Wednesday, March 28, 2018

ධම්ම පදය:සහස්ස වර්ගය(දහස ගැන වදාළා කොටස)



සහස්සමපි චේ වාචා - අනත්ථ පද සංහිතා
එකං අත්ථ පදං සෙය්‍යො - යං සුත්වා උපසම්මති

මෙලොවත් පරලොවත් අයහපතට හේතු වන වචන දාහක් දෙඩුවත් කිසි වැඩක් නෑ. ඒ වුණත් අර්ථවත්, එක ම එක වචනයක් අහලා ජිවිතය සංසිඳෙනවා නම් අන්න ඒ වචනය තමයි උතුම්

(වේළුවන අසපුවේ දී තම්බදාඨික අරභයා වදාළා ගාථාවකි.)


මේ සංසාරයේ සත්වයා බැඳිලා ඉන්නෙ, මේ සසත්වයාගේ  බන්ධනය ගෙතිලා තියෙන්නේ,  සිතිවිලිවලින්. සිතිවිලිවලින් ගෙතිච්ච බන්ධනයකිනුයි සංසාර සත්වයා බැඳිලා ඉන්නෙ . ඒක නිසා මේ බන්ධනයෙන් මිදීමට නම් සිතිවිල්ලේ ස්වභාවය, සිතිවිල්ල කොහොමද කියන එක, ගැන යම්කිසි අවබෝධයක් ලබාගත යුතුව තිබෙනවා. ලෝකයේ ඇති තාක් දේවල් අපි හඳුනා ගන්න උත්සාහ කරන්නේ සිතිවිල්ල  මාර්ගයෙන්. නමුත් සිතිවිල්ල හඳුනා ගන්න එක ලේසි පහසු වැඩක් නොවෙයි. අවිද්‍යාවෙන් වැහිලා,තණ්හාවෙන් බැඳිලා සංසාරයේ දුවන සත්වයාට සිතිවිල්ල ගැන හිතන්න, සිතුවිලි හඳුනාගන්න පහසු නෑ.අන්න ඒ ටික පෙන්නුම් කරලා දෙන්නයි තිලෝගුරු බුදුපියාණන් වහන්සේ කෙනෙක් ලොව පහළ වී වදාරන්නේ.

සිතුවිලි බන්ධනය ඉතාමත්ම සියුම් බන්ධනයක්. ඒ වගේම මේ බන්ධනය වෙන කෙනෙකුට කඩන්න බෑ. තම තමන්ම තේරුම් අරගෙන තම තම නැණ පමණින් තෝරා බේරාගෙන කඩා ගත යුතු, ලිහාගත යුතු බන්ධනයක්. බුදු කෙනෙකුට  කරන්න පුළුවන් වෙන්නේ මේක පිළිබඳව මේකට උපකාර වන යම්කිසි  ඉඟියක් දීම පමණයි. බුදු පියාණන් වහන්සේ දේශණා  කරන ධර්මය තුළ තිබෙන්නේ එ ඒ පුද්ගලයාගේ චරිතානුකූලව මේ සිතිවිලි බන්ධනයෙන් තමන්ම මේක කොහොම හරි ලිහාගෙන, මේක කඩලා දමලා ඒ උතුම් අමා මහ නිවනින් සැනසීමට පත් කරන අවස්ථාව සලසා ගන්න ඉඩ දීමයි. එක තුළ ඒ සිතිවිලි  කඩා ගන්න ඉඟිය ඇතුල්වෙලා තිබෙනවා. එතකොට යම්කිසි කෙනෙකුට ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරන එක ගාථා පදයකින් නමුත් මෙන්න මේ බුදුපියාණන් වහන්සේ දෙන ඉඟිය හරියාකාරව තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒ තැනැත්තා ධර්මය තේරුම් ගත්තා වෙනවා. නිවන් දැක්කා වෙනවා.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි

Sunday, March 25, 2018

මුහුදේ පාවෙන නැව් මිනිස්සු ට 🚹  එහෙ මෙහෙ යන්න තියෙන්නේ.


ගංගාවේ එහා මෙහා සැරිසරන බෝට්ටුව එහා මෙහා සැරිසරන අයටයි අයිතියි.වතුරේ ඉන්න මාළුන්ට 🐟  නොවෙයි.

