිනිසුන්ට ලැබිය යුතු දේවල් හොරකම් කරන ,වංචා කරන අය බොහොමයක් ඉන්නවා.හැබැයි එයාලා ට මතක් වෙන්නේ මේ ජීවිතය අත්හැරලා යන්න වෙන්නේ හිස් අතින් කියල.
 
මේ ජිවිතයෙන් නික්මී යන කොට අපි හැමෝටම ගෙන යන්න තියෙන්න කරපු හොද සහ නරක පමණයි. 
 
නොසිතන මොහොතකයි මෙය පැමිණෙන්නේ
සැමදා හොඳම දෙය කර ඔබ වැජබෙන්නේ
අන්තිම තත්පරෙත් සමහරු ලතවෙන්නේ
කල කම් පලදෙනව සත්තයි හිතමින්නේ
 
සැමදා කරනු හොඳ දේ නුඹ මිනිසුන්ට
කෙනෙහිලි ඇයිද හැමදාමත් සුදුසුන්ට
ඇති විට බලය ඇයි උමතුව නොමිසුන්ට
දෙවරක් සිතනු සලකනවද වියතුන්ට
 
අසරණ වෙනව කවුරුත් මරණයක් ළඟ
රැදෙනව ලොකුම කඳුළක් නෙතක් අග
ජීවිත ගමන ‘සොඳුරුම මිනිසෙක්ය’ වග
ජීවත් වෙලා මැණුරත් බැබළේය රඟ
 
හරියට වෙලාවට හරිදේ සැම කරනු
හොඳ මනසකින් සැමදා ගුණ දම් පුරනු
බුද්ධිය හටම ඉඩ දී සෙනෙහස විදිනු
මරණෙන් පසුත් ‘අග යමි ඔබ’ හට පුදනු
 
කවියේ අයිතිය මුල්හිමිකරු සතුයි
 


 

ආගම සහ ධර්මය වෙන්වෙන තැන

බුද්ධාගම හැමදාම සද්දයි.ශබ්ද පුජාවන් , හඳුන්කූරු පුජාවන් , ෂඩ් වර්ණ කොඩි වනන්න සෙනඟ , මළ ඝෝෂාවක් තියෙන්නේ.... 
 
උජුකෝ නාම සෝ මග්‌ගෝ අභයා නාම සා දිසා
රථෝ අකූජනෝ නාම ධම්‌මචක්‌කේහි සංයුතෝ
 
නිවනට මෙහෙය වු සිත් ඇතිව එකළාව වඩන ලද වැර ඇතුව කටයුතු කරනවා.කාටවත් කලහ ඝෝෂාවක් නෑ.ඔතන තමයි ආගම සහ ධර්මය වෙන්වෙන තැන.ආගම හැමදාම කලහ, ඝෝෂා සහිතයි, හැමදාම මවාපෑම් , හැමදාම අඩහැරය. ධර්මය වැඩකරන වේලාවට මොන සද්දයක්වත් නෑ.
 
සද්ද තියෙන තැන නිවන නැහැ.ඔය දේ තේරුම් නොගන්නා තාක් අපගේ නිවන දුරයි.
 

 

මනෝ කාය සහ මරණය

අති පූජ්ය නාඋයනේ අරියධම්ම ස්වාමිපාදයන් වහන්සේ විසින් සම්පාදිත ධර්ම ග්රන්ථය - මනෝ කාය සහ මරණය

 මෙම පොත(PDF) පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

Look at yourself.

Look at yourself.
Don't pay attention when seeing somebody had some their evil.
Look at yourself that you had some evil like them or not?
Why you will to gossip or envy to them?
Hurry to solve for less of your evil.
 
Quote by Ven. Buddhadasa Bhikkhu
 

 

සසර අඳුරෙන් මිදෙන්න ආර්ය මාර්ගය හැර වෙනත් විද්‍යාත්මක මඟක් නොවේ.

 


මහත්ඵල ලැබීමට දන් පිංකම් කළයුතු ආකාරය - අති පූජ්‍ය නාඋයනේ ආරියධම්ම ස්වාමීන් වහන්සේ


යෝ සීලවා සීලවන්තේසු දදාති දානං
ධම්මේන ලද්ධං සූපසන්න චිත්තෝ
අභිසද්ධහං කම්ම ඵලං උළාරං
තං වේ දානං විපුල ඵලංති භ්රෑමීත
 
තුන්ලෝකාග්ර වූ, භාග්යවත් වූ, අර්හත් වූ, සම්යක් සම්බුද්ධ, සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මහා කරුණාවෙන් ලෝ වැසි ජනතාවගේ සුවසෙත උදෙසා වදාළ දක්ඛිණ විභඩග සූත්රයේ අවසාන ගාථාවයි ධර්ම දේශනාව සඳහා ඉදිරිපත් කරන්නට යෙදුණේ.
 
මහා බෝසතුන් වහන්සේ බුදු බවට පත් වී අවුරුද්දක් ගිය තැන විසි දහසක් මහ රහතන් වහන්සේලා සමඟ කපිල වස්තු නුවරට වැඩම කොට වදාළේ පිය මහ රජතුමාට ධර්ම අනුග්රහ කරනු පිණිසයි. පළමු දවස හරියට වෙසක් පෝයදා උදා වුණා. තථාගතයන් වහන්සේ තම ඥාතීන්ට බුදුමහිම දක්වනු පිණිස අහසට පැන නැඟී රුවන් සක්මනක් මවා නිර්මිත බුදු රුවක් ද මවා, ඉරියව් මාරු කරමින්, ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කරමින්, යමා මහ පෙළහර පාමින් එම අවස්ථාවේදී යමා මහ ප්රාතිහාර්යය පා වදාළා. එම ප්රාතිහාර්යය අවසානයේදී මහා පෘථීවිය ද කම්පා වුණා. අහසේ මල් වැසි ද වැස්සා. කෝටි ලක්ෂයක් දෙවියන් බ්රහ්මයන් රහත් වුණා. අසංඛ්යෙයක් පිරිස සෝවාන් වුණා, සකෘදාගාමී වුණා, අනාගාමී වුණා, මවුපිය ඥාති කුල අසූ දහසක්, පිය පස ඥාති කුල අසූ දහසක් දෙනා මුලින් කැපූ කෙසෙල් කඳන් මෙන් බිම දිගා වෙලා තෙරුන් සරණ ගත වුණා.
 
මෙම පොත(PDF) පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
 
 
 

Good actions bring good results


 

කෙනෙකු මියගිය විට ගෞරවණීය නික්ම යාමක් ලබා දීමට නොහැකි වුවහොත් එය ජීවත් වන්නන්ට මහත් වේදනාවක් ඉතිරි කරයි. මේ අවස්ථාවේ වල්පොළ රාහුල ආයතනය හැකි පමණින් එබඳු අයට සහය වීමට සූදානම්.........

 


 

Friday, July 23, 2021

වත්ථූපම සූත්‍රය 01 - පූජ්‍ය දිගන සුගතවංස ස්වාමීන්වහන්සේ

 

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන විහාරයෙහි දී භික්ෂූන්ට දේශනා කළ දම්දෙසුමකි, වත්ථූපම සූත්‍රයෙහි ඇතුළත් වන්නේ. වස්ත්‍රයක් උපමා කරමින් කිලුටු සිත මෙන්ම පිරිසුදු සිත පිළිබඳව දේශනා කළ වටිනා දහමක් මෙහි ඇතුළත් වෙයි. සිත කෙලෙසන පාප ධර්ම සොළොසක් මෙහි සඳහන්වන අතර එම පාපී ධර්මයන් දුරු කරන අයුරුත් සිව්බඹ විහරණයන් වඩන අයුරුත් විස්තර වේ.

යම්සේ පිරිසුදුව බබළන්නාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නේ නිල්පාට කිරීම පිණිස හෝ රන්වන්පාට කිරීම පිණිස හෝ ලේ පැහැ කිරීම පිණිස හෝ මදටිය පැහැ කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද, එය ඒ යෙදූ පාට ඇත්තක්ම වන්නේය. හොඳ පාට ඇත්තක්ම වන්නේය. පිරිසුදු පාට ඇත්තක්ම වන්නේය. ඊට හේතුව නම් ඒ වස්ත්‍රය පිරිසුදුවූ බැවිනි.මහණනි, එපරිද්දෙන්ම සිත නොකිලිටිවූ කල්හි සුගතියම කැමති වන්නේය. යහපතම කැමති වන්නේය.

බුදුරදුන් හා සුන්දරී භාරද්වාජ බ්‍රාහ්මණයා අතර ඇතිවූ සංවාදයක් ද මෙහි ඇතුළත්වෙයි. දහම් ඇසීමෙන් පසු ඔහු පැවිදිව රහත්වන අයුරු සිත්ගන්නා ලෙස විස්තරවෙයි. මෙතැන් සිට පෙළ දහම ඇසුරින් මෙම දම් දෙසුම විමසා බලමු.

අපිරිසුදු වස්ත්‍රය හා අපිරිසුදු සිත මහණනි, යම්සේ කිලුටු වූ මල බැඳුනාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය, රෙදි සායම් කරන්නෙක් නිල්පාට කිරීම පිණිස හෝ රන්වන්පාට කිරීම පිණිස හෝ ලේ පැහැ කිරීම පිණිස හෝ මදටිය පැහැ කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද, එය අවපැහැ ඇත්තක්ම වන්නේය. අපිරිසුදු පාට ඇත්තක්ම වන්නේය. ඊට හේතුව නම් ඒ වස්ත්‍රය අපිරිසුදු බැවිනි. මහණනි, එපරිද්දෙන්ම සිත කිලුටු වූ කල්හි දුර්ගතියම කැමති වන්නේය. අයහපතම කැමති වන්නේය.

පිරිසුදු වස්ත්‍රය හා පිරිසුදු සිත

මහණනි, යම්සේ පිරිසුදුව බබළන්නාවූ වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රය රෙදි සායම් කරන්නේ නිල්පාට කිරීම පිණිස හෝ රන්වන්පාට කිරීම පිණිස හෝ ලේ පැහැ කිරීම පිණිස හෝ මදටිය පැහැ කිරීම පිණිස හෝ යම් යම් සායමක් පොවන්නේද, එය ඒ යෙදූ පාට ඇත්තක්ම වන්නේය. හොඳ පාට ඇත්තක්ම වන්නේය. පිරිසුදු පාට ඇත්තක්ම වන්නේය. ඊට හේතුව නම් ඒ වස්ත්‍රය පිරිසුදුවූ බැවිනි.මහණනි, එපරිද්දෙන්ම සිත නොකිලිටිවූ කල්හි සුගතියම කැමති වන්නේය. යහපතම කැමති වන්නේය.

සිත කෙලෙසන පාපධර්ම

මහණනි, සිත කෙලෙසන්නාවූ පාපධර්මයෝ මෙසේය. අභිද්‍යාව නම්වූ විෂම ලෝභය (අනුන්ගේ දේ මට ඇත්නම් හොඳයැයි ආශා කරන දැඩි ලෝභය) හිත කෙලෙසන්නකි. ව්‍යාපාද (අනුන් නසනු කැමැත්ත) හිත කෙලෙසන්නකි. ක්‍රෝධය (තරහව) හිත කෙලෙසන්නකි. උපනාහය (බැඳගත් වෛරය) හිත කෙලෙසන්නකි. මක්ඛය (අනුන්ගේ ගුණ මැකීම) හිත කෙලෙසන්නකි. පලාසය (නීචව සිටිමින් උසස් පුද්ගලයන් හා තමා සමාන කර සිතිම) හිත කෙලෙසන්නකි. ඊර්ෂ්‍යාව (අන්‍යයන්ගේ සම්පත් නොඉවසීම) හිත කෙලෙසන්නකි. මසුරුකම (තමාගේ ඇති සම්පත් සැඟවීම) හිත කෙලෙසන්නකි. මායාව (රැවටිල්ල) හිත කෙලෙසන්නකි. සඨබව කෛරාටිකකම) හිත කෙලෙසන්නකි. ථම්භය (මානයෙන් ඉදිමුණු ගතිය) හිත කෙලෙසන්නකි. සාරම්භය (එකට එක කිරීම) හිත කෙලෙසන්නකි. මානය (ජාති ආදිය නිසා ඇතිවූ උඩඟු හැඟීම) හිත කෙලෙසන්නකි. අභිමානය (අධික මානය) හිත කෙලෙසන්නකි. මදය (ජාති ආදියෙන් මත්වීම) හිත කෙලෙසන්නකි. ප්‍රමාදය (පස්කම් සැපතෙහි ඇල්ම) හිත කෙලෙසන්නකි.

පාපධර්ම දුරුකරන අයුරු

මහණනි, ඒ මහණ තෙම අභිද්‍යාව නම්වූ විෂම ලෝභය හිත කෙලෙසන්නකැයි මෙසේ දැන හිත කෙලෙසන අභිද්‍යාව නම්වූ විෂම ලෝභය දුරුකරන්නේය, එසේම, ව්‍යාපාද, ක්‍රෝධය, උපනාහය, මක්ඛය, පලාසය, ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව සඨබව, ථම්භය, සාරම්භය, මානය, අභිමානය, මදය, ප්‍රමාදය යන මේවා ද හිත කෙලෙසන්නෝයැයි දැන, දුරුකරන්නේය.

බුදුන්කෙරෙහි පැහැදීම

මෙසේ හිත කෙලෙසන ධර්මයන් දුරුකරන හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයෙන් යුක්තය, සුගතය, ලෝකය දන්නා සේක. අනුත්තරය, චණ්ඩපුරුෂයන් දමනය කිරීමෙහි සාරථියෙක් වැනිය, දෙවි මිනිසුන්ට අනුශාසනා කරන්නාහ, බුද්ධය, භාග්‍යවත්ය, කියායි.

ධර්මයකෙරෙහි පැහැදීම

එමෙන්ම ධර්මයෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාව ප්‍රකාශ කරන ලදී. මෙලොව ලැබෙන ඵල ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. අවුත් බලවයැයි කියා දැක්වීමට සුදුසුය, තමන් තුළ ඉපදවීමට සුදුසුය. නුවණැත්තන් විසින් තම තමන් කෙරෙහිලා දත යුතුය කියායි.

සඟුන්කෙරෙහි පැහැදීම

එමෙන්ම සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වූයේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සෘජුව පිළිපන්නේය. න්‍යායට (නිර්වාණයට) අනුව පිළිපන්නේය. සාමීචි කර්මයට සුදුසු සේ පිළිපන්නේය. දුර සිට ගෙනැවිත් දෙන සිව්පසය ලැබීමට සුදුසුය. දුර සිට ආ ඤාති මිත්‍රාදීන්ට පිළියෙල කළ ආගන්තුක සත්කාරය ලැබීමට සුදුසුය. දොහොත් මුදුනේ තබා වැඳීමට සුදුසුය. ලොවට උතුම් වූ පින්කෙතය ඛ්යායි. යම් තැනෙක පටන් භික්ෂුව විසින් කෙළෙස් දුරු කරන ලද්දේද, වමාරණ ලද්දේද, මුදන ලද්දේද, නැති කරන ලද්දේද (එතැන් පටන්) හෙතෙම බුදුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්තවෙමි’ යි ඵලය දැකීමෙන් උපදනා සතුටද ලබයි. හේතුව දැකීමෙන් උපදනා සතුටද ලබයි. ධර්මයෙන් යුත් සතුටක් ලබයි. සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟවෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමි’ යි ඵලය දක්නා සතුට ලබයි, ධර්මයෙන් යුත් සතුටක් ලබයි. සතුටුවූවහුට ප්‍රීතිය උපදියි. සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳියි, සැපය ඇත්තහුගේ හිත එකඟවෙයි.

සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමෙන් යුක්ත වෙමි’ යි ඵලය දක්නා සතුට ලබයි, හේතුව දක්නා සතුට ලබයි, හේතුව දක්නා සතුට ලබයි. ධර්මයෙන් යුත් සතුටක් ලබයි. සතුටු වූවහුට ප්‍රීතිය උපදියි. සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි, සංසිඳුණු කය ඇත්තේ සැපය විඳීයි, සැපය ඇත්තහුගේ හිත එකඟවෙයි.

ආහාරයෙහි නොඇලෙන භික්ෂුව යම් තැනෙක පටන් ඒ භික්ෂුව මා විසින් කෙලෙස් දුරු කරන ලදැයි, වමාරණ ලදැයි, නැතිකරන ලදැයි ඵලය දක්නා සතුටද හේතුව දක්නා සතුටද ලබයිද ධර්මයෙන් යුත් සතුට ලබයිද, සතුටු වූවහුට ප්‍රීතිය උපදියිද, සතුටු සිත් ඇත්තහුගේ කය සංසිඳෙයිද, සංසිඳුණු කය ඇත්තේ හිතින් සැප විඳියිද, සැප ඇත්තහුගේ හිත එකඟවෙයිද, මහණනි, මෙබඳු සීල ඇති මෙබඳු සමාධි ඇති, මෙබඳු ප්‍රඥා ඇති ඒ (අනාගාමී) භික්ෂුව කළුහාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ඇතිව නොයෙක් ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඔහුට එය අන්තරාය පිණිස නොවෙයි.

(වත්ථුපම සූත්‍රය – මජ්ඣිම නිකාය)

මහණනි, කිලුටුවූ මළ රැඳුනාවූ වස්ත්‍රය පිරිසුදු ජලය ලැබ යම්සේ පිරිසුදු වෙයිද, බබළන්නේ වෙයිද, කෝවයෙහි දමන ලද රන්රිදී යම්සේ පිරිසුදු වෙයිද, බබළන්නේ වෙයිද මහණනි, එපරිද්දෙන්ම මෙබඳු සිල් ඇති මෙබඳු සමාධි ඇති මෙබඳු ප්‍රඥා ඇති ඒ (අනාගාමී) භික්ෂුව කළුහාල් ඇට අස්කළ ඇල්හාලේ බත නොයෙක් සූප ඇතිව නොයෙක් ව්‍යඤ්ජන ඇතිව අනුභව කෙරේද ඔහුට එය අන්තරාය පිණිස නොවෙයි. හෙතෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වන දිසාවද, එසේම සතරවන දිසාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.

