Friday, March 27, 2020

ප්‍රඥාව උපදවන මඟ - ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති, ශාස්ත්‍රපති, රාජකීය , පණ්ඩිත කොත්මලේ කුමාර කස්සප හිමි













‘විවිච්චේහි කාමෙහි , විවිච්චේහි අකුසලෙහි’ කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව ‘සවිතක්ඛ සිවිචාර ‘ විවේකයෙන් උපන් ප්‍රීති, සුඛ ඇති ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. කවුද? ඉහත සඳහන් අයුරින් සිල්වත්, වුණ, හුදෙකලාව තමන්ගේ සිහිය වඩන්නට පුරුදු වුණ, නීවරණ දුුරු කරන්නට පටන් ගත්ත පුද්ගලයා ප්‍රථම ධ්‍යානලාභියෙක් වුණා. 

ඒ තැනැත්තා ප්‍රථම ධ්‍යානය ලබා ගත්තා යැයි කියන්නේ, ඒ තැනැත්තා තීරණය කරනවා, ‘ ඉදම්පි වුච්චති බ්‍රාහ්මණ, තථාගතපදං ඉතිපි, තථාගතනිසෙවිතං ඉතිපි තථාගතා රඤ්ජිතං ඉතිපි නත්මෙවතාව අරිය සාවකො නිට්ඨං ගච්ඡති සම්මා සම්බුද්ධං භගවා ස්වක්ඛාතො භගවතා ධම්මො සුපටිපන්නො භගවතො සාවක සංඝොති’ මෙය ඉතාමත්ම වැදගත් තැනක්.

ප්‍රථම ධ්‍යානලාභී වෙනවිට මේ තමයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඥාන පද නො වෙයි. තථාගත පද යි. මෙය තමයි, තථාගත නිමේශිතය, තථාගත පදයක් මෙය. තථාගතයන් වහන්සේ විසින් සිද්ධ කළ දෙයක්. තථාගතයන් වහන්සේ ඇසුරු කළ තැනක් මෙය. නමුත් එතැනින් පමණක් ඇත් පියවර දෙස බැලූ පමණින් ඇතුන් සොයන්නා යම් අදහසකට පත් වුවත් නැහැ වගේ ධ්‍යානයක් ලැබුණා කියලා, අපට තීරණය කරන්නට බැහැ, අප සිටින තැන පිළිබඳව. එයා තව දුරටත් තීරණය නොකර ධර්ම මාර්ගය තුළ ගමන් කරනවා. එවිට එයා දුතියධ්‍යානලාභී වෙනවා. නමුත් පෙර සේ ම යම් අදහසකට නොපැමිණ. එයත් තථාගතයන් වහන්සේ වැඩපු ස්ථානයක් යනුවෙන් දෙවන තථාගත පදය යනුවෙන් දැන ගන්නවා. ප්‍රථම ධ්‍යානයට , චතුර්ථ ධ්‍යානයට පත් වෙනවා. මේවා ද තථාගත පද යි. දැන්, තථාගත පද සතරයි. ධ්‍යාන සතරට.

ඉන්පසුව මෙලෙස සිත එකඟ කරගත් තැනැත්තා සිතේ උපක්ලේෂ දුරුවුණාට පසුව පුබ්බේනිවාසානුස්සති ඥානය, අතීතය පිළිබඳ පෙර විසූ කඳ පිළිවෙළ දැකීම පිණිස සිත මෙහෙයවනවා. එවිට ඒ උතුමාට එයත් තථාගත පදයක් විලස පෙන්වා දෙනවා.

එවිට තථාගත පද පහ යි. ඊටපසුව චුතූපපාත ඥානය පිළිබඳව සත්ත්වයන්ගේ චුතීය උප්පත්තිය පිණිස අදහස යොමු කරනවා. එය ද තථාගත පදයක්. එවිට තථාගත පද හයක් වෙනවා. ඉන්පසුව ආසවක්ඛය ඥානය පිළිබඳව සිත යොමු කරනවා. ආසවක්ඛය ඥානයේ දී ඒ තැනැත්තා ‘සො ඉදං දුක්ඛං යථාභූතං පජානාති’ මෙය දුකක් ය යනුවෙන් දැනගන්නවා. ‘අයං දුක්ඛ සමුදයොති යථාභූතං පජානාති’ මේ දුක්ඛ සමුදය යනුවෙන් දැන ගන්නවා. ‘අයං දුක්ඛ නිරොධොති යථාභූතං පජානාති’ මේ දුක්ඛ නිරෝධය යනුවෙන් දැන ගන්නවා. ‘අයං දුක්ඛ නිරොධගාමිණි පටිපදාති යථාභූතං පජානාති’ දැන් අප පැමිණියේ බොහොම වැදගත් තැනකට. ඒ තමයි, දැන් සිත සීලය තුළ පිහිටියා, ඉන්පසුව සිත සමාධිය තුළින් එයා දියුණු කළා, නීවරණ ප්‍රහාණය කර ගත්තා, නීවරණ ධර්මයන් යටපත් කර ගත්තා. එවිට නීවරණයන් මෙලෙස තාවකාලිකව යටපත් කරගෙන සිටින කෙනාට එයා දකිනවා, ප්‍රඥාව උපදවන මඟ. ඒ තමයි, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන තැන.

චතුරාර්ය සත්‍ය ධර්මයත් අප වෙනම කථා කළ යුතු දීර්ඝ මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් අපට හොඳට පැහැදිලි යි, දැන් මේ තථාගත පද පමණයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, නැතිනම් බුදුරජාණන් වහන්සේ කොහේවත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ දී දේශනා කර නැහැ, ‘සංදස්සෙති, සමාධපෙති, සමුත්තෙජෙති, සංපහංසෙති වචන ටික බුදුරජාණන් වහන්සේගේ දේශනයක් නො වෙයි. එය පැවසුවේ පිලෝතික බ්‍රාහ්මණ තුම යි. ඒ නිසා යම් කෙනෙක් අර්ථ විවරණයක් ඉදිරිපත් කරන්නට හදනවානම්, මෙය බුද්ධ දේශනාව, මෙය සංදේශනාවක් යනුවෙන් එයට පෙන්වන චුල්ලහත්ථිපදොපම සූත්‍රය උධෘත කර පෙන්වනවා නම්, එය ම වැරැදිලා. කොතැනකදිවත් බුදුරජාණන් වහන්සේ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් සං දේශනා දේශනා කළේ නැහැ. ත්‍රිපිටකයේ කොතැනකවත් සං දේශනාව විස්තර කළ, විග්‍රහ කළ කිසිම තැනක් දක්වන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එවිට අපට පේනවා, සං දේශනාව යනුවෙන් ‘ සං’ යනු එකතු කරගන්නා දේ ය යනුවෙන් ඉදිරිපත් කරන මේ මතවාදය ඉතාම වැරැදි' යි බොහෝ දෙනෙක් අධර්මයට ඇද දමන, වැරැදි විග්‍රහයක් යනුවෙන් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉතා ම වැදගත් දේ මෙලෙස චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඇසුරු කරනවානම්, ඔබටම මෙහි කියා තිබෙන කථාව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. මෙය ඇත්තේ මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි භාගයේ ඕපම්ම වග්ගයේ එන සත්වෙනි චුල්ලහත්ථිපදෝපම සූත්‍රයේ ය.
අප ඉදිරියේ දී චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව සාකච්ඡා කරමු.

නමෝ බුද්ධාය...!!!
තෙරුවන් සරණයි

No comments:

Post a Comment

පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...