ඒ වගේම අධර්මය කැමති ලෝකයාට නෙවෙයි මේ ධර්මය තියෙන්නේ,සසරින් එතෙර වෙන්න කැමති ලෝක ප්‍රජාවටයි.

ගුණයකට හිනාවෙන 😃  ලෝකයකයි 🌎  අපි ඉපදිලා ඉන්නේ.

අපේ දරුවන් ට ධර්මයම යි ලබා දිය යුත්තේ.එවිට ඔබ ඔබේ යුතුකම් කොටස ඉෂ්ට කලා වෙනවා.එසේ නොකළොත් දරුවෝ ඔබට ලස්සන මිනි පෙට්ටියක් දෙවී දරුවන් ට ලැජ්ජාවෙන් 😳 බේරෙන්න.ලොකු මල් ශාලාවක තියලා විඩියෝ ව සහිතව උත්සවය කරාවී තැටියකුත් හදාවි ඇපෙන් බේරෙන්න.නමුත් ඒ සියල්ලම හිස් ලෝකයේ හිස් දෙවල් වලට එකතුවන දේවල් බව කලින්ම කියලා දෙන්න.

අපි ලඟ නැති ගුණ අපේ දරුවන්ගෙන් 🚼 පතන්නේ කෙසේද ?


ධම්මපදය:3.35: සිත ගැන වදාළා කොටස (චිත්ත වර්ගය )



ධම්මපදය 3.35

දුන්නිග්ගහස්ස ලහුනෝ-යත්ථ කාමනිපාතිනෝ

චිත්තස්ස දමථෝ සාධු - චිත්තං දන්තං සුඛාවහං

මේ "සිත" කියන්නේ නිග්‍රහ කරලා දමනය කරන්නට අමාරු දෙයක්. එක මොහොතකින් වෙනස් වෙනවා. ආස කරන දේට ම යි ඇදිලා යන්නේ බඳු සිත දමනය කර ගැනීම කොයි තරම් හොඳ දෙයක්ද දමනය කළ සිතින් මහා සැපයක් ලබන්ට පුළුවනි.

සැවැත් නුවර එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි

Dhammapada 3.35

Wonderful it is to train the mind,
so swiftly moving, seizing whatever it wants.
Good is it to have a well-trained mind,
for a well-trained mind brings happiness.

The Story of a Certain Bhikkhu



මරණින් පසු කොයිබටද ?


දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න එන බමුණෙක් බුදුරජාණන් වහන්සේ ගෙන් අහනවා ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ළඟට දැන් බොහෝ පිරිසක් ධර්මය අහන්ට එනවා ස්වාමීනි මේ දහම අහන මිනිස්සු ඔක්කොම ඔබ වහන්සේ ඔය කියන නිවන සාක්ෂාත් කරනවා ද ඔබ වහන්සේ ඔය කියන ජාතියේ සදාකාලික සැපය ඇති අමා මහා නිවන සාක්ෂාත් කරනවා ද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පින්වත් බමුණ දහම් අසන සියල්ලෝ නිවන් දකින්නෙ නෑ කිව්වා. මම දේශනා කරන දහම පුරුදු කරන අය විතරක් නිවන් අවබෝධ කරනවා කියනවා. එතකොට බමුණා අහනවා එහෙනම් ස්වාමීනී ඔබ වහන්සේගේ ධර්මයෙන් වැඩක් නෑ නොවෑ. එතකොට දැන් කීප දෙනෙක් විතරක් නිවන් දකිනවා නම් බණ අහන  අය සියල්ල නිවන් දකින්නේ නැත්නම් ඒකට ඔබ වහන්සේ වග කියන්න ඕනේ නේද කියලා ඇහුවා.එවේලාවේ  බුදුරජාණන් වහන්සේ මේ කාරණාව හරියට හරි ලස්සනට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේ සංසිද්ධි වලදී බුදුරජාණන් වහන්සේ තරම් ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න දක්ෂ කෙනෙක් හිටියේ නෑ. දැන් අපෙන් එහෙම ඇහුවා නම් ඕකට අපට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. බුදුරජාණන් වහන්සේ ආපහු මනුෂ්‍යාගෙන් ම ප්‍රශ්න අහලා මනුෂ්‍යයාගේ ම උත්තරවලින් ප්‍රශ්නය විසඳලා දෙනවා. බමුණෝ ඔබ කොහේ ඉඳලද ආවේ කියලා ඇහුවා.එතකොට කිව්වා ස්වාමීනී මම සැබෑ සැවැත්නුවර ඉඳලා ආවේ කිවුවා. බමුණ දැන් ඔබ කොහෙද ඉන්නේ කියලා ඇහුවා. ස්වාමීනී මම දැන් රජගහනුවරයි ඉන්නේ කියලා කිව්වා.බමුණ ඔබ රජගහ නුවර ඉඳලා සැවැත් නුවරට යන පාර හොඳට කියන්න දන්නවද කියලා ඇහුවා. එතකොට කියනවා ස්වාමිනි මට මෙතන ඉඳගෙන ඇස් පියාගෙන වුණත් සැවැත් නුවරට යන පාර කියන්න පුළුවන් කියනවා.එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා අහනවා එහෙනම් බමුණා අපි හිතමු ඔබ ගාවට දෙන්නෙක් එනවා. සැවැත්නුවරට යන පාර ඔබෙන් අහනවා. ඔබ ඒ දෙන්නටම එකම විදිහට සැවැත් නුවරට යන පාර ගැන කියල දෙනවා.මෙතනින් හැරෙන්න. මෙතනින් කෙලින් යන්න. මෙතනින් පහලට යන්න. මෙතනින් මේ මේ විදිහට වෙන්න කියලා ඔබ ඔන්න පාර කියනවා. පාර කිව්වට පස්සේ බමුණ, ඔන්න එක මනුස්සයෙක් ඉන්නවා ඒ මනුස්සයව ඔබ කියපු විදිහටම ඔබ කියපු තැන්වලින් හැරි හැරි ඔබ කියපු තැන්වලින් එතෙර වෙවී ඔන්න සැවැත් නුවරට යනවා කියනවා. පින්වත් බමුණ දෙවැනි මනුස්සයා ඉන්නවා කියනවා. ටිකක් දුර ගිහිල්ලා ඔය බමුණා කියපු