සිව්බඹ විහරණයෝ වැඩීම

කරුණා සහගතවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වන දිසාවද, එසේම සතරවන දිසාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

මුදිතා සහගතවූ සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවෙනි දිසාවද, එසේම තුන්වන දිසාවද, එසේම සතරවන දිසාවද මෙසේ උඩ යට සරස යන සියලු තන්හි පැතුරුණාවූ සියල්ලෙන් යුක්තවූ ලෝකය, මහත්බවට පැමිණි අප්‍රමාණවූ වෛර රහිතවූ ව්‍යාපාද රහිතවූ උපේක්ෂාසහගත සිතින් පතුරුවා වාසය කරයි.

ඒ අනාගාමී පුද්ගලතෙම මේ දුක්ඛ ආර්ය සත්‍යය ඇත, ළාමකවූ සමුදය සත්‍යය ඇත.

ප්‍රණීතවූ මාර්ග සත්‍යය ඇත. මේ බ්‍රහ්ම විහාර ධ්‍යාන සංඥාවට වඩා උතුම් නිර්වාණය ඇතැයි දනියි. මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඔහුගේ සිත කාමාශ්‍රවයෙන්ද මිදෙයි. භවාශ්‍රවයෙන්ද මිදෙයි. අවිද්‍යාශ්‍රවයෙන්ද මිදෙයි. එසේ මිදුණ කල්හි මිදුණේයැයි දැනීමවෙයි. උත්පත්තිය කෙළවර විය, මඟ බඹසර වැස නිමවන ලදී. සතර මාර්ගයෙහි කටයුතු කරනලදී. මේ ආත්මය පිණිස කළයුතු අනෙකක් නැත්තේයැයි දනී.

මහණනි මේ මහණතෙම අභ්‍යන්තර නෑමෙන් නෑයේයැයි කියනු ලැබේ. මේ අවස්ථාවේ සුන්දරික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම බුදුන් සමීපයෙහි සිටියේය. එකල්හි සුන්දරික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

භාරද්වාජ බ්‍රාහ්මණයා

“භවත් ගෞතම තෙම බාහුකා නම් ගඟට නාන්ට යන්නේද”?

බුදුරජාණන් වහන්සේ

“බ්‍රාහ්මණය, බාහුකා නම් ගංඟාවෙන් කවර ප්‍රයෝජනයක් වේද? බාහුකා නදිය කුමක් කරයිද?”

භාරද්වාජ බ්‍රාහ්මණයා

“භවත් ගෞතමයෙනි, බාහුකා ගඟ විසුද්ධිය ගෙන දෙන්නකැයි ලෝවැස්සන් අතර සම්මතය. භවත් ගෞතමයෙනි, බොහෝදෙනා බාහුකා ගංඟාව පින් තොටකැයි සලකන්නාහුය. බොහෝ දෙනා තමන් කළ පව් බාහුකා නදියෙහි පාකර හරිති”.

බුදුරජාණන් වහන්සේ

“බාහුකා නම් ගඟටද, අධිකක්ක නම් තොටටද, ගයා නම් තොටුපලටද, සුන්දරිකා නම් ගඟටද, සරස්වතී නම් ගඟටද, ප්‍රයාග නම් තොටටද, බාහුමතී නම් ගඟටද නිතර බැස නාන්නාවූ අපිරිසුදු කර්ම ඇති පුද්ගලයා පිරිසුදු ‍ෙනාවෙයි.” “සුන්දරිකා ගඟ කුමක් කරයිද? ප්‍රයාග තීර්ථය කුමක් කරයිද? බාහුකා නදිය කුමක් කරයිද? ප්‍රාණඝාතාදී පව්කරන, කෲර ක්‍රියා කරන මිනිසා ශුද්ධ නොකරයි. “ “පිරිසුදු වූවහුට හැමදාම නෑමට (සුදුසු) උතුරුපල් නැකතවෙයි. පිරිසුදු වූවහුට හැමදාම පෝය දිනය වෙයි. පිරිසුදු ක්‍රියා ඇති ශුද්ධ පුද්ගලයාට හැමදාම වත් පිරෙයි.”

නිවැරදි ස්නානය

“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහිම ස්නානය කරව, සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී කරව, ඉදින් බොරු නොකියන්නෙහිද, ඉදින් සතුන් නොමරන්නෙහිද, ඉදින් නුදුන් දෙය නොගන්නෙහිද, ශ්‍රද්ධා ඇත්තේ වෙහිද, මසුරු නොවූයේ වෙහිද, ගයාවට ගොස් කුමක් කරන්නෙහිද? තොපගේ ළිඳත් ගයාවකි.” (ශුද්ධවූ පුද්ගලයාට ළිඳත් ගයාවත් යන දෙකෙහි වෙනසක් නැත.)

මෙසේ කී කල්හි සුන්දරික භාරද්වාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැල කළේය.

භාරද්වාජ පැවිදිවීම

“ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනි, ඉතා යහපත, ස්වාමීනී, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මංමුළා වූවෙකුට මඟ කියන්නේ හෝ වේද, අන්ධකාරයෙහි ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දරන්නේ හෝ වේද, මෙපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. ස්වාමීනි, ඒ මම භාග්‍යවතුන් වහන්සේ සරණ කොට යමි, ධර්මයද, භික්ෂු සංඝයාද, සරණකොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙත මහණකම ලබන්නෙමි, උපසම්පදාව ලබන්නෙමි”.

භාරද්වාජ තෙරුන් රහත්වීම

සුන්දරික භාරද්වාජ බමුණු තෙම බුදුන් වෙත පැවිද්ද ලැබුවේය. උපසම්පදාවද ලැබුවේය. ආයුෂ්මත් භාරද්වාජ භික්ෂුව වනාහි උපසම්පදා වී නොබෝකල් ඇත්තේ හුදකලා වූයේ වෙන් වූයේ, අප්‍රමාදව කෙලෙස් තවන වීර්යය ඇතිව කයෙහි හා ජීවිතයෙහි ආශා රහිතව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද ඒ උතුම්වූ මාර්ග බ්‍රහ්මචරියාව කෙළවර කොට ඇති අර්හත්ඵලය මේ ආත්මයෙහි තමාම දැක ඊට පැමිණ වාසයකළේය. උත්පත්තිය කෙළවර විය. මාර්ග බ්‍රහ්මචරියාව වැස නිමවන ලදී. සතර මාර්ගයෙන් (සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත්) කටයුතු දෑ කරන ලදී.

මේ ආත්මය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගත්තේය. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක්ද වූහ.

 https://tipitaka.lk/mn-1-1-7/sinh

Friday, May 28, 2021

Stillness Flowing

"When you keep your precepts, your mind is clean; when it’s clean,it’s at ease; and when it’s at ease, it’s at peace; and when it’s at peace, wisdom arises."

 
Ajahn Chah - Stillness Flowing



 
 
 

සතිය සහ ආදරය............

 

 

 

Thursday, May 27, 2021

අපි සාරවත් යැයි සිතාගෙන ඉන්න දේවල් අසාර වන්නේ ඇයි?

  
• මහාබෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයෙහි විඳී අප්‍රමාණ දුක් ගැහැට (මහාසීහනාද සූත්‍රය - https://tipitaka.lk/mn-1-2-2/sinh)
 
• ' වෙමි' යන අස්ම්මානය කුමක් ඇසුරු කරගෙන පවතීද?
(ආනන්ද සූත්‍රය - https://tipitaka.lk/sn-3-1-2-4-1/sinh)
 
• අපට වෙහෙස, තැති ගැනීම, බය ඇති වෙන්නේ කෙසේද?
 
• ලෙඩවීමේ දුක, මරණ දුක ආදී දුක් නැති කිරිමට අප කළ යුතු දේ?
 
• පෙනීම ( දර්ශන කෘත්‍ය) සිද්ධවන තැනක ඇති හේතුඵල දහම හා පෙනීම රූපයට පමණක් පවරා දිය හැකිද?
 
• තමන් සහ ලෝකය ගොඩනැගෙන ආකාරය

 

 

✨සසර නම් ඉතා බියකරුය.✨


ජීවිතය පිළිබඳව  තණ අග රැදි පිණි බිදක තරම් වත් විශ්වාසයක් නැත..ඉපදීම හේතුවෙන් සත්වයා ලෙඩ වීමට පත්වේ. කිසිවෙකුටත් කර්මයට බලපෑම් කල නොහැක. මේ වන විට ඉන්දියාවේ පැතිර යන කලු දිලීර රෝග තත්වය හේතුවෙන් මිනිසෙකුගේ ඇසක් අහිමි වී ඇති දර්ශනයක් මෙහි අන්තර්ගත වේ. 

සසර බියකරු බව වඩනු පිණිසත්,අනිත්‍ය සංඥාව වඩනු පිණිසත්,ධර්මය තුල ඔබේ අප්‍රමාදී බව පිණිසත් මෙම වීඩියෝ ඔබට උපකාර වනු ඇති.

‼️‼️සංවේදී දර්ශන ඇතුලත් බව කරුණාවෙන් සලකන්න.‼️‼️
 

 

 
 
 
 

 

Saturday, May 22, 2021

මොහසම්බන්ධනො ලොකො - 3 කොටස


මේ විදියටම කනට ඇසෙන ශබ්ද ගැනත් කල්පනා කරන්න. තමන්ගේ කන අරගෙන ඒ කන සම්බන්ධයෙන් මම කියන හැඟීම, මගේ කියන හැඟීම කන හා සම්බන්ධව පවතිනවද. මේ කන අනිත්‍යය ධර්මයක්ය කියලා තමන්ගේ සිත තුළ අවංකවම අදහසක් සිත තුල තියනවද? නිකම් මේවා "අනිත්‍යයයි-අනිත්‍යයයි" කියලා හිතන එක නෙවෙයි. අවංකවම කන දිහා බලනකොට සිතින් , සිතට පේනවා නම් මේක අනිත්‍ය දෙයක් ,නිත්‍ය ධර්මයක් නෙවෙයි, මේක මගේ එකක් නෙවෙයි, මට අයත් ධර්මයක් නෙවෙයි. මේක අනාත්ම දෙයක්. මේක ඒකාන්ත වශයෙන්ම, දුක්වූ දෙයක් දුක් ලබාදෙන දෙයක්. මේක දුක්ඛ සත්‍යයක් , දුක්ඛ සමුදය සත්‍යයක්, කියලා අවබෝධ වෙනවද කියලා බලන්න. 

කනට ඇහෙන ශබ්ද නිසා තමන්ට කොයිතරම් නම් දුක් සංසාරය පුරා විඳින්නට සිදු වුණාද, අනාගතයෙත් එහෙම්මම විඳින්නට සිදුවෙනවා. තමන් අප්‍රිය කරන ශබ්ද වලට ගැටීම නිසා දුක් වින්ඳා, ඒ වගේම ප්‍රිය කරන ශබ්ද වලට ඇලීම නිසාත් නොයෙක් දුක් විඳින්නට සිදුවෙනවා. ඔය ජාතක කතා වල තියනවා උඩින් යන බෝධි සත්වයෝ සෘද්ධි අභිඥ්ඥා සහිතව, පොළොවේ සිටින ගැහැණු කෙනෙක් කියන කවියක් අහලා ඒ සෘද්ධි නැති කරගෙන ඇවිල්ලා අනන්තවත් දුක් ඒ ජීවිතයම පුරාම ඒ කාන්තාව පෝෂණය කර කරා දුක් විඳපු හැටි ඒ ජාතක කතා වල දැක්වෙනවා. මේ විදියට පමණක් නෙවෙයි එදිනෙදා ජීවිතයේදි නොයෙක් ආකාරයේ ශබ්ද වලට ඇලීම නිසා කොයිතරම් නම් දුකකට පත් වුණාද , සංසාරයේ කොච්චර දුක් වින්දාද කියලා තේරෙනවාද කියලා තමන්ම විමසා බැලිය යුතුයි. මම අද මේ කියන්නේ තමන්ගේ සිත තමන්ම විමසා බැලිය යුතු ආකාරයක්. එහෙම බැලිය යුතු බව බුදුරජාණන් වහන්සේ දක්වනවා. රාහුල හාමුදුරුවන්ට එහෙම විවිධ තැන් වලදී එහෙම දක්වලා තියනවා. තමන්ගේ අඩුපාඩු තමන්ම විමස විමසා බැලිය යුතුයි කියන කාරුණ. 

මෙහෙම බලන කොට කන කියන එකත් ඒකාන්ත වශයෙන්ම දුකක් හා දුක්ඛ සමුදයක්. තමන්ට ඕන විදියට පවතින දෙයක් නෙවෙයි. සෝත විඤ්ඤාණය ගත්තොත් එහෙම මේක “මම අසනවා, මගේ ඇසීම” කියලා හිතනවද නැද්ද කියලා කල්පනා කරලා බලන්න. දැනීමක් ඇතිවි ඇතිවී - නැතිවි නැතිවි යනවා පමණක් හැර මෙතන වෙන දෙයක් තියනවද කියලා බලන්න. රූපයක් බලනවා කියන්නේ දැනීමක් ඇතිවි ඇතිවී නැතිවි නැතිවී යාමක්. ශබ්දයක් අසනවා කියන්නේ ඒකත්, දැනීමක් ඇතිවි ඇතිවී - නැතිවි නැතිවී යාමක්. තමන්ගේ කැමැත්තට හෝ අකමැත්තට අනුව ඒ දැනීම් ඇතිවුණා හෝ නැතිවුණා නෙවෙයි. හේතු නිසා ඇතිවෙලා නැතිවෙලා යන ඵල ධර්මතාවයක්. මේක හරියට අවබෝධ වෙනවානම් මේවායේ තියන සාරය මොකක්ද කියලා කල්පනා කරන්න. මේවායේ තියන සාරය හරය මොකක්ද ? ඉස්සෙල්ලා ඇහැ ගැන කතා කරද්දි කිව්ව චිත්ත සංස්කාර ධර්ම ජනිත වෙන ආකාරය. ඒවා ඇතිවුණා - පැවතුණා - නැතිවුණා එච්චරයි. නැතිවෙලා ගියාට පස්සේ මොකක්ද ඒකේ හරයක් වශයෙන් ගන්නට තියෙන්නේ. ඇහැට රූපයක් දැකලා රාගයෙන් ඇලි ඇලී බැඳි බැඳී හිටියා කියලා ඒ සිතිවිලි ටික නැතිවුණා, එච්චරයි. ඊට පස්සේ මොකක්වත් නෑ.ඒක කෙරෙහි ගැටි ගැටී හිටියයි කියලා හිතමු, ඒ සිතිවිලි ටික ඇතිවුණා, නැතිවුණා, එච්චරයි. ඒ වගේම තමයි, කනට ශබ්දයක් ඇහිලා ඇලි ඇලී හිටියාම ඒ ඇලීම ටික එතනම නැතිවුණා එච්චරයි.ශබ්දයත් නැතිවුණා, ඇලීමත් නැතිවුණා. නැත්නම් ඒ අසන ලද ශබ්දය කෙරෙහි ගැටීමක් ඇතිවුණා නම් ඒ ශබ්දයත් නැතිවුණා, ගැටීමත් නැතිවුණා, එච්චරයි.මේවා පිළිබඳව තමන්ගේ සිත තුළ යම්කිසි චිත්ත සංස්කාර ඇතිවෙනවා නම් ඒ සියළුම චිත්ත සංස්කාර ධර්ම ඇතිවෙනවා-පවතිනවා-නැතිවෙනවා.
මේවා ඔක්කොම සිදුවන්නේ, මේවා ඔක්කොම උපාදාන කරන්නේ, මම - මගේ කියලා හිතන්නේ, මේවා කෙරෙහි මෝහයෙන් බැඳෙන්නේ, ඒ වගේම උපධි වලින් බැඳෙන්නේ, තනිකරම අවිද්‍යාව තියන නිසා. ඒ අවිද්‍යාව කියන එකත් සිත තුළ තියන චිත්ත සංස්කාර ධර්මයක්. ඒකත් ඇතිවෙනවා-පවතිනවා-නැතිවෙනවා. නිරන්තරයෙන් තියන දෙයක් නෙවෙයි. අවිද්‍යාව කවදා සිත තුළට ඇතුල් වුණාද කියන කතාව කිසිකෙනකුට කියන්නට බැරිදෙයක්. ඒක බුදු හාමුදුරුවොත් එක්තරා සූත්‍රයක දක්වලා තියනවා. අවිද්‍යාව නිරන්තරයෙන්ම සිත තුළ ක්‍රියාත්මක වන්නේත් නෑ. එහෙම නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවානම් ප්‍රඥාවට ක්‍රියාත්මක වන්නට තැනක් නැතිව යනවා.ඒක නිසා ප්‍රඥාව ක්‍රියාත්මක වෙනකොට අවිද්‍යාව නැහැ. අවිද්‍යාව පවා අනිත්‍යයට යන සංස්කාර ධර්මයක්.තමන්ගේ සිතින් තමයි මේ විදියට රුප,ශබ්ද, ගන්ධ,රස, පොට්ඨබ්බ කියන සියළුම සංස්කාර ධර්මයන් උපාදාන කරන්නේ. මෝහයෙන් බැඳෙන්නේ. මේවම තමයි තමන්ගේ සිත තුළ සිතිවිලි ධර්ම ඇතිකර දීමට හේතු පාදක වන්නේ. ඇහැ, ඇහැට පෙනෙන රූප.එහෙම නැත්නම් චක්ඛු විඤ්ඤාණ ඇතිවන්නේ නැහැ. කන, කනට ඇහෙන ශබ්ද. එහෙම නැත්නම් සෝත විඤ්ඤාණ ආදී නාම ධර්ම පහළ වන්නේ නැහැ. මේ විදියට ඉන්ද්‍රියන් සහ බාහිර අරමුණු හමුවුණේ නැත්නම් තමන්ගේ සිත ක්‍රියාත්මක වන්නේ නෑ.ක්‍රියාත්මක වන්නට හැකිකමක් නැහැ.