දේ මං කරන්න ඕන නෑ මටත් බැරුවා යැයි පාර හොයාගන්නට කියලා ඔන්න ඔබ කියපු පාරෙන් වෙන පැත්තකට හැරිලා  ඒ මනුස්සයට ඕන පාරක යනවා කියනවා. බමුණ අන් ඒ මනුස්සයා සැවත්නුවරට යනවාද කියලා ඇහුවා. ස්වාමීනි, ඒ මනුස්සයා නම් සැවැත් නුවර යන්නේ නෑ කිව්වා. බමුණා ඇයි  ඒ මනුස්සයා සැවත්නුවර යන්නේ නැත්තේ. ස්වාමීනි මං කියපු පාරේම මේ මනුස්සයා ගියේ නෑනේ. ඒ නිසා සැවත්නුවරට යන්න විදිහක් නැ කිව්වා.බමුණ එහෙනම් සැවැත්නුවරට ඒ මනුස්සයා නොගිය එකට ඔයා වග කියන්න ඕන නේද ? කියලා ඇහුවා.ස්වාමීනී මම මොකටැයි ඒකට වගකියන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ඇයි බමුණ දැන් ඔබනේ පාර කිව්වේ.ඉතින් දැන් ඒ පාර කියපු මනුස්සයා වැරදිනේ. පාර කියපු මනුස්සයා එපැයි වගකීම බාරගන්න කිව්වා.ඊට පස්සේ කිව්වාලු ස්වාමිනි මම හරියට පාර කිව්වා. මේ මෝඩයා මඟදි හැරුණානේ ස්වාමිණී. එහෙම නොවෙනට මේ මනුස්සයත් සැවැත්නුවරට යනවා කිව්වා.මොනවා කරන්නද ස්වාමීනි මේ මනුස්සයගේ මෝඩකමක මහත මේ මෝඩයා මගදී මං කියපු පාරේ යන්නේ 
නැතිව වෙන පාරක හැරුණා  නොවෑ කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාලු  බමුණ ඔය වගේම තමයි  මමත් දෙවියන්ට මිනිස්සුන්ට බමුණ්ට නිවන් දකින මග දේශනා කළා කිව්වාලු. පින්වත් බමුණ මං කියපු විදිහට පුරුදු කරපු අය ඒ අමා මහ නිවන සාක්ෂාත් කළා කියල. යමෙක් ඒ විදිහට හරි ඉදිරියට පුරුදු කරනවා ද එ අය අමා මහ නිවන සාක්ෂාත් කරනවා කිව්වා. බමුණ මෝඩයෝ වැරදි පාරෙ ගියාට මම මක් කරන්නද ?  කියලා ඇහුවාලු.අනන්ත සසරේ බුදුවරු ළඟ අපි මෝඩයෝ වගේ හැරිලා ගිහිල්ලා හින්දා නැද්ද මෙතනත් ඉඳන් ඉන්නේ. අනන්ත සසරේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන දහම අහලා අපිත් ඒ විදියටම පිළිපැද්දා නම් අපි මෙලාහට බුද්ධශාසන කිහිපයකට කලින් පිරිනිවන් පාලා. පින්වත්නි අපිත් මෝඩයෝ වගේ බුදුවරු කියපු පාරේ යන්නේ නැතුව වැරදි පාරවල් වල ගියා. ඒ නිසාම අපිට වැරදුනා. ඒකට බුදුවරු වග කියන්ට ඕනෙ නෑ. මෝඩයෝ වගේ හැරුණේ අපි නිසා. ඒකට වැරදි කාරයෝ අපි මිස මේ දහම දේශණා කරපු බුදුරජාණන් වහන්සේලාත් නෙවේ. මේ දහමේ වැරැද්දකුත් නෑ .මේ දහම කියලා දුන්න සංඝයාගේ දොසකුත් නෑ. කරන කෙනා හරියට කළා ප්‍රඥාවන්තයන් සාක්ෂාත් කළා ඒ අමා මහ නිවන. නේද ? ප්‍රඥාවන්තයන් එ අමා මහා නිවන සාක්ෂාත් කළා.සසරේ මෝඩකම් වල මහතට අපි තාම සංසාරේ යනවා. ලැජ්ජ නැතුව අපි තාමත් කියනවා නේද .බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ

 " වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ"

 මහණෙනි නැසෙන වැනසෙන  සියල්ලම නැසෙන වැනසෙන ස්වභාවයෙන් යුක්ත සියල්ල නැසෙන වැනසෙන නිසා අනිත්‍ය වෙලා යන නිසා අප්‍රමාදි වෙන්ට කියලා අවවාද කළා.

මහණෙනි මම සංඝයාට කියන්නේ සාරිපුත්ත වගේ වෙන්ට මහා මොග්ගල්ලාන මගේ වෙන්ට කියලා.  මහණෙනි මම භික්ෂුණීන්ට කියන්නේ ඛේමා උප්පලවන්නා වගේ වෙන්ට කියලා. මහණෙනි මම උපාසකයින්ට කියන්නේ උග්ග සිටුතුමා වගේ වෙන්ට. මම උපාසිකාවන්ට කියන්නේ ඛුජ්ජුත්තරා වගේ වෙන්න.වේළුකණ්ටකී නන්දමාතා වගේ වෙන්ට කියලයි.ඔන්න බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කරපු විදිය. කවදාවත් ගෞතම බුදුරජාණන් වහන්සේ විශාඛාව වෙන්ට කියලා නෑ. සුජාතා වගේ වෙන්ට කියලා නෑ. එහෙම දේශනාවක් නෑ අසූහාරදහසක් ධර්මය තුළ. හැබැයි දේශනාවේ තියෙනවා මහණෙනි ගිහියෙක් නම් පිරිමියෙක් නම් එයා උග්ග සිටුතුමා වගේ වෙන්ට ඕනෑ.  ඒක තමයි ආදර්ශය. එයා උග්ග සිටුතුමා වගේ වෙන්න ඕනා.එයා ආනාගාමී වෙලා ඉන්නේ කාම ලෝකයට එන්නේ නෑ. මැරිලා බඹලොව ඉපදිලා පිරිනිවන් පාන කෙනෙක්. ගිහිගෙහි තියෙන  උපරිම තැනට ගියපු කෙනෙක් ගැහැනු කෙනෙක් නම්, කාන්තාවක් නම්, උපාසිකාවක් නම් එයා වේළුකණ්ටකී නන්ද මාතාව වගේ වෙන්ට. මුළු රජගෙදර බිම ඉන්ඳපු ඛුජ්ජුත්තරා නම් දාසිය වගේ වෙන්ට. රජගෙදර දාසි සිංහාසනයේ ඉඳගෙන රාජ රාජ මහාමාත්‍යවරු බිම ඉන්දවලා බණ කිව්වේ. ඒ මොකක් නිසාද ? ගාම්භීර දහමක් දේශනා කරන නිසා. එදා එයා අනාගාමී ආපහු කාම ලෝකෙට එන්නෙ නෑ.ඒ නිසා ආදර්ශය ගිහියාට ඒ වගේ චරිත. කොහෙවත් බුදු කෙනෙක් දේශනා කළේ නෑ සුජාතාව වෙන්ට. සුමනා වෙන්ට. බන්දුල-මල්ලීකාව වෙන්ට. එහෙම නැත්නම් විශාඛාවෝ වෙන්ට. එ අය  සෝතාපන්න ශ්‍රාවිකාවෝ. ඒ අය සෝතාපන්න වෙලා හිටියා හැබැයි එයාලගේ ජීවිත 7 ක් ප්‍රමාදයි. 7 ක් යනකන් ප්‍රමාද වෙනවා. බුදු කෙනෙක් කවදාවත් කිව්වෙ නෑ.එහෙත් අපි පැතුවා නේ විශාඛා සුමනා බන්දුල-මල්ලීකා වෙලා මෙතේ බුදුන් දැක එකම ධර්ම මණ්ඩපයක නිවන් දකින්න පැතුවා නේ අපි. බුදු රජාණන්  වහන්සේ එහෙම දේශණා කරලා නෑ පින්වතුනි.පුළුවන් තරම් ඉක්මනට නිවන්  දකින්න කිව්වේ. මෛත්‍රි බුද්ධ ශාසනයක් පතන්නවත් කියලා නැහැ කොහෙවත්. එ නිසා   අපි කාශ්‍යප බුද්ධ ශාසනයෙදි ගෞතම බුද්ධ ශාසනය පැතුවා. දැන් අපි මෛත්‍රි බුද්ධ ශාසනය පතනවා.ෂුවර් එකටම මෛත්‍රි බුද්ධ ශාසනයකදි අපේ ඇත්තෝ ඊළග එක පතනවා.ගෙවල් වල දොරකඩ ගහලා තියෙනවා බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා.යකෙක් බය කොරන්ට.එක ගගනවාට වඩා හොඳයි ඔය කියන අය ගහ ගන්න ඕනේ කොහොමද ?
මේ බුද්ධ ශාසනය නෙවේ ලබන සැරේ.ඊලඟ එකෙත් ගහනවා මේකේ නෙවේ ලබන සැරේ.විඳෝ විඳෝ යන්නේ ඔබ නිසා අපිට ඉතින් ප්‍රශ්නයක් නෑ.තම තමන්ම විඳවන්න එපැයෑ සංසාරේ යනකොට. එ නිසා බුදු රජාණන් වහන්සේලා දේශණා කරන්නේ අප්‍රමාදි වීම පිණිස දහමක්.මේ බුද්ධ ශාසනයේ ම නිවන් දකින්න දහමක්.සුන්දර දහමක්

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

මේ දේශණාව කන් යොමා අසන්න. මෙය නැවතත් සසරක සමහර විට අහන්න නොලැබෙන්න පුළුවන්.




Monday, March 19, 2018




"අපගේ මනස සාමකාමීව හා සන්තෝෂයෙන් පසුවන විට අපි සෑම දෙයක් පිළිබඳව  පරිපූර්ණ ලෙස පරික්ෂා කරනු ඇත."