ඒක නිසා ඉන්ද්‍රියන් සහ අරමුණු නිසා පහළ වන මේ සිතිවිලි ධර්ම කෙරෙහි ඇලීම් බැඳීම් ආදී චිත්ත සංස්කාර ධර්ම ජනිත වන්නේ. ඒවාගේම ඒවා කෙරෙහි අවිද්‍යාව ජනිත වන්නේ තමන්ගේම තියන නොදත්කම නිසා. වෙන එකක් නිසා නොවෙයි. මේ සියල්ලම, ඇතිවෙනවා - පවතිනවා - නැතිවෙනවා. සිතින් මේ මුළු විශ්වයක්ම තමා අල්ලාගෙන සිටින්නේ. අපි යම්කිසි දෙයක් ගැන සිත්විලි ඇතිකර ගත්තේ නැත්නම්,ඒ දෙය අපගේ සිත තුළ පවතින දෙයක් නෙවෙයි.විද්‍යමාන වෙන දෙයක් නෙවෙයි. ඕනෑම දෙයක් ගැන සිතිවිලි සිතුවොත් පමණයි ඒ දේ අපගේ සිත තුළ පවතින ධර්මයක් බවට පත්වන්නේ. සිත තුළ දර්ශනය වෙනවා -විද්‍යමාන වෙනවා. නැත්නම් ඒවා නෑ. 

මේ අය ඕනම අවස්ථාවකදී නිවෙස් වලට ගියාට පසුව, අපි හිතමු තද බල රාග සිතක් ඇතිවුණාය කියලා, වෙනත් පැත්තකට මේ සිතිවිලි යොමු කරලා බලන්න, එතකොට මේ රාග සිතිවිලි නැතිවෙලා යනවා. ද්වේශ සිතිවිලි ටිකක් ඇතිවෙනවා කියලා හිතන්න. ඒකට පටහැණි වෙනත් පැත්තකට සිතිවිලි ටිකක් සිතන්න. නැත්නම් වෙන මොනවා හරි කායික ක්‍රියාවක නිරතවන්න.රෙදි සෝදනවා-ගෙයක් දොරක් අතුගානවා, මොනවා හරි කායික වැඩක නිරතවන්න. අරවා ඔක්කොම එතනම නැතිවී යනවා. මොකද සිතින් තමයි මේ සෑම ධර්මයක්ම අල්ලන්නේ. සිතින් තමයි මුළු ලෝකයක්ම අල්ලන්නේ. එතකොට මේ සිතේ ස්වරූපය මොකක්ද ? ඒකත් හේතුඵල මත ඇතිවෙන නැතිවෙන ක්‍රියාදාමයක්. තමන්ට ඕන ව්දියට ඇතිවෙන්නෙත් නෑ, පවතින්නේත් නෑ - නැතිවෙන්නෙත් නෑ. මොළේ සෛලයන්ගේ ක්‍රියාදාමය ආදී විවිධ හේතුන් මත සිතක් පහළ වන්නේ. සිත නැතිවන්නේත් ඒ ඇතිවන හේතූන් ඇන්තිවෙන නිසා. එතකොට සිතත් තනිකර අනාත්ම ධර්මයක්. සිතින් තමයි මේ බාහිර ලෝකයක්, තමන්ගේම පංචස්කන්ධ ලෝක අල්ලගන්නේ. 

සිත අනාත්ම වනකොට සිතින් අල්ලා ගත්ත දේවල් ඔක්කොම අනාත්ම විය යුතුයි. සිත අනාත්ම වෙනකොට සිතින් අල්ලගත්ත මුළු විශ්වයම අනාත්මයි. කිසිතැනක ආත්මයි කියලා ගන්නට දෙයක් නෑ. සිතින් නේ ආත්ම කියලා ගත්තේ. සිත අනාත්ම නම් ඔතන කිසිදෙයක් ආත්ම කියලා ගන්නට නෑ. සිතින් තමයි මම, මගේ කියලා සිතන්නේ. සිත මගේ නොවනවනම්, මම මගේ කියලා ගන්නට කිසිම දෙයක් නෑ. මේක හොඳට තේරුම් ගන්න. මේක හරියට භාවනා දියුණු කෙනෙක් ඔය තත්වය අවබෝධ කළොත්, මුළු විශ්වයම හිස් වී යන ශූන්‍ය දර්ශනයකට සිත පත්වී යනවා. ඒ ශූන්‍ය දර්ශනය පවා මම හෝ මගේ කියලා හිතනවා නම්, නැත්නම් ඒක කෙරෙහි ඇලීමක් හෝ ඒක මම හෝ මගේ කියලා සිතනවා නම් ඒකත් සිතේ තියන ධර්මයක්. 

එම නිසා මේ විදියට තමාගේ සිත මෝහයෙන් වැසී ගොස් ඇති ආකාරය පැහැඳිළිවම අවබෝධ කරගත යුතුයි, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස හා ඒ හා සම්න්ධව පවත්නා වූ සිතිවිලි ධර්ම ඇසුරු කරගෙන. ඒ කියන්නේ ඇස, ඇසට දකින රූප, ඒ නිසා පහල වන චක්ඛු විඤ්ඤාණ , රූප සංඥා, රූප විතක්ක, රූප විචාර, ආදී යම්තාක් දේවල් තියනවා නම් සිතිවිලි ධර්ම මේ ඔක්කෝම පිළිබඳව , ඒ වගේම කන, කනට ඇසෙන ශබ්ද, ඒ නිසා පහළ වන සිතිවිලි ධර්ම. අනෙක් ඉන්ද්‍රියන් හා ඒවාට හමුවන අරමුණු නිසා පහළ වන සිතිවිලි ධර්මයනුත් තුළ පවත්නා වූ , ක්‍රියාත්මක වන්නා වූ තමාගේ සිතේ පවතින අවිද්‍යා අඳුර දෙස බලන්න . තමාගේ සිත අඳුරින් වැසී ගොස් ඇති ආකාරය දකින්න. මේක දකිනකොට ප්‍රඥාවක් මතුවන්නේ. එහෙම දකිනකොට මේ සියල්ලම අනාත්ම ලක්ෂණයැයි හරියටම තමාට වැටහෙනවා නම්, තමන්ගේ සිත අනාත්ම නම් මුළු ලෝකයම, මුළු විශ්වයම අනාත්මයි කියලා හිතනවා නම් මෙතෙක් කල් මේවා ආත්ම වශයෙන් අරගෙන, උපාදාන කරගෙන මේවට ඇලිලා බැඳිලා, සංසාරය පුරා දුක්ඛ සත්‍යම නැවත නැවත උපදවා ගත්ත එක කොයිතරම් නම් මෝඩකමක්ද, මේ සියල්ලම මම දැන් සිතින් අතහරිනවා කියලා ඒ වෙලාවට සිතින් ඉබේම අත හරින්නට පුළුවන්. ඉබේම අතහැරී යනවා. 

අතහැරී ගියේ නැත්නම් මේ සියල්ලම මම සිතින් අතහරිනවා කියලා අතහරින්න. අත හැරියොත් එහෙම සම්පූර්ණයෙන්ම තමාගේ සිත හිස් භාවයකට පත්කර ගන්නට පුළුවන්. ඒ හිස් භාවයට පත්වෙච්ච පුද්ගලයාගේ සිත තුළ කිසිම කිඤ්චනයක් නෑ; බැඳීමක් නෑ. මොකද යථාභූත ඥාණ දර්ශනයකින් මේ පංචස්කන්ධ ලෝකයම දැක්කේ."පස්සතො නත්ථි කිඤ්චනන්" කියලා ඒකනිසා මේ ගාථාවේ දැක්වෙනවා අවසානය වශයෙන්.ඇත්ත ඇති සැටියෙන් දකින පුද්ගලයාගේ සිත තුළ ඔය බැඳීම් මොකක්වත් නෑ. " රාගො කිඤ්චනං, දොසො කිඤ්චනං, මොහො කිඤ්චනං" ඒ ශූන්‍ය භාවයට පත්වූ සිත තුළ රාගයකුත් නෑ, ද්වේශයකුත් නෑ, මෝහයකුත් නෑ, වෙනත් කිසිම චිත්ත සංස්කාර ධර්මත් නෑ.

එතන තියෙන්නේ සියුම් දැනීමක් පමණයි.ඒ දැනීම පවා තමාගේ දෙයක් නෙවෙයි, තමාට අයත් දෙයක් නෙවෙයි. තමා නෙවෙයි, තමාට අයත් දෙයක් නෙවෙයි. ඒකත් නිරන්තරයෙන්ම පවතින දෙයක් නෙවෙයි, අනිත්‍ය දෙයක්. ඒකත් අභිසංඛත, අභිසංචේතීථ ධර්මයක්. ඒ කියන්නේ තමන් මේ විවිධාකරයෙන් ඒක ලැබීමට සුදුසු ආකාරයෙන් සිතලා සිතලා නිසි පරිදි අවබෝධයන් ඇතිකර ගැනීම තුළින් ජනිත කරගත්තු දෙයක්. ඒකයි, අභිසංඛතං, අභිසංචේතිථං කියන්නේ. "යංකිඤ්චි අභිසංඛතං, අභිසංචේතිථං තද නිච්ඡං නිරෝධ ධම්මං" යම්කිසි දෙයක් ඒ ආකාරයෙන් අභිසංඛත වෙනවා නම්, අභිසංචේතිථ වෙනවා නම්, ඒක අනිත්‍යයි. නිරුද්ධ වී යන ධර්මයක්. ඒ තත්වය හරියට දකින කෙනා ආශ්‍රවයන් ක්ෂය කරනවා ඒ ඒ මාර්ගයට සුදුසු සුදුසු පරිදි. මේක දැකීමෙන්ම ආශ්‍රවයන් ක්ෂය කරලා නිවන් ලබන්නට පුළුවන්, තමන් නිවන් ලැබීමට අවශ්‍ය වන ආකාරයෙන් සතිය, සමාධිය, ප්‍රඥාව, ආදී ඒ නිවන් ලැබීමට අවශ්‍ය සියලුම කරුණු සම්පූර්ණ කරලා තියනවානම්. චතුරාර්‍ය සත්‍යය් ධර්මයන් පිළිබඳ අවබෝධය, පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ අවබෝධයන් ආදි කරුණු තියනවා. ඒවා පිළිබඳ මේ අයට පසුගිය දේශන වලදී අවශ්‍ය කරුණු ඉදිරිපත් කරලා තියනවා. ඒවා ගැන පැහැඳිළි අවබෝධයකුත් තියනවා නම් මේ විදියට කටයුතු කිරීම තුළින් මේ ක්‍රියාදාමයම වුවත් මේ අයට ප්‍රමාණවත් වේවී නිවන් සුව ලබා ගැනීම සඳහා. 

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

මොහසම්බන්ධනො ලොකො - 2 කොටස



 

 

මේ පංචස්කන්ධ ලෝකයේ යථා තත්වය යථා පරිදි අවබෝධ කර ගැනීමට අවංකවම උත්සහයක් ගන්නට ඕන. මේ අය හිතනවා ඇති අපි මේවා ගැන අහලා තියන නිසා මේවා ගැන කියවලා තියන නිසා මේවා අපි දන්නවාය කියලා. පංචස්කන්ධයේ ඇත්ත තත්වය කියනකොට කියන්න තියෙන්නේ මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි,මේවා අසුභයි, අසාරයි, ශූන්‍යයි ආදී කරුණු. මේවා මේ අය නිතර නිතර අහලා තියනවා, කියවලා තියනවා, ඒක නිසා මේවා අපි දන්නවා කියලා සම්හර විට මේ අය හිතනවා වෙන්නට පුළුවන්. නමුත් ඒවා අහලා තිබුණට ඒකෙන් කිසිම වැඩක් නැහැ, තමන්ගේ සිතටම, තමන්ටම ඒවා අවබෝධ වෙලා පෙනුණේ නැත්නම්.

කියන දෙයක් තේරුම් ගැනීම නෙවෙයි, ඒක තමන්ම අවබෝධ කරගන්න එකයි ඉතාමත්ම අවශ්‍ය වන්නේ. එම නිසා මේ අඳුරෙන් වැසී ඇති ආකාරය තමන් පැහැඳිළිව තේරුම් අරගෙන ඒ අඳුර අයින් කරගන්නට ඕන. මෝහ අන්ධකාරය දුරු කරන්නට ඕන. "චක්ඛුංකො භික්ඛවේ අන්ධභූතං " ඇස අඳුරකින් වැසිලා තියෙන්නේ. අඳුරෙන් වටකරගෙන සිටින්නේ. ඇස කියනකොට මේ අය ටිකක් කල්පනා කරලා බලන්න, මේ ඇස දිහා සිතින් බලනකොට තමන්ට තේරෙනවද මේ ඇස මම කියලා, මගේ කියලා ඒ ඇස කෙරෙහි තමන්ගේ සිත තුළ ඇලීමක්, බැඳීමක් නැද්ද කියලා තමන්ම සිතලා බලන්න. මේ ඇස නිරන්තරයෙන්ම අනිත්‍යයට යන දෙයක් කියලා තේරෙනවද කියලා හිතලා බලන්න.

ඇස අනිත්‍යයට යනවා කියන එක මේ අය දන්නවා, වයසට යනකොට ඇස් පෙනීම එන්න එන්න දුර්වල වෙනවා, ඇස් වල ස්වරූපය, පාට ආදිය ඒවා වෙනස් වෙවී යනවා. ඒක නෙවෙයි මා මේ කියන්නේ, නිරන්තරයෙන්ම ඇස අනිත්‍යයට යන බව තමන්ගේ සිතට වැටහෙනවද කියලා බලන්න. මේ ඇස ඒකාන්ත වශයෙන් දුකක් කියලා තමන්ට තේරෙනවද කියලා තමන්ගේ සිතින් තමන්ම බලන්නට ඕන. ඇහැ තුළින්, ඇස නිසාම නිරායාසයෙන්ම විවිධාකාර දුක් පීඩා ලැබෙනවා; ඇසේ ඇතිවන රෝග පීඩා නිසා. ඊට අමතරව ඇසට විවිධ රූප හමුවෙලා ගැටීම් ඇතිවුණොත් කොයිතරම් දුකක් ඇතිවෙනවද, ඇලීම, රාගය, බලවත් රාගයක් එහෙම ඇතිවුණොත් කොයිතරම් මානසික පීඩනයකට සිත පත්වෙනවද, පරිළාහයකට, දැවීමකට සිත පත්වෙනවද. ඊටත් අමතරව මේ ඇසට පෙනෙන රූපත් ඒ ආකාරයෙන්ම උපාදාන කරගත්තු නිසා සංසාරය පුරා කොයිතරම් නම් දුකකට තමන් ඇඳගෙන වැටුණද, ඉදිරි අනාගත භව වලදීත් මේ ඇස නිසා ඇසට පෙනෙන රූප නිසා, අපි කොයිතරම් නම් සංසාර දුකකට ඇඳගෙන වැටෙනවද කියලා තමාට තේරෙනවද කියලා තමාගේ සිතින් තමන්ම විමසා බැලීමක් කරන්න.

එහෙම බලනකොට තමන්ටම තේරෙනවානම් මේ ඇස කෙරෙහි මගේ සිත තුළ බැඳීමක් තියනවා, මේ ඇස කෙරෙහි යම්කිසි ආශාවක් තියනවා, නැත්නම් මේ ඇස නිත්‍ය ධර්මයක් වශයෙන් මගේ සිත තුළ හැඟීමක් තියනවා, මේක දුකක් කියන හැඟීම මාගේ සිත තුළ නැහැ, කියන කරුණු තමන්ගේ සිත තුළ තියනවා නම් තමන් තවම ඇස කියන ඒ රූප කොටස නිසි පරිදි අවබෝධ කරගෙන නෑ.මේ ඇස මම හෝ මගේ කියලා හිතන එක සම්පුර්ණයෙන්ම වැරදි බව මේ අය දන්නවා; පොත්පත් වලින් කියවලා, ධර්ම දේශනා අසලා. පඨවි ආදී මූලධාතු හතරක් ඕකේ තියෙන්නේ, උපාදාය රූපත් තියනවා, ඔය ටික හැර වෙන ඇස කියලා දෙයක් නෑ, ආදී වශයෙන් හිතන්නට කියන්නට පුළුවන්. නමුත් තමන්ටම අවබෝධ වෙලා තියනවද කියලා බලන්න, ඇස අනාත්ම ධර්මයක් කියලා. ඇසට පෙනෙන රූප "රූපා භික්ඛවේ අන්ධභූතා..." සියල්ලම අඳුරෙන් වැසිලා තියෙන්නේ, අඳුර පිරිවරාගෙන සිටින්නේ. ඇසට පෙනෙන රූප දකිනකොට, මේ අය සිතින් කල්පනා කරලා බලන්න, ප්‍රිය රූපයක් දැක්කාම තමාගේ සිතට ඇලීමක් ඇතිවෙනවද, බැඳීමක් ඇතිවෙනවද, ආශාවක් ඇතිවෙනවද , රාගයක් ඇතිවෙනවද නැද්ද කියලා. නරක රූපයක් දැක්කාට පස්සේ, අප්‍රිය භාවයක් - අමනාපයක් - නුරුස්සනා බවක් - ගැටීමක් - තරහවක් වැනි දෙයක් ඇතිවෙනවද නැද්ද කියලා කල්පනා කරලා බලන්න. එහෙම බලනකොට තමන්ට තේරෙන්නට ඕන තමන් රූප තවම අඳුනාගෙන නැහැ, ලෝකයේ තිබෙන රූප දැකීම කියන්නේ මොකද්ද කියලා තමන් තවම දන්නේ නැතිබව තේරුම් ගන්න. ඒ කරුණු මේ අය අහලා තියනවා; අහලා තිබුණට තමන්ට ඒවා අවබෝධ වෙලා පෙනිලා නෑ.