ප්‍රශ්නය : "අපි අපේ මනස පාලනය කරගත යුතුයි" යයි පැවසුවද, බුදුන් වහන්සේ කියා සිටියේ 'සෑම දෙයක්ම අනිත්‍යය යයි' කියා අපට කිසිවක් පාලනය කළ නොහැකිය. එහෙනම් අපි අපේ මනස පාලනය කරන්න උත්සාහ කරනවා. ඒත් අපි දන්නවා අපිට කිසිම දෙයක් පාලනය කරන්න බැහැ කියලා.

අජාන් හිමියන්: "මනස පාලනය නොකරන තාක් කල්, මනස පාලනය කළ හැකිය. බුදුන් වහන්සේ කිව්වේ 'හැම දෙයක්ම පාලනය කරන්න බැහැ' කියලා. නමුත් උන්වහන්සේ එයින් අදහස් කළේ නැහැ මනස පාලනය කළ නොහැකි බව. "

ප්‍රශ්නය : "ඒකෙන් අදහස් කරන්නේ මනසකට ඒ හැකියාව ඇති බව ද ?"

අජාන්: "ඔව්, ඔබට මනස පාලනය කළ හැකිය. ඔබගේ මනසෙන් පිටත අන් සියල්ලම ඔබට පාලනය කළ නොහැකිය. ඔබේ ශරීරය මනස නොවේ, ඒ නිසා ඔබට එය පාලනය කළ නොහැකිය. කාලගුණය, ඔබට එය පාලනය කළ නොහැක. ඔබේ මුදල්, ඔබට එය පාලනය කළ නොහැක. ඔයාගේ බිරිද, ඔයාගේ ළමයි, ඔයාට ඒවා පාලනය කරන්න බෑ. නමුත් ඔබට කුමක් සිදු වුවද, මනස සන්සුන් කිරිමෙන් හා ඒ තුළින් උපදින සතුටෙන් ඔබේ මනස පාලනය කළ හැකිය.

අපි වැරදි දේවල් කරන්නේ. අපිට පාලනය කළ හැකි දෙයක් වුවත් අපි එය පාලනය කරන්නේ නැති නිසා.නමුත් අපිට පාලනය කළ නොහැකි දෙයක් පාලනය කිරිමට යාම තුළ අපි හැමවිටම කරදරයට පත්වන්නෙමු.එහිදී සිදුවන්නේ අපට පාලනය කළ හැකි දේ සහ අපට පාලනය කළ නොහැකි දේ අප නොදන්නා නිසාය. ඔබ යම් දෙයක් පාලනය කිරීමට අවශ්‍ය නම්, ඔබ ඔබගේ මනස පාලනය කරගත යුතු බව බුදුන් වහන්සේ වදාළා සේක.

ඔබේ මනසෙන් පාලනය කළ හැකි සෑම දෙයක්ම පරිපූර්ණයි. අන් සියල්ල පාලනය කිරීමට උත්සාහ කරන්නේ නම් කිසිවක් පරිපූර්ණ නොවේ. එබැවින්, ඔබට අවශ්‍ය සියල්ල පරිපූර්ණ කිරීමට අවශ්‍ය නම්, ඔබගේ මනස පාලනය කරන්න.

ඔබේ මනස සාමකාමීව හා සන්තෝෂයෙන් පිරුණු පසු, ඔබ සියල්ල පරිපූර්ණ ලෙස පරික්ෂා කරනු ඇත. ඇත්තටම! හැම දෙයක්ම පරිපූර්ණයි. මිනිස්සු අඬනවා, මිනිස්සු හිනා වෙනවා, හැමෝම පරිපූර්ණයි. මේ දේවල් තමයි. ඔබේ මනස පාලනය කළ හැකි වූ විට, ඔබට පෙනෙන දේ හෝ ඇසෙන දේ මගින් ඔබට හානියක් හෝ බලපෑමක් නැත.

අජාන් හිමියන් විසින් පැවත්වූ ධර්ම දේශණාවක් ඇසුරෙනි

Sunday, March 18, 2018

ජීවිතයේ සුලමුල පෙන්නන ක්‍රියාකාරී වේගය තමයි සිත කියලා කියන්නේ




ජීවිතයේ සුලමුල පෙන්නන ක්‍රියාකාරී වේගය තමයි සිත කියලා කියන්නේ.ජිවිතයේ ඇතුළේ තියෙන  ජීවිතය ඇතුළේ තියෙන  හොඳ - නරක තේරුම් ගන්ට ඕන සිතේ ස්වරූපය දෙස බලලා යි. නැතුව හෝදිසි කරන්ට බෑ.