රූපයක් දකිනවා කියන්නේ තමන්ගේම සිත තුළම නාමධර්ම ටිකක් ඇතිවී නැතිවී යාම පමණයි. වෙන කිසිවක් එතන ඇත්තේ නෑ. අපි හිතමු ඉතාම ලස්සන , ඕනම කෙනෙක් ප්‍රිය කරන රූපයක් තියනවා කියලා. ඒ රූපය දෙස ඕනනම් කෙනකුට රාගයෙන් යුතුව, බැඳීමෙන් යුතුව, ආශාවෙන් යුතුව බලාගෙන සිටින්නටත් පුළුවන්. තවත් කෙනකුට ඒ රූපය දෙසම ඕන නම්, පිළිකුල් සහගත ලෙස බලන්නටත් පුළුවන්.තවත් කෙනකුට ඒ රූපය දෙසම මැදහත් සහගත සිතින් බලාගෙන ඉන්නටත් පුළුවන්. ඒ රූපය අපි ලස්සනයි, හොඳයි ආදි වශයෙන් සංඥාවකින් යුතුව බලාගෙන සිටියොත් අපගේ සිත තුළ ආශාව බැඳීම ආදිය ඇතිවන්නේ. නරකයි ආදි වශයෙන් හිතුවොත් අපිට ඒ රූපය පිළිබඳ ගැටීමක් ඇතිවන්නේ. එතකොට තමන්ට තේරෙනවද කියලා බලන්න මේ රූප සංඥාව නිසයි මේ ආකාරයෙන් ඇලීම ඇතිකර දෙන්නේ, ගැටීම ඇතිකර දෙන්නේ කියන එක. තමන්ටම අවබෝධ වෙලා තියනවද කියන එක බලන්න. එසේ නැත්නම් ඒ අවබෝධයේ අඩුපාඩුකම් තියනවා.

කරුණු ඇසුවට වැඩක් නෑ, තමන්ටම ඒක සිතට කා වැදී පෙනී යා යුතුයි. එතකොට ඇසට පෙනෙන එම රූපය දෙස ඇලීමක් හෝ බැඳීමක් ඇතිකර දෙන්නේ තමාගේම සංඥාව තුළින් නිසා ඒ සංඥාව ඉවත් කළා නම් එහෙම ඕනෑම රූපයක් දෙස ඇලීමකුත් නැතුව, බැඳීමකුත් නැතුව බලාගෙන සිටින්නට පුළුවන් නේද කියන එකත් තේරුම්ගන්න. කොයිතරම් කැත රූපයක් වුණත් එකයි, කොයිතරම් ලස්සන රූපයක් වුණත් එකයි, කොයිතරම් විරුද්ධ රූපයක් වුණත් එකයි, තමන්ට කිසිම ඇලීමක් බැඳීමක් නැතුව ඒ දෙස බලාගෙන ඉන්නට පුළුවන් විවිධ සංඥා තමන්ගේ සිතින් අයින් කළා නම්.

සිත තුළින් මේ සංඥාවන් ජනිත කරගන්නේ. සිත තුළින් මේ ඇලීම් බැඳීම ඇතිකරගන්නේ. එතකොට ඒ සිතින් ඇලීම් බැඳීම ඇතිකර ගත්තාට පසුව ඒ රූප උපාදාන කරන්නේ. ගැටුණත් රූප උපාදාන කරනවා, ඇලුනත් රූප උපාදාන කරනවා. අර අඳුරෙන් වැසී සිටින තැනැත්තාට මේ රූප වල තියන ස්වරූපය, යථා තත්වය තේරුම් ගන්නට බැහැ. රූපයක් දකිනවා කියන්නේ මෙන්න මේකයි කියලා අවබෝධ කරගන්නට බැහැ. ඒ රූපය දැක්කාට පසුව ඇතිකරගත්තාවූ සංඥා අපි අයින් කරගත්තා නම් , සම්පූර්ණයෙන්ම සංඥාව අයින් කරගත්තා නම් "හොඳයි-හොඳයි" කියන සංඥාවත් අයින් කරා නම් "නරකයි-නරකයි" කියන සංඥාවත් අයින් කළා නම් රූපය දෙස ඔහේ බලාන ඉන්නට පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට ඒ ඇලීම, බැඳීම ආදී සංස්කාර ධර්ම සෑම එකක්ම සිත තුළ ජනිත වන්නේ තමාගේම මෝඩකමට. තමා ඒ රූපය හඳුනාගත්තු ආකාරයට අනුකූල වන වන පරිදි. එමනිසා තමන්ගේ සංඥාවේ තියන මුලාව තමන්ට අවබෝධ වී යායුතුයි. නැත්තම් මේ "තමසා පරිවාරිතො" කියන එක තේරුම් ගන්නට බැහැ. අඳුරෙන් වැසිලා; අඳුරෙන් ආවරණය කරලා තියෙන්නේ කියන කතාව තේරුම්ගන්නට අපහසු වෙනවා.

දැන් ඇසට පෙනෙන ඒ සංඥාව අයින් කළා නම් ඒ නිසා පහළ වන වේදනාවල් ඇතිවන්නේත් නෑ. සංඥාව අයින් වුණා නම් ඒ වේදනාව නිසා පහළ වන චිත්ත සංස්කාර ධර්ම ඇතිවන්නෙත් නෑ. ඒ සංඥාව අයින් වුණා නම් ඒ දකින ලද රූපය නැවත නැවත බලන්නට ඕන කියලා හිතන සිතිවිලි හෝ ඒ ගැන නැවත නැවත විඤ්ඤාණයන් ඇතිකරගෙන මෙනෙහි කිරීම ආදීය හෝ කරන්නේ නෑ. ඒක දැක්කා එතනම නැතිවුණා. අපි මේ ජීවිතේ කොයිතරම් රූප දැකලා ඇත්ද. සමහර රූප දැක්කා, ඊට පස්සේ ආයේ ජීවිතේ කිසි දවසක ඒ ගැන සිහිපත් වීමක්වත් ඇතිවන්නේ නැහැ. ඒකයි සාමාන්‍ය සිතේ ස්වරූපය. අපිට ඕන නම් පමණයි , අපේ සිතින් ගිහිල්ලා යම් ආකාරයකින් බැඳුණොත් පමණයි අපේ සිතේ ඒවා ගැන නැවත නැවත සිතිවිලි ජනිත වන්නේ.

ඒක නිසා මේ සංඥාව අයින් වුණා නම් විඤ්ඤාණ ස්කන්ධයේ පැවැත්මකුත් නැහැ. එතකොට ඇසට පෙනෙන ඒ රූප පිළිබඳ ඒ තියන සංඥා ආදී ධර්මතාවයන් ඔක්කොම අයින් කරගත්තා නම්, ලෝකයේ මොන මොන රූප තිබුණත් තමාට ඒවයින් කිසිම වැඩක් නෑ. හොඳක් ඇත්තෙත් නෑ, නරකක් ඇත්තෙත් නෑ, ඇලීමක් ඇත්තෙත් නෑ - බැඳීමක් ඇත්තෙත් නෑ - රාගයක් ඇතිවන්නෙත් නෑ, නැත්නම් ගැටීමක් වැනි දෙයක් උද්ගත වන්නෙත් නෑ. තමාගේ සිත තුළ තියන මේ ධර්මතාවය අයින් කළා නම් ඒ ඇසට පෙනෙන රූප පිළිබඳ තියන සියළුම චිත්ත සංස්කාර ධර්මයන් අයින් කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේක නොදන්නා කම නිසා, ඒ අවිද්‍යාව සිත තුළ තිබෙන නිසා රූප දකිනවා කියන එක පිළිබඳව මෝහයෙන් වැසී ගිය ස්වරූපයක් තමයි සාමාන්‍ය ලෝක සත්වයාගේ සිත තුළ තිබෙන්නේ.

එතකොට ඇසට ඒ රූපය දැක්කාට පස්සේ වේදනාවක් ඇතිවෙනවා. වේදනාව ඇතිවුණාට පස්සේ වේදනාවට ආශා කරනවා සැප වේදනාවක් නම්. දුක් වේදනාවක් නම් ගැටෙනවා. මේකත් මේ අය අහලා තියන කාරණාවක්. තමන්ම සිතලා බලන්න , තමන්ගේ සැප වේදනාවට- තමන්ටම ඇහැට පෙනෙන රූපයක් දැක්කාට පසුව ඇතිවන සැප වේදනාවට - තමන් ඇලුම් කරනවද නැද්ද කියලා. ඒවගේම ඇහැට පෙනෙන රූපයක් තුළින් ගැටීමක් ඇතිවෙනවා නම් තමන්ගේ සිත තුළ ඒක කෙරෙහි ගැටීමක්, අමනාපයක් ඇතිවෙනවද නැද්ද කියන කාරණය සිතා බලන්න. එහෙම බලනකොට තමන්ටම තේරෙනවනම්, ඒ රූප දැකීම නිසා තමන්ගේ සිත තුළ පහළ වන වේදනා ධර්මය කෙරෙහි මෙසේ ඇලීමක් - ගැටීමක් ඇතිවෙනවා කියලා මේ ඇලීම - ගැටීම ඇතිවිම නිසා සංසාරය පුරා කොයිතරම් නම් තමන් දුක් විඳලා තියනවද කියන කරුණ දෙස- ටිකක් සංසාරය දෙස ආපස්සට හැරිලා බැලිය යුතු වෙනවා.

කොපමණ කාල පරිච්ඡේදයක් තිස්සේ ඉපදි ඉපදී - මැරි මැරී මේ සංසාරය පුරා ආවද ඉදිරියටත් ඒ විදියට යන්නට සිදුවෙනවා නේද කියන කරුණ අවබෝධ වෙනවද කියලා බලන්න. එහෙම බලනකොට තමන්ටම තේරෙන්නට ඕන මේ කරුණු තමන් තවම දන්නේ නැහැ , අවබෝධ කරගෙන නැහැ කියලා. ඒකනිසා ඒ අවබෝධ වල අඩුපාඩු තියන කොට, මේ සංස්කාර ධර්ම කෙරෙහි තියන ඇලීම බැඳීම ආදී දේවල් අයින් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. "උපධි සම්බන්ධනො ලොකො" උපධි වලින් බැඳෙනවා. නැත්නම් " මොහ සම්බන්ධනො ලොකො" මෝහයෙන් බැඳෙනවා. එහෙම බැඳෙනකොට “තමසා පරිවාරිතො” අඳුර පිරිවරාගෙන සිටින්නේ, ඒ අයට මේවා පෙනෙන්නේ "සස්සති විය ඛායති" මහා හොඳ දේවල්, ලොකු දේවල් , වටිනා දේවල්, මමය, මගේය, ආත්මයය, සදාකාලික දේවල්ය, "භබ්බරූපොව දිස්සති" මහා භව්‍ය දේවල්ය කියලා තමයි සිතට වැටහෙන්නේ. මෙන්න මේ තත්වය අයින් කරගත යුතුයි.අයින් කරගත්තු කෙනාට තමයි "සස්සතො නත්ථි කිඤ්චන " කිඤ්චන භාවයන් කිසිවක් නැත්තේ.

මතු සම්බන්ධයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.


මොහසම්බන්ධනො ලොකො - 1 කොටස

බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ සිටියා මාගන්දි කියන ඉතාමත්ම රූමත් තරුණිය. බුදුරජාණන් වහන්සේගේ රූප සෝබා සම්පන්න භාවය දැකපු ඇයගේ දෙමව්පියන් , ඒ මාගන්දිය බුදුරජාණන් වහන්සේට විවාහ කර දීම සඳහා කැටුව ගොස් පෙන්නුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා;


"දිස්වාන තණ්හං අරතිං රගංච- නාහෝසි ඡන් දෝ අපි මේථුනස්මිං
කිමේවිදං මුත්ත කරීස පුණ්ණං -පාදාපි නං ඵුසිතම්පි ඉච්ඡේ. " කියන ගාථාව.


“තණ්හා, රතී, රඟා වැනි අය දැකලත් මගේ සිත තුළ රාගයක් ඇති වුණේ නැති කළ මේ අසූචි, මූත්‍රා ආදිය පිරිච්චි මේ ශරීරය ගැන කවර කතාවක්ද, පයින්වත් මම පාගන්නට කැමති නෑ" කියලා.

මෙන්න මෙම හේතුව නිසා මාගන්දි කියන ඒ තරුණ කාන්තාව පුදුම විදියට බුදු හාමුදුරුවෝ කෙරෙහි වෛරයක් ඇතිකර ගත්තා. ඇය උදේනි රජ්ජුරුවන්ගේ බිසව වුණා. ඒ උදේනි රජ්ජුරුවන්ගේම තවත් බිසවක් තමයි සාමාවති ඇතුළු ඒ පන්සිය දෙනා. බුදුරජාණන් වහන්සේ දැකීමට හෝ උන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කිරීමට යන්නට ඒ අයට අවකාශයක් ලැබුන් නැහැ.ඒ අයගේ හිටපු ඛුජ්ජුත්තරා කියලා සේවිකාවක්, බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් බණ අහලා ඒ බණ ඒ ආකාරයෙන්ම අවුත් සාමාවති ඇතුළු ඒ පිරිසට නිතර නිතර ප්‍රකාශ කළා. ඒක නිසා එහි සිටි සෑම කෙනෙක්ම මාර්ගඵලයක් ලැබුවා. බුදුහාමුදුරුවෝ නොදැකම මේ සාමාවති ඇතුළු ඒ පිරිස බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය , ශ්‍රද්ධාව ඇති කරගෙන සිටිය නිසා; අර මාගන්දි කියන කාන්තාව (උදේනි රජ්ජුරුවන්ගේ අග බිසවක් වශයෙන් ඒ වන විට හිටියේ) ; ඇය කෙරෙහි වෛරයක් ඇති කරගෙන සාමාවති ඇතුළු පිරිස හිටපු මාළිගාව වටේටම දොරවල වහලා ඒකට ගින්දර තියලා ඒ පන්සිය දෙනාම ගින්නෙන් පුච්චලා මැරෙව්වා. 


මෙන්න මේ කතාව බුදුරජාණන් වහන්සේට භික්ෂු පිරිස ප්‍රකාශ කළාට පස්සේ , බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වඳාළා, “සෝවාන් වෙච්ච උපාසිකාවොත් ඒ පන්සිය දෙනා අතර සිටියා. සකදාගාමි තත්වයට පත්වෙච්ච අයත් හිටියා. අනාගාමි තත්වයට පත්වෙච්ච අයත් ඒ පන්සිය දෙනා අතර හිටියා. ඒ හිටපු පන්සිය දෙනාම නිෂ්ඵල විදියට මැරුණේ නැහැ ඔක්කොම මාර්ගඵල ලාභී අය” යැයි ප්‍රකාශ කරමින් තමයි මෙලෙස උදාන ගාථාවක් ප්‍රකාශ කළේ.

‘‘මොහසම්බන්ධනො ලොකො, භබ්බරූපොව දිස්සති;
උපධිසම්බන්ධනො ලෝකෝ, තමසා පරිවාරිතො;
සස්සති විය ඛායති, පස්සතො නත්ථි කිඤ්චනන්ති"

මෝහයෙන් බැඳී සිටින මේ ලෝක සත්වයාට පංචස්කන්ධ ධර්මයන් භව්‍ය වශයෙන් ඉතාම හොඳ දේවල්ය, ඉශ්ඨ දේවල්ය, මනාප දේවල්ය වටිනා දේවල්ය, සාරවත් හරයක් ඇති දෙයක්ය ආදී වශයෙන් තමයි දර්ශනය වන්නේ. අවිද්‍යා අඳුරෙන් වැසී සිටින, උපධි වලින් බැඳී සිටින සත්වයාටත්, මේ පංචස්කන්ධ ධර්මයන්, එලෙසින්ම තමයි දර්ශනය වන්නේ, ඊටත් අමතරව ඒවා ස්ථිර වශයෙන්, පවත්වාගෙන යායුතු ධර්ම වශයෙන් ඒවාට ඇලුම් කළ යුතු ධර්ම වශයෙන් තමයි එවැනි අයගේ සිත තුළ ඒ පංචස්කන්ධ ධර්මයන් දර්ශනය වන්නේ. 


යථා භූත ඥාන දර්ශනයක් තුළින් සත්‍යය දකින කෙනාගේ සිත තුළ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳව කිසිම බැඳීමක් නෑ. රාග, දෝස, මෝහ ආදී ඒ බැඳීම කිසිවක් නැතිවී යනවා. ඒක තමයි ඒ ගාථාවේ සරල අදහස.

‘‘මොහසම්බන්ධනො ලොකො, භබ්බරූපොව දිස්සති”


මෝහයෙන් බැඳිච්ච පුද්ගලයෝ මේ පංචස්කන්ධ ධර්මයන් නිත්‍ය වශයෙන් සිතනවා. මේක සුභයි කියලා සිතනවා. මේක සුඛ දෙයක්ය, සැපවත් දෙයක්ය කියලා හිතනවා. මේක මමය, මගේ ආත්මයක්ය, ආත්මයට අයත් දෙයක්ය කියලා කල්පනා කරනවා. ඒ වගේම ඒ මෝහය නිසාම මේ පංචස්කන්ධ ධර්ම දිගින් දිගට පවත්වා ගෙන යා යුතුයි, මේවා තුළින් ආශ්වාදයක් ගෙන දෙන නිසා මේවා කෙරෙහි ඇලිය යුතුයි කියන අදහස තිබෙනවා ඒ අයගේ සිත් තුළ. ඊට අමතරව මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි කළකිරීමක් නෙවෙයි බැඳීමක් තිබෙන්නේ. මේ ආදී ලෙසින් කටයුතු කරන ඒ මෝහයෙන් බැඳුණු ලෝක සත්වයාට පංචස්කන්ධ ධර්මයන් මහා වටිනා දේවල් වශයෙන් තමයි පෙනී යන්නේ. ඒකයි ඒ පළවෙනි පදයේ තේරුම.

“උපධිසම්බන්ධනො ලෝකෝ”


උපධි වර්ග හතරක් පොත්වල දක්වා තිබෙනවා. කාමො උපධි, ක්ලේශ උපධි, සංඛාර උපධි, කන්ධ උපධි කියලා. උපධි කියන එකෙන් අදහස් කරන්නේ තණ්හාවෙන් යුතුව අල්ලාගෙන සිටින එකට. තණ්හාවෙන් යුතුව යම්කිසි බැඳීමක් තියෙනවා නම් ඒකට තමයි සාමාන්‍යයෙන් උපධි කියන වචනය පාවිච්චි කරන්නේ. කාම උපධි : කාමයන් තුළින් ලැබෙන ආශ්වාදය අල්ලාගෙන සිටිනවා සාමාන්‍ය ලෝක සත්වයා. කන්ධ උපධි: තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් අල්ලාගෙන සිටිනවා මමය, මාගේය කියලා හිතාගෙන. ඇලීගෙන බැඳීගෙන ආරක්ෂා කරගෙන, තව තවත් මේක තබාගත යුතුයි කියන හැඟීමේ පිහිටලා, ඒවා අල්ලාගෙන සිටින්නේ. සිතින් ඒවා කෙරෙහි තණ්හාවෙන් බැඳී සිටින්නේ. ඊළඟට ක්ලේශ උපධි: ක්ලේශයනුත් ඒ ආකාරයෙන් අල්ලාගෙන සිටිනවා. සමහර කෙලෙස් තුළින් තමාට ආශ්වාදයකුත් ලබාදෙනවා, ඒ නිසාත් ඒ ක්ලේශ ධර්ම අල්ලනවා. එසේ නොවූවත් අවිද්‍යාව තිබෙන නිසා ක්ලේශ ධර්මත් උපාධාන කරගෙන උපධි වලින් බැඳිලා තමයි සාමාන්‍ය සත්වයා කටයුතු කරන්නේ.


ඊළඟට අභිසංස්කාර උපධි: අභිසංස්කරණය කියන්නේ රැස් කරනවා. රැස් කිරීමත් අල්ලාගෙන සිටින්නේ. මේ රැස් කරන්නේ පංචකන්ධ ධර්මම බව මේ අයට අප කලින් කියා දීල තිබෙනවා. කුමක් රැස් කළත් රැස් කරන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්මයි. ඉතින් කර්ම සංස්කාර රැස් කරනවා, කුසල්-අකුසල් රැස් කරනවා, බොහෝවිට පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි තියන ඇලීම සහ බැඳීම නිසා. අනාගත භව වලදීත් ඒ ආකාරයෙන්ම පංචස්කන්ධ ධර්මයන් සුඛිතව තබා ගැනීමට හේතු වන ආකාරයේ කුසල කර්ම රැස් කරනවා. මේ ජීවිතයේත් එම පංචස්කන්ධ ධර්ම සුඛිතව තබා ගැනීමට කුසල කර්ම කරනවා, සමහර විට අකුසල කර්ම පවා සිදු කරනවා. ආශ්වාදය සොය සොයා තමයි ඒ ආකාරයෙන් කර්ම සංස්කාර රැස් කරන්නේ. ඒවා කෙරෙහිත් ඇලිලා බැඳිලා සිටින්නේ.ඒ කර්ම සංස්කාර අභිසංස්කරණය කිරීම මහා ලොකු දෙයක්, ඒක කළ යුතු දෙයක් ආදී වශයෙන් තමයි ඒ අයගේ සිත තුළ ඒවා පිළිබඳ හැඟීමක් තිබෙන්නේ.

“තමසා පරිවාරිතො”


අඳුරකින් මුළු පංචස්කන්ධ ලෝකයම වැසී ගොස් තිබෙන්නේ. නැත්නම් අඳුර පිරිවරාගෙන සිටින්නේ. මේ අඳුර කියන එක, අවිද්‍යා අන්ධකාරයයි එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරන්නේ. "අඳුරකින් මුළු ලෝකයම වැහිලා", "අන්ධභූතෝ අයං ලෝකෝ- අඳුරෙන් අන්ධ වෙලා" , ආදී වශයෙන් බුදු රජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කළ තැන්, සූත්‍ර තිබෙනවා. "අන්ධභූත" කියලා සූත්‍රයක "සබ්බං භික්ඛවේ අන්ධභූතෝ" මේ ලෝකේ සෑම දෙයක්ම, මේ මෝහ නැමැති අඳුරෙන් වැසිලා තියෙන්නේ; මෝහය නැමැති අඳුර විසින් මැඩගෙන සිටින්නේ. අන්ධභූතෝ කියන එකේ අර්ථයයි ඒ. එතකොට "කිඤ්ච භික්ඛවේ සබ්බං අන්ධභූතං " මොනවද මේ අඳුර විසින් මැඩගෙන සිටින්නේ , නැත්තම් අඳුර විසින් වස්සගෙන සිටින්නේ ? "චක්ඛුං භික්ඛවේ අන්ධභූතං, රූපා අන්ධභූතා, චක්ඛුවිඤ්ඤාණං අන්ධභූතං, චක්ඛුසම්ඵස්සෝ අන්ධභූතෝ, ...(පාලි පාඨය..).. " ඇස මේ ආකාරයකින් අඳුරකින් වැසී ගොස් තිබෙන්නේ, රූප මෝහ අන්ධකාරයෙන් වැසීගොස් තිබෙන්නේ, මැඬගෙන තිබෙන්නේ, චක්ඛු විඤ්ඤාණය චක්ඛු සම්ඵස්සය, ඒ වගේම චක්ඛු සම්ඵස්සය නිසා යම්කිසි සැප හෝ දුක් හෝ මැදහත් වේදනාවක් ඇති වෙනවානම් මේ සියළුම වේදනාවන්, මේ කියපු ධර්මතාවයන් ඔක්කොම මෝහ අන්ධකාරයෙන් වැසිලා අඳුරකින් ඉන්න කෙනෙක් වගේ වසාගෙන සිටින්නේ.

මේ විදියටම කන, නාසය, දිව, ශරීරය, මනස සහ ඒවාට හමුවන අරමුණුත් ඒ නිසා පහළ වන සියළුම චිත්ත සංස්කාර ධර්මත් සම්පූර්ණයෙන්ම මේ මෝහයෙන් වැසී අන්ධභූත තත්වයට පත්වී සිටින ආකාරයයි බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරලා තියෙන්නේ. මේ තත්වය තමයි සාමාන්‍ය ලෝක සත්වයාගේ , පෘථග්ජන ලෝක සත්වයාගේ ස්වරූපය. මේ තත්වය සම්පූර්ණයෙන්ම නැතිවන්නේ රහත් වූවොත් පමණයි. පහළ පහළ මාර්ගඵල ලබා සිටින අයගේ සිත තුළ පවා මේ තත්වයන් අඩු වැඩි මට්ටම් වලින් පවතිනවා. පහළම පහළම මට්ටමේ සිට, ඉහළට ඉහළට යනකොට ඔය තත්වයන් අඩුවී අඩුවී යන්නේ.

එතකොට මේ අයට මේ දක්වාම නිවන් සුව අත්දකින්නට නොහැකිවෙලා තියනවා නම්, නොහැකිවෙලා තියෙන්නේ මේ කියන ලද ආකාරයෙන් මේ අඳුරෙන් තමා වැසී සිටින නිසා. එම නිසා ඒ අඳුර අයින් කරන්නට නම්, "පස්සතො නත්ථි කිඤ්චනන්"; යථාභූත ඥාන දර්ශනයකින් මේ පංචස්කන්ධ ලෝකය දකින්නට ඕන, අවබෝධකරගන්නට ඕන. එතකොට තමයි කිඤ්චන භාවයන් නැතිවි යන්නේ. කිඤ්චන කියන්නේ බැඳීම කියන එක. ඒ බැඳීම් ස්වරූපයන් නැතිවී යන්නේ. පංචස්කන්ධ කෙරෙහි තිබෙන බැඳීම තිබෙන තාක් කල් නිවන් අවබෝධ කරගන්නට බැහැ, ඒ නිවන් අවබෝධ වෙන අවස්ථාවේදී පංචස්කන්ධ ධර්ම සහිත සියළුම සංස්කාර ධර්මයන් සිතින් ගිළිහී යන්නට ඕන. ඒවා කෙරෙහි තියෙන ඇලීම එක බිඳක්වත් නැතුව සම්පූර්ණයෙන්ම සංස්කාර ධර්ම සිතින් නිරුද්ධ වී යායුතු අවස්ථාවක් තිබෙනවා. අන්න එවැනි අවස්ථාවකදී තමයි නිවන් ලැබීමට සුදුසුම මට්ටමට අනිකුත් ධර්මයනුත් පරිපූර්ණය වෙලා තියෙනවා නම්, නිවන් අවබෝධ කරගත හැකිවන්නේ.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.


නාමරූප - 4 කොටස - අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ


මේ විදියට නාම රූප වෙන්කර කරා, වෙන්කර කරා බලන්නට ඕන. පංචස්කන්ධයම වුණත් නාමරූප වශයෙන් බලන්නට පුළුවන්. රූපස්කන්ධය මේකයි, ඒක දකින සිත නාමය මේකයි, වේදනාව මේකයි, ඒක දකින සිත නාමය මේකයි, වේදනාව දකින සිත, නාමය,දෙකම නාමයම ඒක ඇතුළේ තියන කොටස් වෙන්කරලා දකින එකක් මෙයින් මම කියන්නේ. වේදනාව දකිනවා, වේදනාව දැනෙන දැනීම දකිනවා, ඒ වේදනාව කියලා හඳුනාගත් සංඥාව දකිනවා එතකොට ඒ වේදනාව කියලා අපි කලින් සාමාන්‍යයෙන් සිතුවට දැන් මේ වේදනාව තුළ තියන සෙසු නාම කොටස් වෙන් කරන්නට පුළුවන් කම ලැබෙනවා. එතකොට සංඥාව කළත් එහෙමයි, සංස්කාර ගත්තත් එහෙමයි. මේ විදියට ඒවා වෙන් කරලා වෙන් කරලා බලන කොට පංචස්කන්ධය වෙන් වශයෙන් දකින්නට පුළුවන්.රූපය වෙනම දෙයක්ය, වේදනාව තවත් දෙයක්ය, සංඥාව තවත් දෙයක්ය, සංස්කාර වෙනම ධර්මයක්ය, විඤ්ඤාණය තවත් ධර්මයක්ය කියලා, මේ කොටස් පහ තමාට පැහැඳිළිවම අත්දකින්නට පුළුවන්.

මේ පැහැඳිළිව අත්දැක්කාට පස්සේ දැන් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන එක සිත නාම ධර්මයක් කියලා තමන්ට තේරෙනවා. රූපස්කන්ධය කියන්නේ මොකද්ද කියලා බලන්න. රූපස්කන්ධය කියන්නේ තමන්ගේ සිතට පේනවා රූප, නැත්නම් සිත ගිහිල්ලා ස්පර්ශ කරනවා , ඵස්ස කියලා අර සිත/නාමය විස්තර කරන කොට ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියද්දී, ඵස්ස කියලා කිව්වනේ. ඒ ඵස්ස කියලා ස්පර්ශ කිරීමක් ඇතිවෙනවා. ඒ ස්පර්ශ කළේ නැත්නම් රූපය අපට සිතට පෙනෙන් නෑ. කියන්නේ සිතින් ගිහිල්ලා රූපය ස්පර්ශ කළේ නැත්නම් රූපය අපට අරමුණක් වන්නේ නැහැ.

ඒක නිසා මේක හරියටම පැහැඳිළිවම පේනකොට තමන්ට තේරෙන්නට ඕන රූපස්කන්ධය කියන්නෙත් නාම ධර්මයක්ය කියලා. නාමරූප වල ගැඹුරු අවස්ථාවක් ඒ අපි කතා කළේ. සෑම රූපස්කන්ධයක්ම නාම ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. ඒ කියන්නේ සිත ගිහිල්ලා ස්පර්ශ කළේ නැත්නම් කිසිම රූප කොටසක් අපේ සිත තුළ පෙනෙන්නේ නෑ. රූප පැත්තක ඔහේ පාඩුවේ පවතිනවා. ඒක වෙනම දෙයක්. අපේ සිතට අරමුණක් වුණේ නැති රූප කිසිම ආකාරයකින් අපි අනුව බලනකොට වැදගත් බාවයක් නැහැ. දැන් මේ ලෝකයේ කොයිතරම් නම් ශබ්ද අරමුණු මේ අවස්ථාවේ තියනවද? ඉතා ප්‍රියජනක ශබ්ද අරමුණු ඇති. නමුත් ඒ එකක්වත් අපිට අරමුණු වෙලා නෑ. ඒ නිසා බාහිර ලෝකයේ තියන ශබ්දාරම්මණ අපිට දැන් අරමුණක් වෙලා නෑ, මොකද අපේ මනස ගිහිල්ලා ස්පර්ශ වෙලා ඒ පිළිබඳ සිතිවිලි ඇතිවෙලා නැති නිසා. මේ ලෝකයේ ඉතාම ප්‍රිය රූප ඇති අනන්තවත්. නමුත් ඒ එකක්වත් අපේ සිතට අරමුණු වෙලා නෑ, ඒකනිසා එකක්වත් ඒ රූප අපේ ලෝකය අනුව බලනකොට , තමන්ගේ ලෝකය අනුව බලනකොට රූපාරම්මණ නෙවෙයි.

ශබ්ද තියනවා, ගඳ සුවඳ තියනවා, රස තියනවා, ඕවා එකක්වත් දැන් මේ අවස්ථාවේදී මේ අයගේ සිත තුළ අරමුණු නොවෙයි. ඒ අරමුණු බාහිර වශයෙන් ලෝකයේ පවතිනවා නමුත් මේ අයගේ සන්තාණය තුළ ඒ අරමුණු නෑ. අරමුණු විද්‍යමාන වන්නට නම් සිත ගිහිල්ලා ස්පර්ශ කරන්නට ඕන, ඵස්සය ඇතිවන්නට ඕන, සිත ස්පර්ශ කළේ නැත්නම් කිසිම අරමුණක් ලෝකයේ නෑ. එතකොට තමන්ගේ රූපස්කන්ධය දෙස මනසින් බලනකොට තමන්ට තේරෙන්නට ඕනෑ, මේ රූපය කියන්නේ මොකක්ද කියල කියනකොටම පැහැඳිළිවම තමන්ට තේරෙන්නට ඕන, රූපය මොකද්ද කියලා බලනකොටම තමනට පේන්න ඕන මෙතන තියෙන්නේ නාමයක්නේ කියලා.

මේක හරියටම දැක්කොත් එහෙම රූපය සම්පූර්ණයෙන් ඝන කළුවරක් වැටුණා වාගේ නිවිලම යනවා. ඒ කියන්නේ හෙව්වත් හොයන්නට බැරි තරමටම නිවිලම යනවා. තනිකරම රූප නිරෝධයක් අත්දකින්නට පුළුවන්, රූපයත් නාමයත් කියන අවබෝධය ඇතිවෙලා ඒක හරියට ප්‍රත්‍යක්ෂ ලෙස අත්දකින එක. මේක අත්දැක්කොත් එහෙම තමන්ට තේරෙන්නට ඕන තමන්ගේ සිතිවිලි ඇතිවීමක් හැර ලෝකයක් නැහැ කියලා. ඒ කියන්නේ යම්කිසි දෙයක් පිළිබඳ සිතිවිලි ඇතිවුණොත් විතරයි තමන්ගේ සන්තානය තුළ බාහිර ලෝකයක් හරි, අභ්‍යන්තර ලෝකයක් හරි විද්‍යමාන වන්නේ. තමන්ගේ රූපස්කන්ධයත් දැන් මෙතන නොපෙනී ගියා සිතට. ඊටපස්සේ තමන්ට තේරෙනවා මේ රූපය කියන එක තනිකරම නාමධර්මයක්. ඒකයි මේ නොපෙනී ගියේ. එතකොට තමන්ගේ පුතා කිව්වත්, දුව කිව්වත් , ගෙවල් දොරවල්, යාන වාහන කිව්වත් ඔක්කෝම සිතින් ගිහිල්ලා ස්පර්ශ කළොත් විතරයි ඒවා විද්‍යමාන වන්නේ. සිත නිරුද්ධ වූවා නම් ඒවාගෙන් ඒවා පැත්තක තියන හුදුලෝක ධම්ම පමණයි; ස්කන්ධ ධර්ම පමණයි. තමන්ගේ සිතට ඒවා කිසිම අරමුණක් වන්නේ නැහැ.දෙවියෙක් ගත්තත් එකයි, බ්‍රහ්මයෙක් ගත්තත් එකයි, මාරයෙක් ගත්තත් එකයි, අමනුෂ්‍යයෙක් ගත්තත් එකයි, මේ ඔක්කොම දේවල් ගැන සිතනකොට අපේ සිත තුළ සිතිවිලි ටිකක් ඇතිවීමක් හැර මෙතන වෙන දෙයක් නෑ. මේකෙන් අදහස් කරන්නේ නෑ, දෙවිවරු නෑ, බ්‍රහ්මයෝ නෑ, මාරයෝ නෑ, අමනුෂ්‍යයෝ නෑ කියලා. අපි පරමාර්ථ වශයෙන් නාමරූප ධර්මයන් දකිනකොට දකින්නට ඕනෑ, තමන්ගේ සිත තුළ මේ නාම ධර්මයන් ඇතිවීමක් හැර මෙතන වෙන දෙයක් නැහැ නේද කියන කරුණ. ඕනම දෙයක් පිළිබඳ ඒකයි.සත්‍යය ඒකයි.