යම්කිසි වාහනයක් යනකොට අමුතු ශබ්දයක් ඇහෙනවා නම් අපට තේරෙනවා වාහනේ මොකක් හෝ වරදක් තිබෙනවා. නවත්වලා බලන්නට ඕනෑ යි කියල. ඉතින් වරදක් තියෙනවා නම් තමන්ට දැනෙනවා වැරද්දක් තියෙන බව, හිතෙන් පෙන්වනවා ජීවිතය ඇතුළේ  එක්කාසු වෙලා තියෙන නරක ගති සහ හොඳ ගති. නරක ගති බහුල ව ඇති කෙනා ඒවා ක්‍රියා කරවන්ට ලෝකේ ඉඩක් හොයනවා. ඒක මනුස්ස කමට ගැලපෙන්නේ නැහැ. ඒක යුක්තියක් නොවෙ යි. ඒක අසාධාරණයක්. ලෝකේ හැටි ඔහොමයි. එච්චර එයා උනන්දුවක් දක්වනවා. එයාගේ බැරි කම තවත් බැරිකමට පත් කරන්ට. ඒ අර ධර්මවල බලපෑම. එයා ළඟ තිබෙන ධර්ම තවත් කෙනෙකුට අකුල් හෙළන ස්වරූප නිෂ්පාදනය කරනවා. ඒක එයාගේ වරදක් නොවෙයි. ධර්මවල හැටි.

තව කෙනෙකුගේ  සිද්ධියක් වෙනත් කෙනෙකුට ප්‍රශ්නයක් කර ගන්ට අවශ්‍ය නැහැ. මෙතන මේ දේශනාව මිස වෙන කිසිවක් ජීවිතේ නෑ. දුකෙන් නිදහස් වීම සඳහා මොකක් හරි කරන්නට අපි හිතුවා නම්, තාවකාලික වශයෙන් හෝ දුකෙන් නිදහස් වෙන්ට කරපු දැඟලිල්ලක් ඒක. ඒ වුණාට, දුකෙන් මිදෙන්ට ඕනෑ ය කියලා අපි කරන සෑම දැඟලිල්ලක් අස්සෙම තියෙනවා විඳින දුක වගේ විසි-තිස් ගුණයකින් වැඩි දුකක්. දුකෙන් මිදෙන්න හිතාගෙන අපි කරන වැඩ වල තියෙනවා දුක තවත් වැඩි කරන දෙයක්. කොහොමද කිව්වොත්, ගහකට නැගලා ඉන්න කෙනෙකුට හිතෙනවා දැන් දැන් ගහෙන් වැටෙයි දෝ කියලා බයක්. ඒකෙන් බේරෙන්න මිනිහා පනිනවා ගහෙන්. පැනල අත - පය කඩා ගන්නවා. ඔන්න ඔය වගේ නො තේරෙන වැඩ පිළිවෙලක්  ඔස්සේ, නොදන්නා ක්‍රමයක් අල්ලාගෙන අපි මේ ජීවිතය තල්ලු කරගෙන යනවා.බේරෙන හරි ක්‍රමය දන්නේ නැහැ. ඒ නිසා, දුක වැඩි කරගන්නවා. ඕක යි  අවිද්‍යාව. අපේ ළඟ තියෙන අවිද්‍යාව මොකක්ද ? අපේ සෑම සිතුවිල්ලක් පාසා ම අවිද්‍යාව තියෙනවා. මොකක්ද ඒ සිතුවිල්ලේ තිබෙන අවිද්‍යාමය ස්වරූපය ?