එතකොට ඒ නාම ධර්ම වල ස්වරූපය මොකක්ද? ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා.-ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා.. වේගයෙන් ඇතිවි ඇතිවී, පැවති පැවතී, නැතිවි නැතිවී යනවා. එහෙම වේගයෙන් ඇති ඇතිවී, පැවති පැවතී, නැතිවි නැතිවී යන මේ නාම ධර්මයන් මම කියලා ගන්නවනම්, මගේ කියලා ගන්නවනම්, මගේ ආත්මයක් කියලා ගන්නවා නම් , මේක සුඛයි, මේක සුබයි, මෙක හොඳයි, කියලා ගන්නවා නම් මේවා ප්‍රාර්ථනය කරනවා නම් ,භවයේ රැඳී සිටීමට කැමැත්තක් තියනවා නම්, මේ ඔක්කොම නාම ධර්ම. ඒවාගේ ස්වරූපය මොකක්ද. ඒවත් ඇතිවෙනවා, පවතිනවා, නැතිවෙනවා. මේ ඇතිවෙන, පවතින, නැතිවී යන මේ නාම ධර්මයන්ගේ ශේෂ වන කිසිවක් නෑ. ඔක්කොම පහන් නිවුණා සේ නිවී ගියා. අපි හිතමු පහන් පහක් දැල්වෙනවා. මේ පහන් පහ අපි සම්පූර්ණයෙන් නිවනවා. නිවුවාට පස්සේ, පහන් පහක් දැල්වි දැල්වී තිබුණා නමුත් ඒ තිබිච්චි දැල්ලවල්, ඒ ආලෝකවල් ,ඒ ගින්දර, ඒ තේජෝ ධාතු මොකක්වත් නෑ. නැවත දල්වන එක වෙනම දෙයක්. දැල්වූවට පස්සේ වෙනම ආලෝකවල් පහක් තියෙන්නට පුළුවන්. නමුත් අර කලින් තිබුණ ඒවා නැත්තටම නැහැ. කොච්චර අලුතෙන් ඇතිවුණත්, නැතිවෙච්ච දේ, නැතිවුණා, නිරුද්ධ වුණා කියන්නේ ඒකයි. අනිත්‍යයට වඩා නිරුද්ධ වීම ගැඹුරු දර්ශනයක්.

එතකොට මේ විදියට තමන්ගේ නාම ධර්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා නම් මෙතන මම කියලා ගන්නට, ආත්මය කියලා ගන්නට කිසිවක්ම ඉතුරු වන්නේ නැහැ. සියල්ලම හිස්. ඒ හිස් බාවයකට හිත පත්වුණා නම් ඒ හිස් භාවය පවා නාම ධර්මයක්. ඒ හිස් භාවයට අරමුණු වන්නේ ආකාශය නම්; අභ්‍යවකාශය නම්, අභ්‍යවකාශය කියන එක ආකාශ ධාතුවට අයත් එකක්. ඒකත් රූප ධර්මයක්. ඒ රූප ධර්මය කියන්නෙත් තමන්ගේ සිත ගිහිල්ලා ඒක ස්පර්ශ කිරීම නිසා වැටහෙන එකක්. එතන තියෙන්නෙත් නාම ධර්මයක්. ඒ කියන්නේ සිතයි, අරමුණයි දෙකම නාම ධර්මයක් බවට පත්වන්නට ඕන. ඒ නාම ධර්මයත් ඇතිවෙනවා-පවතිනවා-නැතිවෙනවා. එසේ වූ කල මොකක්වත් ඉතිරි වන්නේ නැහැ මම මගේ කියලා ගන්නට කියන පැහැඳිළි අවබෝධය තමන්ට අත්දකින්නට පුළුවන් වනවා. ඒ නාම රූප ගැන පැහැඳිළි අවබෝධයක් තුළින් ඒ ආකාරයෙන් කටයුතු කරලා, ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් ආකාරයක් අපි ප්‍රකාශ කළේ. මෙහෙම හරි අත්දැකීමක් ලැබුවොත් අපට තේරෙනවා, බුදු හාමුදුරුවෝ කියපු පාඨයක සම්පූර්ණ සත්‍යතාවය.

"එත්තාවතාකො ආනන්ද ...(පාලි පාඨය ).." කියන එක තමන්ටම පැහැඳිළිව පේනවා. බුදු හාමුදුරුවෝ දේශනා කරපු එක තමන් අත්දකිනවා. ඒ කියන්නේ "මේ ලෝකයේ යම්කිසි ආකාරයකින් අපි උපදිනවාය; ජරාවට පත්වෙනවාය; මිය යනවය; චුත වෙනවය; නැවත තැනක උපදිනවය; ආදී වශයෙන් අපි ප්‍රකාශ කරනවනම් , නැත්නම් මෙයා හොඳ කෙනෙක්ය, නරක කෙනෙක්ය, උගතෙක්ය, නූගතෙක්ය, ලේකඛයෙක්ය; පණ්ඩිතයෙක්ය ආදී ව්‍යවහාර කරනවා නම්, නැත්නම් මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියලා පංචස්කන්ධ ධර්මයක්ය කියලා අපි කියනව නම්; මේ ආදී විවිධාකාරයෙන් කතා කරනවා නම්; නැත්නම් මේ සංසාරය කියලා අපි කියනවා නම් ; ඒ ඔක්කෝම කියන්නේ මොකටද දන්නවද .. අන් කිසිවකට නෙවෙයි, නාම රූප දෙක ප්‍රත්සන්ධි විඤ්ඤාණය සමඟ එක්ව එකිනෙකට උපකාර වෙමින් පවත්නා වූ ක්‍රියාදාමයකට කියන වෙනත් වචනයක්.

මේක හරියටම තේරුම් ගන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නට ඕන. ඒ කියන්නේ අපි විවිධ නම් වලින්, සංඥා වලින් හඳුනා ගන්නවා. අපි ලෝකයේ නොයෙක් දේවල් වලට සම්මුති දාගන්නවා. ඒ නම් ඔක්කොම සම්මුති. "එය හොඳයි, ලස්සනයි, කැතයි, මහතයි, කළුයි, සුදුයි" ඔක්කොම සම්මුති. නැත්තම් "මෙයා අසවලා, අසවලා" ආදී ඔක්කොම සම්මුති. නැත්තම් "මේවා රූප- වේදනා- සංඥා- සංඛාර- විඤ්ඤාණ , නාමරූප, හේතු ඵල" ඔක්කොම ප්‍රඥාවෙන් අපි අපේ භාවනා පැත්තට අනුව බලනකොට දකිනවා නම් යම්තාක් දේවල්, නැත්තම් මේ සංසාර වෘථය පැනවීම සඳහා මේ මේ දේවල් කියලා අපි පනවනව නම්; මේවා ඔක්කෝම සිතේ පවත්නා වූ නාම රූපය සහ විඤ්ඤාණය කියන දෙක , ඒ කියන්නේ නාම රූප දෙකයි, ප්‍රතිසන්ධි විඤ්ඤාණයයි ඒ දිගින් දිගට පැවැත්මයි කියන කාරණා දෙකේ දිගින් දිගට ගමන් කිරීමේ ක්‍රියාදාමයට කියන වෙනත් වචනයක්. උපදිනවා, මැරෙනවා, දිරනවා, නැවත උපදිනවා, මේ ඔක්කොම ඒ සඳහා කියන දෙයක්. එතකොට පැහැඳිළිවම තමන්ට තේරෙනවා මෙතන නාමරූප ධර්මයන් මේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙවී යනවා. මේ මේ හේතූන් අනුව මේ මේ නාම රූප ධර්මයන් මේ විදියට ඇතිවී ඇතිවී -නැතිවී නැතිවී යනවා මේවා කෙරෙහි පැහැඳිළි අවබෝධයක් නැති මුලාව නිසා අනනුබෝධය නිසා, ඒ අවිද්‍යාවෙන් බරවෙච්චි නිසා, මේවා සත්වයෝ වශයෙන් , පුද්ගලයෝ වශයෙන්, ආත්ම වශයෙන් අරගෙන ග්‍රාහණය කරගෙන උපාදාන කරගෙන, මේවා පවත්වාගෙන යෑමට ආශාවෙන් බරිත වෙලා, භව ආශාවෙන් බැඳිලා, අවිද්‍යාවෙන් මුලා වෙලා දිගින් දිගට-දිගින් දිගින් දිගට-දිගින් දිගට සංසාරය පුරා මේ විදියට පැවතගෙන-පැවතගෙන-පැවතගෙන ආවා. ඉදිරියටත් මෙලෙසින්ම පැවතගෙන යනවා.

මේ මුලාව තියන තාක් කල් කියලා ඒ කරුණ අපට ඕන නම් දකින්නට පුළුවන්. මේ විදියට මේවායින් ඇතිවන ගැඹුරු ගැඹුරු අවබෝධ; තව විශාල අවබෝධ රාශියක් තිබෙනවා. ඒවා මේ දේශනාවට ඇතුළත් කිරීමෙන් කිසිම ඵලක් නෑ. ඒ නිසා මේ නාමරූප ගැන පැහැඳිළි අවබෝධයක් ඇතිකර ගත යුතුයි. එසේ ඇතිකර ගැනීම තුළින් විශිෂ්ඨ ප්‍රතිපල ලබන්න පුළුවන්.

"මේ සියළුම නාමරූප ධර්මයන් කෙරෙහි කෙනකුගේ සිත තුළ මමායනයක් නැත්තම් , මම කියන හැඟීමක් , මගේ කියන හැඟීමක් නැත්තම්, මේවා කැඩෙන විට, බිඳෙන විට, නැතිවෙන විට ශෝක කරන්නේ නැත්තම් , එවැනි කෙනා ඒකාන්ත වශයෙන්ම භික්ෂුවක් යැයි ප්‍රකාශ කරනවා" කියලා ධම්මපදයේ ගාථාවක් සඳහන් වනවා.

ඒක නිසා මේ නාම රූප ධර්ම නාම රූප ධර්ම වශයෙන්ම දකින්නට ඕන. ඒ දකිනකොට, මේවා කැඩෙනකොට, බිඳෙන කොට, ගිළිහෙන කොට , නැතිවෙන කොට කිසිම හිතට දුකක්, වේදනාවක්, පරිළාහයක්, සංතාපයක් ඇතිවන්නේ නැහැ. මොකද හේතුව "හුදු නාම රූප ධර්මම, හුදු සංස්කාර ධර්මම ඇතිවෙනවා. හුදු නාම රූප ධර්මම, හුදු සංස්කාර ධර්මම පවතිනවා. හුදු නාම රූප ධර්මම, හුදු සංස්කාර ධර්මම නිරුද්ධ වනවා. ඒක හරියට අවබෝධ වුණාට පසුව එහිලා කවර නම් පරිදේවයක්ද? " එතකොට මේ විදියට එ කරුණු පැහැඳිළි ලෙස අත්දකින්නට පුළුවන් නම් විශිෂ්ඨතම ප්‍රතිපල ලබාගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා.

ඒක නිසා මේ නාම රූප ධර්ම නාම රූප ධර්ම වශයෙන්ම දකින්නට ඕන. ඒ දකිනකොට, මේවා කැඩෙනකොට, බිඳෙන කොට, ගිළිහෙන කොට , නැතිවෙන කොට කිසිම හිතට දුකක්, වේදනාවක්, පරිළාහයක්, සංතාපයක් ඇතිවන්නේ නැහැ. මොකද හේතුව "හුදු නාම රූප ධර්මම, හුදු සංස්කාර ධර්මම ඇතිවෙනවා. හුදු නාම රූප ධර්මම, හුදු සංස්කාර ධර්මම පවතිනවා. හුදු නාම රූප ධර්මම, හුදු සංස්කාර ධර්මම නිරුද්ධ වනවා. ඒක හරියට අවබෝධ වුණාට පසුව එහිලා කවර නම් පරිදේවයක්ද? " එතකොට මේ විදියට එ කරුණු පැහැඳිළි ලෙස අත්දකින්නට පුළුවන් නම් විශිෂ්ඨතම ප්‍රතිපල ලබාගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරලා මෙම දේශනාව දැන් නිමකරනවා.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

නාමරූප - 3 කොටස - අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ


ඒ වගේම මේ නාමස්කන්ධය අනාත්මයි කියන එක අවබෝධ කරගත යුතුයි. මේ නාමස්කන්ධය නිසා තමයි , මමය කියලා හිතන්නේ, මගේය කියල හිතන්නේ. මම, මගේ කියලා හිතන එකත් නාම ධර්මයක්. වෙන දෙයක් නෙවෙයි. මේකේ ආත්මයක් තියනවා, මෙත ස්ත්‍රියක් ඉන්නවා, පුරුෂයෙක් සිටිනවා ආදී වශයෙන් යම්කිසි කෙනකුගේ සංකල්පනාවක්, සංඥාවක් ආදී දේවල් තියනවා, ඒ ඔක්කොම නාමස්කන්ධයට අයත් ධර්ම. ඒවා ඒ ඒ අයගේ, පුද්ගලයන්ගේ සිත තුළ පවත්නාවූ සිතිවිලි, නාම ධර්ම පමණයි. වෙනදෙයක් නෙවෙයි. තමන්ගේ ඇඟ අරගෙන මේ මගේ ඇඟ කියලා හිතනවනම්, ඒක තමන්ගේ සිතිවිලි ධර්මයක් පමණයි. නාම ධර්මයක් පමණයි. වෙන දෙයක් නෙවෙයි. ඉතින් නාම ධර්ම ඇතිවි ඇතිවී - නැතිවි නැතිවී යාමක් හැර මෙතන සත්‍ය වශයෙන් වෙනත් දෙයක් නැහැ. ඒක නිසා තමන්ට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙන්නට ඕන මේ නාමස්කන්ධය ඒකාන්තයෙන්ම අනාත්මයි කියලා.

මෙහි තිබෙන ආත්ම ස්වරූපයට බොහෝ දෙනා මුලා වෙනවා. මොකද සිතේ ස්වරූපය අවබෝධ කරගන්නට නොහැකි නිසා. රහත් වන තෙක්ම ඒ මුලාව පවතිනවා කෙනෙක්ගේ සිත තුළ. එම නිසා නාමස්කන්ධය ඔක්කොම අනාත්මයි කියලා තේරුම් ගන්නට ඕන. අනාත්මයි කියලා තේරුම් ගැනීමට මේ නාමස්කන්ධයේ ඇතිවීමේ හේතුව දකින්නට ඕන, සමුදය. මේ මේ හේතුන් නිසා මේ නාමය ඇතිවෙනවා යැයි කියලා.අර වේදනා, සංඥා, සංඛාරා කියන තුනම ඇතිවීමේ හේතු වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ ඵස්සය.

ඒ වගේම විඤ්ඤාණය ඇතිවීමේ හේතු වශයෙන් උන්වහන්සේ දක්වලා තියෙන්නේ නාමරූප. ඉතින් මේ එකම හේතුව නෙවෙයි, ප්‍රධාන හේතුව දක්වා තිබෙන්නේ. ඕවා ගැන දීර්ඝ වශයෙන් මෙවැනි දේශනාවකදී ඉදිරිපත් කරන්නට බැහැ. ඒවා දීර්ඝ වශයෙන් විස්තර කරනකොට, විස්තර වශයෙන් අවබෝධ වෙනකොට, ඒ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ ප්‍රධාන හේතුව පමණයි, තවත් හේතු රාශියක් මේ නාමස්කන්ධයන් ඇතිවීම සඳහා ප්‍රත්‍ය වන බව තමන්ට තේරෙනවා.

එතකොට ඒ නාමධර්මයන් ඇතිවීමට යම් යම් ප්‍රත්‍ය වන හේතු වන කරුණු තියෙන්නට ඕන. ඒ හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයන් හැර මෙතන වෙන දෙයක් නැහැ කියන කරුණු අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුයි. වේදනාව ගත්තත්, තමන් වේදනා විඳිනවා, මගේ වේදනාවක් නෙවෙයි. තමන් වේදනා විඳිනවා නෙවෙයි. හේතුන් නිසා හටගත් ඵලයක්. සංඥාවක් වුණත් හේතුන් නිසා හටගත් ඵලයක්. සංස්කාර කියන එකත් එහෙමයි, විඤ්ඤාණය කියන එකත් හේතුන් නිසා හටගත් ඵල ධර්මයන්. තමන්ට ඕන විදියට ඇතිකරගන්නටත් බැහැ, තමන්ට ඕන විදියට නැතිකරගන්නටත් බැහැ. හේතුන් තියනකොට ඇතිවෙනවා, හේතුන් ගිළිහී යනකොට නැතිවී යනවා.ඒකයි ඒකේ ස්වරූපය. මේ අනාත්ම ස්වරූපය තේරුම්ගත යුතුයි.

ඊට අමතරව මේ නාමස්කන්ධය දුක්ඛ ධර්මයක් කියලා අවබෝධ කරගන්නට ඕන. යම්තාක් දුක් අපි අත්දකිනවා නම් අපි අත්දකින්නේ, නාමස්කන්ධයේ පැවැත්ම පවතින තාක් පමණයි. අපි දැන් මෙතන ඔක්කෝම සිහිනැති කළා නම් එහෙම දවස් තුන හතරකට සම්පූර්ණයෙන්ම, ඒ දවස් තුන හතරක කාල පරිච්ඡේදය තුළඳීම අපිට කිසිම වේදනාවක් දැනෙන්නේ නෑ. සැපක්වත්, දුකක්වත්, මැදහත් බවක්වත් මොනම එකක්වත් නෑ, හිත නැත්නම් කිසිම ප්‍රශ්නයක් නෑ. එතකොට මේ සිතේ ක්‍රියාදාමය පවතින නිසා තමයි යම්තාක් දුක් අපිට අත්දකින්නට පුළුවන් වනෙනේ. රූපස්කන්ධය තුළින් ඇතිවන දුක් පවා, කායික දුක්ඛ වේදනා පවා අපිට දැනෙන්නේ මනසට. කයේ ඇතිවුණාට. ඒක නිසා මේ සියළුම නාමස්කන්ධයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුකක් වශයෙන් දකින්නට ඕන. දුක් උපදවා දෙන සමුදය වන්නෙත් නාමස්කන්ධය. දුක වන්නෙත් නාමස්කන්ධය. මේ විදියට දුකක් සහ දුක්ඛ සමුදයක් වශයෙන් මේ නාමස්කන්ධය පැහැඳිළිව අවබෝධ කරගත යුතු වෙනවා. මෙන්න මේ විදියට නාම කියන එකයි, රූප කියන එකයි පිළිබඳව, මම මේ ඉතාම සරලව කෙටියෙන් කිව්වේ, විස්තර වශයෙන් කතා කළා නෙවෙයි, ගැඹුරින් කතා කළා නෙවෙයි. එතකොට ඒ දෙක පැහැඳිළිව අවබෝධ කරගන්නට ඕන. මෙතන නාමයක් තියෙනවා, මෙතන රූපයක් තියෙනවා යැයි කියලා. මේ දෙක අවබෝධ කරගත්තාට පස්සේ භාවනා කරන විට නාම රූප වෙන් වශයෙන් දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා.

ඒකට කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාණය කියලා. නාම රූප වෙන් වශයෙන් දකින්නට පුළුවන් නුවණ කියන එකයි එහි අර්ථය. එතකොට අපි උදාහරණ වශයෙන් කතා කරනවා නම්, ධාතු මනසිකාර භාවනාව කියලා හිතමු, පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා දකිනවා යැයි කියලා. ඒ පඨවි කියලා දකින්නේ අපි සිතින්. පඨවි ධාතුව රූප කොටසක් , පඨවි ධාතුව කියලා හඳුනාගත්තේ සිතින්, ඒක නාමයක්. එතනත් නාම රූප දෙකක් තිබෙනවා. නැත්නම් තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආදී වශයෙන් හඳුනාගත්තේ සිතින්. ඒවගේම හඳුනාගැනීමට බඳුන් වූ තේජෝ , වායෝ ආදී කොටස් රූප. මේ විදියට නාම රූප වශයෙන් ඒවා හඳුනා ගන්නට පුළුවන් වන්නට ඕන. නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාස කියලා භාවනා කරනවා නම් - ආනාපාන සති භාවනාව කරනව නම්, ආශ්වාස ප්‍රාශ්වාස සහ මුළු කයම අරගෙන සබ්බකාය පටිසංවේදි භාවනා කරනවානම් , මුළු කයම අරගෙන භාවනා කරන විට , ආශ්වාස ප්‍රාශ්වාසත්, මුළු කයත් දෙකම රූපස්කන්ධයට අයත් ධර්මයන්, ඒවා දකින සිත නාමස්කන්ධය.මේ සිත කියන්නේ වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන කොටස් හතරටම පොදු වචනයක් වශයෙන් ඒක අපි භාවිතා කළේ. එතකොට ඒ විදියට පිම්ඹීම් හැකිළීම් භාවනාව කරනවා නම්, පිම්බෙන හැකිළෙන උදර කොටස නැත්නම් ශරීරයම පිම්ඹෙනවා හැකිළෙනවා, මුළු ශරීරයම. ඒ පිම්ඹෙන හැකිළෙන වායෝ ධාතුව සහිත මුළු ශරීරයේම රූප, ඒක දකින සිත නාමය.

මේ විදියට නාම රූප වශයෙන් හඳුනා ගන්නට පුළුවන් වන්නට ඕන. අපි භාවනා කරන විට ශබ්දයක් ඇහෙනවිට, "ඇහෙනවා, ඇහෙනවා" කියලා මෙනෙහි කරන්නට කියලා, මුල් අවධිවල කියලා දීලා තියනවා. එතකොට ඒ "ශබ්දයක්, ශබ්දයක්" කියලා මෙනෙහි කරනකොට අපි එතන තියන නාම රූපත් දකින්නට ඕන. කන රූපයක්, කනට ඇහෙන ශබ්දය රූපයක්. මේ ශබ්දය ඇසුණට පස්සේ සෝත විඤ්ඤාණය, අපිට ඒක හඳුනාගන්නට බැරි වුණත් දැනීමක් පහළ වෙනවා. මේ දැනීම, මේ සිත නාමයක්. මේ විදියට නාම රූප වශයෙන්. වේදනාවක් දැනෙනවා නම්, උදාහරණ වශයෙන් දුක්ඛ වේදනාවක් දැනෙනවා නම්, "දුක් වේදනාවක්, දුක් වේදනාවක් " කියලා මෙනෙහි කරන්නට කියලා මුල් අවස්ථා වලදී කියනවා. ඒ වගේම රත්වෙනවා, තද වෙනවා වගේ දේවල් එනකොට ඒවා මෙනෙහි කරන්නට කියලා කියනවා. මේ විදියට, ටිකක් දියුණු වුණාට පස්සේ, නාම රූප වෙන් වශයෙන් දකින්නට ඕන. භාවනා කරන කොට ඇඟ රත්වෙනවා නම් ඒ රත්වෙනවා කියන්නේ, තේජෝ ධාතුව, ඒක රූප කොටසක්, ඒ රත්වෙනවා කියලා දැනෙන්නේ නාමයකින්. ඒක සිත, නාමස්කන්ධයට අයත් ධර්මයක්. ඒ වගේම තමයි තද වෙනවා නම් යම්කිසි ශරීර කොටසක් ඒ පඨවි ධාතුවේ ලක්ෂණය තමයි තදගතිය මෘදු ගතිය ආදිය. එතකොට ඒ පඨවි ධාතුවයි අපිට ඒ අරමුණ. ඒක දකින සිත නාමය. නැත්නම් අපි හිතමු වේදනාවක් දැනෙනවා කියලා, දුක්ඛ වේදනාවක්. ඒ ශරීරයේ යම්කිසි කොටසක දුක්ඛ වේදනාවක් දැනෙනවා නම් ඒ ශරීර කොටස තමයි රූපය, දැනෙන දුක්ඛ වේදනාව තමයි නාමය.

මේ විදියට භාවනාවට ගනු ලබන, එනු ලබන සෑම අරමුණක්ම නාමරූප වශයෙන් වෙන්කර කරා, වෙන් කර කරා, බලාගෙන බලාගෙන යනකොට තමන්ට පැහැඳිළිවම පෙනෙන්නට ඕන මෙතන නාමයක් තියෙනවා, මෙතන රූපයක් තියෙනවා මේ දෙක හැර තව මොකක්ද තියෙන්නේ, තව මොකක්වත් නැහැ නේද කියන කරුණ. එ කියන්නේ නාම රූප හරියට පැහැඳිළිවම පෙනුණට පස්සේ වෙන් කරලා බලනවා මේ නාමය හැර, මේ රූපය හැර තවත් මොකක්වත් මේ පංචස්කන්ධ ලෝකය තුළ තියෙනවද කියලා. මම කියලා ගන්නට හරි, මගේ කියලා ගන්නට හරි , එහෙම යම්කිසි හැඟීමක් හරි, දැනීමක් හරි සියුම්ම සියුම් දැනීම මාත්‍රයක් හරි තියෙනවනම් ඒකත් නාමස්කන්ධයට අයත් දෙයක්. ඒ කියන්නේ යන්නට පුළුවන් අන්තිම පහළට, යටටම තත්වයට සිත ගිහිල්ලා නතර වෙලා ඉතාම සියුම් දැනීමක් තිබුණත් ඒකත් නාම ධර්මයක්. 

මුළු ශරීරයම නොපෙනී ගොස් කළුවරක් වැටුණා වාගේ ගිහිල්ලා යම්කිසිස් ආකශමයක්, නැත්නම් කළුවරක් වගේ දෙයක් පේනවා නම් ඒකත් සිතට පෙනී යන නාම ධර්මයක්.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

නාමරූප - 2 කොටස - අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ

 

 
මේ රූපයන් නිසාත් යම්කිසි ආශ්වාදයක් ලැබෙනවා සිතට. ආශ්වාදය කුමක්ද කියලත් තේරුම්ගත යුතුයි. ඒවගේම රූපයේ තියනවා ආදීනව රාශියක්. කියන්නට බැරිතරම් අතිවිශාල ප්‍රමාණයක් තියනවා රූපයේ පැවැත්ම නිසා. රූපස්කන්ධයේ පවත්වාගෙන යෑම සඳහා යම්තාක් දේවල් කරන්නට සිදුවෙනවා නම් ඒ සෑම එකක්ම් ආදීනවයක්. මේ රූපය ජරාවට පත්වන එක, ව්‍යාධියට පත්වන එක, දිරන එක, කවල පොවල, නහවල පවිත්‍ර කරල, පෝෂණය කරවන එක, ආරක්ෂා කරවන එක ආදී සෑම දෙයක්ම රූපය තුළ තියන ආදීනවයක්. එතකොට ආදීනවයන් තේරුම් ගන්නටත් ඕන.

ඊට අමතරව මේ රූපය නිරන්තරයෙන්ම ඇතිවි ඇතිවී නැතිවී නැතිවී යන ධර්මයක්ය , අනිත්‍ය ධර්මයක්ය කියලා පැහැඳිළිව අත්දකින්නට ඕන. මේ රූපය ඒකාන්ත වශයෙන් දුකක්මයි කියන අවබෝධය ඇතිවෙන්නට ඕන. ඒවගේම රූපය දුක උපදවා දෙන ස්ථානයක් කියන අවබෝධයත් ඇතිකරගන්නට ඕන. ඊට අමතරව මෙම රූපය, මම හෝ මගේ ආත්මයක් නොවන බව පැහැඳිළිවම තේරුම් ගත යුතු කරුණක්.මේ මම මගේ නොවන, ආත්ම නොවන ස්වරූපය තේරුම්ගන්නට පහසුවෙන්ම පුළුවන්කම ලැබෙනවා හේතු ඵල වශයෙන් දකිනවිට. ඊට අමතරව මේ රූපස්කන්ධයේ තියන මූල ධාතු හතර වෙන්කරලා බලනවිටත් ඒ අනාත්ම ස්වරූපය දකින්නට පුළුවන්කම ලැබෙනවා.

රූපය එක්කෝ ධාතු වශයෙන් දකින්නටත් පුළුවන්, නැත්නම් දෙතිස් කුණප කොට්ඨාශයන් වශයෙන් අවබෝධ කරන්නටත් පුළුවන්. දෙතිස් කුණප කොට්ඨාශයන් වශයෙන් අවබෝධ කළාට පසුව කෙස්, ලොම්, නිය , දත්, සම්, මස්,නහර ආදී මේ එක එක කුණප කොටසක් තුළ තියෙන්නා වූ මූල ධාතු හතර වෙන් කරන්නටත් පුරුදු වනන්ට ඕන. දැන් අර කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර ආදි කොටස් 20 පඨවි ධාතු අධික බැවින් පඨවි ධාතු කොටස් කියලා කිව්වට ඒකේ අනෙකුත් සෑම මූල ධාතුත් තියනවා. ආපෝ, තෙජෝ, වායෝ කියන අනිත් ඒවත්. ඒවගේම තමයි, පිත්තං, සෙම්මං, පුබ්බෝ ආදී වශයෙන් කියපු කොටස් 12 ත් ආපෝ ධාතුව අධික බැවින් ආපෝ ධාතුව කියලා හැඳින්වූවට ඒවයේ තියනවා පඨවි, තේජෝ, වායෝ කියන සෙසු කොටසුත්. මෙන්න මේක තේරුම් අරගෙන බලන්නට ඕන.

දැන් උදාහරණයක් අපි කීවොත් එහෙම අපි හිතමු, සම්, මස් කියන්නේ ශරීරයේ තියන පඨවි ධාතුව අධික කොටසක් බැවින් , මේවා පඨවි ධාතු කොටස් වශයෙන් තමයි පොත්වල හඳුන්වන්නේ. නමුත් එහි තියනවා අනිත් ධාතු කොටස් හතරත්.දැන් එහි තියනවා තෙතමනයක්, ඒක තමයි එහි තියන ආපෝ ගතිය. එහි තියනවා රස්නයක් හෝ සීතලක්; ඒක තමයි එහි තියන තේජෝ ගතිය. ඒ මස් කොටසක් ගත්තොත් එහෙම , වේලිච්ච මස් කොටසක් සහ ඒ කොටස සන්සන්දනය කළොත් ඒකේ තියනවා පිම්ඹිච්ච ස්වරූපයක්. මේ පිම්ඹුණු ස්වරූපය වායෝ ධාතුව නිසා ඇතිවුණු එකක්. එතකොට මස් කියන කොටස සත්‍ය වශයෙන්ම පඨවි, ආපෝ තේජෝ, වායෝ, කියන ධාතු හතරේම සම්මිශ්‍රණයක්.

මේ ධාතු කොටස් හතර, හතර පැත්තකට වෙන් කරන්නට අපට පුළුවන් වුණොත් ඒ මස් කියන දේ නැතිවී යනවා. ඒ කියන්නේ අපි මස් කියලා කතා කළේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරේ සම්මිශ්‍රණයකට. මේ කොටස් හතර හරියට වෙන් කරලා අපි පැත්තකට දැම්මොත් එහෙම ඒ මස් කියන එක නැතිවී යනවා. අනිත් ඒවත් එහෙම තමයි. සම කියලා අපි උදාහරණයකට ගමු. අපි සම කියලා කතා කරනවා, ඒක පඨවි ධාතුව අධික බැවින් ඒක පඨවි කොටසක් කියලා හඳුන්වන්නේ. නමුත් ඒකෙත් තියනවා මූල ධාතු හතරම. එහි තියනවා තෙතමනයක් හෝ රස්නයක්, සීතලක් වැනි දෙයක්. රස්නයක්, සීතලක් යමක තියනකොට ඒකේ තියෙන්නේ ඒ තේජෝ ස්වරූපය. එහි තෙතමනයක් තිබෙනවා. වියළි සමක් හා සම්බන්ධ කරලා, අනෙක් සම දෙස බැලුවොත් එහෙම එහි තිබෙන තෙතමනය පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. ඒක තමයි එහි තිබෙන ආපෝ ගතිය. ඒ වගේම හම, වේළිලා, හැකිළිලා නැතුව, පිම්ඹුණු ස්වරූපයක් තියෙනවා; ඒක තමයි එහි තිබෙන වායෝ ගතිය. එතකොට මේ පඨවි, ආපෝ , තේජෝ,වායෝ කියන මූල ධාතු හතරම තියෙනවා හමේ.

මේ විදියට ඒ කොටස් වල එක එක කොටසක් අරන් මූල ධාතු හතරකින් මේවා නිර්මිත වෙලා තියෙන්නේ කියලා ඒ මූල ධාතු හතර වෙන්කරන්නට පුළුවන් නම් ඒක ඉතාමත්ම හොඳයි. එහෙම කරනකොට අපට තේරෙනවා මේ මූල ධාතු වල කිසිම ආකාරයෙන් සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් කියලා ගන්නට කිසිවක් ශේෂ වන්නේ නැහැ නේද කියන කරුණ. එතකොට ඒ මූල ධාතු හතර වශයෙන් කොටස් ඔක්කෝම අරගෙන බැලුවොත් එහෙම ආපෝ කොටස් පවා ගන්නට ඕන, මූල ධාතු හතරක් වශයෙන්. 

දැන් උදාහරණයක් වශයෙන් ලේ කියලා ගත්තොත්, ආපෝ කොටසක්, එහි තිබෙනවා රස්නයක්, සීතලක්. එහි තියෙනවා ලේ කැටි ගැසෙන ස්වරූපයක්. කැටි ගැසුණාම තියෙන්නේ ඒකේ පඨවි ගතිය අධික වශයෙන්. එතකොට ඒකේ පිම්ඹිච්ච ස්වරූපයක් තියෙනවා. ඒ විදියට පඨවි ධාතුවත් තියනවා, වතුර ගතියත් තියනවා, රස්නයක් සීතලක් තියනවා, පිම්ඹුණු ගතියක් තියනවා. සෑම මූල ධාතු කොටස් හතරක්ම එහි තියනවා. මේ විදියට තමන්ට පුළුවන් කොටස් තිස් දෙකෙන්, සෑම කොටසකම , තමන්ට පුළුවන් වන ආකාරයෙන් ඒ ධාතු හතර වෙන්කරලා බලන්නට පුළුවන් නම් බොහොම හොඳයි. එතකොට තමයි අපට රූපය ගැන පැහැඳිලි අවබෝධයක් ලබන්නට පුළුවන් වන්නේ.

එහෙම බැලුවාට පස්සේ මේ සෑම කොටසක්ම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන ලක්ෂණ තුනට නඟලා බැලුවොත්, රූපයේ නියම තත්වය අපට තේරෙයි. මෙන්න මෙහෙම තේරුණාට පස්සේ මුළු ශරීරයේම තියන රූප කොටස්, නැත්නම් රූපස්කන්ධයම - නාමස්කන්ධය නෙවෙයි අපි මෙතන කතා කරන්නේ, රූපස්කන්ධයම දෙස එකවර සිතින් බලලා ඒකේ තියන පඨවි ධාතුව මේකයි කියලා සිතින් දකින්නට පුළුවන් වන්නට ඕන. ආපෝ ධාතුව මේකයි කියලත් සිතින් දකින්නට පුළුවන් වන්නට ඕන. තේජෝ ධාතුව මේකය, වායෝ ධාතුව මේකය කියලත් ඒ මුළු ශරීරයේම පැතිරී ඇති මූල ධාතු හතර වෙන් වශයෙන් සිතින් දකින්නට පුළුවන් සමත්කමක්, දක්ෂ බාවයක් තියෙන්නට ඕන.

එහෙම දකින්නට පුළුවන් වුණාට පස්සේ මේ මුළු ශරීරයේම තියන පඨවි ධාතුව මම හෝ මගේ ආත්මයක් නොවේ, සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, මම හෝ මගේ දෙයක් නොවේ කියලා අවබෝධ කරගන්නට ඕන. ධාතු කියන එකේ වචනයේ තේරුම සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ, හුදු අනාත්ම ධර්මතාවයක් කියන එකයි. මේ ධාතු කියන එක පාවිච්චි කරන්නේ රූප වලට විතරක් නෙවෙයි. විඥ්ඥාණයටත් විඥ්ඥාණ ධාතුව කියලා කියනවා. වෙන දෙයක් තියා, නිර්වාණයත්, නිබ්බාණ ධාතුව කියලා කියනවා.

මතු සම්බන්ධයි.

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

නාමරූප - 1 කොටස - අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ



අද මේ අයට නාම රූප අළලා සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම නිවන් ලැබීමට බලාපොරොත්තු වන අය විසින් විදර්ශනා භාවනාව තුළින් මේ පංචස්කන්ධ ලෝකයේ අනාත්ම ස්වරූපය අනිවාර්යෙන්ම අවබෝධ කරගත යුතුයි. ඒ අනුව අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීමට ඉවහල් වන දේශනාවක් තමයි මේ නාම රූප වෙන් වශයෙන් දකිමින් කරනු ලබන භාවනාව. නාම රූප වශයෙන් දැකීමෙන් පමණක් නොවෙයි පංචස්කන්ධ වශයෙන් දැකලා ,නැත්නම් ආයතන 6 ක් වශයෙන් දැකලා, එහෙමත් නැත්නම් ආයතන 12 ක් වශයෙන් , නැත්නම් ධාතු 6 ක් වශයෙන් ,ධාතු 18 ක් වශයෙන්, හේතු ඵල ධර්මතා වශයෙන් ,පටිච්ච සමුප්පාද ධර්මතා වශයෙන් නැත්නම් චතුරාර්‍ය සත්‍ය ධර්ම වශයෙන් ආදී විවිධ ආකාර වලින් දකින්මින් අනාත්ම ස්වරූපය අවබෝධ කරගන්නට පුළුවන්. එක එක්කෙනාගේ ප්‍රඥාවේ මට්ටම මත ඒ අවබෝධ කරගන්නා ආකාරය ,විලාශය වෙනස් වනවා.

බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයන් විස්තර කරන විට "විඤ්ඤාණ පච්චයා නාමරූපං " කියන තැන එන නාම රූප කියන වචනය එක් අවස්ථාවකදී විස්තර කොට වඳාරළා තිබෙන්නේ මෙන්න මේ විදියට. "කතමඤ්ච භික්ඛවේ නාමරූපං..( පාලි පාඨය )... " කියලා ඒ විදියට ඒක විස්තර කරලා තිබෙනවා. 

සතර මහා භූත සහ සතර මහා භූත නිසා යම්කිසි උපාදාය රූපයක් ඇතිවුණා නම් ඒකට "රූපය" කියලා කියනවා. ඒ වගේම ඵස්ස,වේදනා, සංඥා, චේතනා, මනසිකාර කියන කොටස් වලට "නාම" කියන වචනය පාවිච්චි කරනවා. එතකොට මේ නාමය සහ මේ රූපය කියන කොටස් දෙකම එකතු වුණාට පස්සේ "නාමරූප" කියන වචනය පාවිච්චි කරනු ලබන්නේ. 

එතකොට මේ නාමය සහ රූපය ,නාම රූප දෙකක් තියන සත්ව ලෝකවල පවතින්නේ. එතකොට නාමය රූපයේ පැවැත්ම සඳහාත්, රූපය නාමයේ පැවැත්ම සඳහාත් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට උපකාර වමින් පවතින්නේ. හරියට එකිනෙකට හේත්තු කරලා තියන කේතුවක් වගේ, හේත්තු කරලා තිබෙන ලෑලි දෙකක් වගේ , පළවෙනි ලෑල්ල දෙවෙනි ලෑල්ල පැවැත්ම සඳහාත් හේතුවෙනවා, ඒ වගේම දෙවෙනි ලෑල්ල පළවෙනි ලෑල්ල පැවතීම සඳහාත් හතුවෙනවා. එකිනෙකාගේ උපකාරය ලබමින් ඒ ලෑලි දෙක පවතින්නා සේ , නාමයේ උපකාරය ලබමින් රූපයත්, රූපයේ උපකාරය ලබමින් නාමයත් පවතිනවා. එතකොට මේ රූපය කියනකොට බුදු රජාණන් වහන්සේ ඒ පාඨයේ දැක්වූයේ සතර මහා භූත සහ ඒම නිසා හටගන්නා උපාදාය රූප, "රූප" වශයෙන්. "රූප" කියන එකේ අදහස විවිධ ප්‍රත්‍යයන් නිසා වෙනස් වන , විරුද්ධ ප්‍රත්‍යයන් ලැබීම නිසා වෙනස් ස්වරූපයකට පත්වනවා කියන එකයි. "රුප්පතී..( පාලි පාඨය..).." කියලා දක්වා තිබෙනවා. සීතල, ඌෂ්ණය ,මැසි මඳුරු උවඳුරු ,සා පිපාසා වැනි විවිධ හේතුන් මත වෙනස් වන ලක්ෂණයෙන් යුතු නිසා තමයි මේ "රූපය" කියලා අපි කියන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් මහාභූත 4 ක් තිබෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. පණ ඇති,පණ නැති ඕනම රූපස්කන්ධයක,රූපයක තියන මූල ධාතු හතරක්.

"පඨවි ධාතුව" කියන්නේ යම්කිසි දෙයක් පස්වන ස්වරූපයට පත්වන කොටසකින් යුක්ත නම් අන්න ඒ පස් වන ස්වරූපයට පත්වන කොටස. ඒ වගේම යම්කිසි දෙයක තෙතමනයක් තිබෙනවානම් , ඒ තෙතමනය ,වතුර ගතිය තමයි "ආපෝ" කියන්නේ. එහි තියන රස්නය ,සීතල ස්වරූපය "තේජෝ" ; ඒ වගේම එහි තිබෙන පිම්ඹෙන වැනෙන ස්වරූපය "වායෝ" ගතිය තමයි "වායෝ ධාතුව" වශයෙන් හඳුන්වනු ලබන්නේ. එතකොට අපේ ශරීරයේ කෙස් ,ලොම් ,නිය ,දත් ,සම් ,මස්, නහර, ආදී වශයෙන් දෙතිස් කුණප කොට්ඨාශයන් ගැන මේ අය අහලා ඇති. ඒ දෙතිස් කුණප කොට්ඨාශයන් අතුරින් කෙස් සිට මොළය දක්වා තිබෙන කොටස් 20 පඨවි ධාතුව අධික කොටස් නිසා ඒවා පඨවි ධාතුව වශයෙන් පොත්වල දක්වා තිබෙනවා. 

ඒවගේම ඊළඟට පිත කියන කොටසේ සිට මූත්‍රා කියන කොටස් 12 ආපේ ධාතුව අධික නිසා ආපෝ ධාතුව වශයෙන් පොත්වල දක්වා තිබෙනවා. ඒ වගේම තේජෝ කොටස් හතරක් පොත්වල උගන්වනවා. "සන්තාපණ පරිදාන, පරිප්පාචක" ආදී වශයෙනුත්. සන්තාපණය කියන්නේ නිරන්තරයෙන්ම අපේ ඇඟේ තියන උෂ්ණත්වයට. පැරන්හයිට් වලින් කතා කරනවානම් 98.4 ට අපේ උෂ්ණත්වය පවතිනවා සාමාන්‍ය අවස්ථා වලදී. ඒක තමයි සන්තාපණ තේජෝ ධාතුව වශයෙන් හඳුන්වන්නේ. ඒ වගේම පාචක තේජෝ ධාතුව කියන්නේ අපි කනු ලබන කන බොන දේවල්, දිරවීමට උපකාර වන කොටස් වල ඇති ඒ තේජෝ ගතියයි. ඒ වගේම ජිරාපණ, මෝරන ස්වරූපය ,දිරාපත්වන ස්වරූපයට පත්වන්නෙත් තේජෝ ධාතුවකින් බවයි පොත්පත් වල දක්වන්නේ. ඒකටයි ජිරාපණ තේජෝ ධාතුව කියන්නේ. තව එකක් තියනවා පරිදාන. අපේ අත් පා දනවා, නැත්නම් ඇස් දනවා ,බඩ දනවා, පපුව දනවා ආදී වශයෙන් කතා කරනවිට ඇතිවන්නෙත් තේජෝ ධාතුවක්. ඒකට තමයි පරිදාන තේජෝ ධාතුව වශයෙන් පොත්වල කියන්නේ. 

එතකොට ශරීරයේ තියන වායෝ ධාතු කොටස් 6 ක් තිබෙන බවත් දක්වා තිබෙනවා. උද්ධංගම වායෝ ධාතුව, අධෝගම වායෝ ධාතුව. උඩ බලා ගමන් කරන වායෝ ධාතුවක් තිබෙනව. අපි මේ වචන පිට කරනකොට වායෝ ධාතුව ගමන් කිරීම නිසා ඒ විවිධ තැන් වල ඒ වායෝ ධාතුව හැපීම නිසා තමයි මෙම ශබ්ද පිටවන්නේ. ඒ විදියට ඉක්කා පිටකරනවිට ,හිනා වෙනවිට, කතා කරනවිට උඩ බලා ගමන් කරන වායෝ ධාතුවක් තිබෙනවා. ඊළඟට අධෝගම වායෝ ධාතුව, මළ මූත්‍රා ආදිය පහ කරන විට පහළ බලා ගමන් කරන වායෝ ධාතුවක් තියෙනවා. අඟ පසඟ එහාට මෙහාට සොලවන විට ,හසුරවන විට, ගමන් කරන වායෝ ධාතුවක් තිබෙනවා. ඊළඟට ආමාශය තුළ සහ, බඩවැල් තුළ තිබෙන්නා වූ වායෝ ධාතු කොටස් සහ, ආශ්වාස ප්‍රාශ්වාස වායෝ ධාතු කොටස් තිබෙනවා. 

මේ විදියට සතර මහා භූත කොටස් අපි හඳුනා ගන්නට ඕන. මේ විදියට එකිනෙක නම් වලින් විවිධ විවිධ ආකාර වලින් හඳුනා ගන්නවාට වඩා අපිට ප්‍රයෝජනවත් වන්නේ මේ ශරීරයේ පඨවි ධාතුව ඇත, ආපෝඅ ධාතුව ඇත, තේජෝ ධාතුව ඇත, වායෝ ධාතුව ඇත කියලා මුළු ශරීරයේම තියන ,පඨවි, ආපෝ , තේජෝ ,වායෝ කියන ධාතු කොටස් හතර වෙන් වෙන් වශයෙන් දැකීම, දකින්නට පුළුවන් ශක්තිය තමයි අපට ප්‍රයෝජනවත් වන්නේ. 

මේ ධාතු 4 නිසා හටගන්නා උපාදාය රූප තියනවා, එම නිසා මෙම ධාතු හතරේ සංයෝගය නිසා, සම්මිශ්‍රණය නිසා පහළ වන රූප වලට තමයි උපාදාය රූප කියන්නේ. රූප වල තියනවා යම්කිසි වර්ණයක් , මේ වර්ණය නිර්මිත වන්නේ විවිධ රූප කොටස්, ඒ කියන්නේ පඨවි ආදී මූල ධාතු කොටස් වල ඇති සම්මිශ්‍රණයේ ස්වරූපය මත. ඉතින් මේක කොයි කොයි ආකාරයෙන් සම්මිශ්‍රණය වීම තුළින් විවිධ විවිධ පාට වර්ග සැදෙනවාද කියන කාරණාව බුදු රජාණන් වහන්සේට නම් පැහැඳිළිවම දකින්නට පුළුවන්. අන් අයට ඒක කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. එතකොට ඒ වර්ණය කියන එක උපාදාය රූපයක්. ඒ වගේම මේ රූපවල තියෙනවා යම්කිසි ගඳ සුවඳක්. ගන්ධයක්. ඒ ගන්ධය කියන එකත් උපාදාය රූපයක්, ඒක හැඳෙන්නෙත් ඒ ධාතු කොටස් වල සම්මිශ්‍රණය තුළින්. ඊළඟට රසයක් තියෙනවා මේ රූප කොටස් වල. ඒ රසයත්, ඒ වගේම ඕජාවත් තියෙනවා , ඒ ඕජාවත් කියන කොටස් හතරත් මෙම රූප නිසා හටගන්නා උපාදාය. ඒක නිසා හටගන්නා රූප. එතකොට අපේ ශරීරය අනුව බලනකොට ඇහැ තියනවා, චක්ඛු ඉන්ද්‍රිය කියන්නෙත්, චක්ඛු ප්‍රසාද රූපය කියලා කියනවා. ඇහේ තියනවා ප්‍රසාද ගතියක්, ඔපමට්ටම් ගතියක්. මේකත් මූල ධාතු හතරෙන්ම ඇතිවෙච්ච උපාදාය රූපයක්. කනෙත් තියනවා එවැනි ප්‍රසාද ගතියක්, නාසයෙත් තියනවා ,දිවෙත් තියනවා, මුළු ශරීරයෙත් තියනවා. චක්ඛුප්‍රසාද, සෝතප්‍රසාද, ඝානප්‍රසාද, ජිව්හාප්‍රසාද, කායප්‍රසාද වශයෙන් ඒවා හඳුන්වන්නේ. ඒ ප්‍රසාද රූපත් සෑම එකක්ම උපාදාය රූප වශයෙන්මයි හැඳින්වෙන්නේ. 

ඊළඟට ස්ත්‍රි භාව රූප, පුරුෂ භාව රූප කියලා ,ස්ත්‍රියකගේ මුළු ශරීරය පුරාම තියෙනවා ස්ත්‍රී භාව රූප. පුරුෂයකුගේ මුළු ශරීරය පුරාම තියනවා පුරුෂ භාව රූප. මේ භාව රූප දෙකත් උපාදාය රූප, ඒ කියන්නේ මූල ධාතු හතර නිසා හටගත් දේවල්. ඊට අමතරව අපේ කයේ සැහැල්ලු බාවයන්, මෘදු බාවයන් ,කර්මන්‍යතා බාවයන් , ඒ වගේම ජීවිතේන්ද්‍රිය රූප ආදී රූප කොටස් තිබෙනවා. මේවත් සෑම එකක්ම උපාදාය රූප. එතකොට අර මුලින් කී මූල ධාතු හතරයි, පසුව කී උපාදාය රූපයි ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි රූප කියලා අපි කියන්නේ. මේ රූපස්කන්ධයේ ස්වරූපය අවබෝධ කරගන්නට ඕන, නාම රූප වෙන් වශයෙන් දකින්නට ප්‍රථමයෙන්.

රූපස්කන්ධයේ ස්වරූපය කියන කොට මේවා මූල ධාතු හතර, පඨවි,ආපෝ, තෙජෝ, වායෝ වශයෙන් දැකීම පමණක් නෙවෙයි , මේවා ඇතිවීමේ හේතු තියනවා, ඒක දකින්නට ඕන. විශේෂයෙන්ම රූපස්කන්ධය ඇතිවීමේ හේතු හතරක් දක්වා තිබෙනවා පොත්වල. කර්ම, චිත්ත, සෘතු, ආහාර කියලා. කර්මය නිසා හටගන්න රූප තියනවා මේ ශරීරයේ. ඒ වගේම සිත නිසා හටගන්නවා රූප.සෘතු- සීත, ඌෂ්ණ දෙක නිසා රූප හටගන්නවා.ආහාර නිසා, කන බොන ආදී ආහාර නිසා මේ රූප හටගන්නවා. ඒකම ඕන නම්, කබලිංකාර ආහාර, විඤ්ඤාණ ආහාර, ඵස්ස ආහාර, මනෝ සංචේතනා ආහාර, වශයෙන් දක්වන්නටත් පුළුවන්. ඒ තුළින් රූප හටගන්නා ආකාරය දකින්නට ඕන. රූප සමුදය කියන්නේ ඒකටයි. එතකොට රූපය හරියට තේරුම් ගන්නට නම් රූප සමුදය තේරුම් ගන්නට ඕන. රූප සමුදය තේරුම් ගන්නේ අන් කිසිවක් නිසා නොවෙයි මේ රූපය කෙරෙහි ලෝක සත්වයා මුලා වෙනවා "මේක මමය, මේක මගේය, මේක ආත්මයක් " ආදී වශයෙන්. සත්‍ය වශයෙන්ම හේතුන් නිසා හටගන්නා ඵල ධර්මතාවයක් කියන පැහැඳිළි අවබෝධය ඇතිවෙනකොට මේක මම මගේය, ආත්මයක්ය කියලා ඒ විදියට ග්‍රාහණය කරන්නේ නෑ, ඒ නිසයි රූප සමුදය දකින්නට ඕන. 

මතු සම්බන්ධයි. 

අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...