"මම අරෙහෙම කරන්ට ඕනෑ. අරෙහෙම වෙන්ට ඕනෑ. මම අසවල් වැඩේ මේ විදියට කරන්ට ඕනෑ." කියලා යමෙක් යම් වේලාවක හිතනවා නම්, ඒක තමයි අවිද්‍යාවේ එක ස්වරූපයක්. ඇයි එහෙම කියන්නේ  ?  එයා හිතුවාට කරන්න බෑ. එයා හිතන විදියට නොවෙයි කෙරෙන්නේ. ඒ වේලාවට  ඒ කාරණේට ඉදිරිපත් වෙන හේතු උඩ - ඒවාට තියෙන ශක්තියේ හැටියට - ඒක සිද්ධ වෙයි. එහෙම නැතුව, එයාට කරන්ට  බෑ. එහෙම එයාට කරන්නට පුළුවන් නම්, මේ ලෝකේ ඉන්න හැම දෙනා ම ජනාධිපති කෙනෙකු වෙන්ට හදනවා ඇති. නැත්නම් අගමැති වෙන්ට හදාවි. ඒවා එහෙම කරන්ට බෑ. ඒවා කෙරෙන අතරෙ කවුරු හරි අතෙන්ට ගිහින්  ඔළුවෙන් හිටගත්තොත් , ඒක ඒ මිනිහට ඒ වෙලාවේ කරන්නට තියෙන වැඩේ. අපිට කරන්න තියෙන වැඩේ අපි කරනවා. ඒක අපට වදයක් නම්, එයාට කියනවා 'අන්න අරෙහට ගිහිල්ල ඕක කරගන්නවා' කියලා. ඒක වෙනම යි. උදව් කිරීමත් උදව් කිරීමේ වගකීම බාර ගැනීමත් වෙනම යි.දැන් මම මෙතන්ට ඇවිල්ලා වාඩි වුණේ  මොකටද ? එතකොට මෙච්චර සෙනග හිටියේ නෑ. මේ අය උදව් ගන්ට යි මේ ඇවිල්ලා ඉන්නේ. කන් දී අහල මෙයින් ප්‍රයෝජනයක් ගන්නට උදව් ගන්ට යි. උදව් ගන්න මිනිහා  ගනීවි. ඒ උදව් වගකීම භාරගැනීම අපි සම්පුර්ණයෙන් අයින් කරන්ට ඕන. අපට වෙලා තියෙන්නෙ අපි ඒක බාර ගන්නවා. ජීවිතය පිළිබඳ විමසිලිමත් වෙන පුද්ගලයාට මේ අනුව පැති දෙකක් පේනවා.සංඛාර සහ විසංඛාර කියන දෙක.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පැවත්වූ ධර්ම දේශණාවක් ඇසුරෙනි

Saturday, March 17, 2018

කය තමන්ට ප්‍රිය බව පිළිබඳ මිළිදු රාජ ප්‍රශ්නය



මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

"ස්වාමීනි නාගසේනයන් වහන්ස, පැවිද්දන්ගේ කය ඔවුන්ට ප්‍රිය ද ? "

"මහරජාණෙනි, පැවිද්දන්ගේ කය ඔවුන්ට ප්‍රිය නැහැ."

"එසේ වී නම් ස්වාමීනී කවර කරුණක් නිසා පැවිද්දන් තම කය ගැන තෘෂ්ණාවෙන් සිටින්නේ ? මමත්වයෙන් සිටින්නේ ?

"කිම මහරජාණෙනි, කිසියම් අවස්ථාවකදී ඔබ යුද්ධයකට මැදි වූවහොත් හී පාරක් වුණත් වදිනවා නේද?"

"එසේ ස්වාමීනි, එහෙම වෙනවා."

"එතකොට මහරජාණෙනි, හී පහරින් ලත් ඒ තුවාලයට බෙහෙත් ගල්වනවා නේද ? තෙල් ගල්වනවා නේද ? සියුම් රෙදි පටින් වෙළනවා නේද ?"

"එසේය ස්වාමීනී, හී පහරින් වු තුවාලයට බෙහෙත් ගල්වනවා තෙලුත් ගානවා සියුම් රෙදි පටිනුත් වෙළනවා."

"කිම මහරජාණෙනි, ඔබට ඒ තුවාලය ප්‍රියයි ද ? ඒ නිසාද බෙහෙත් ආලේප කරන්නේ ? තෙල් ගාන්නේ ? සියුම් රෙදි පටින් වෙළන්නේ ?"

"ස්වාමීනි, ඒ තුවාලය මට ප්‍රිය  නැහැ.නමුත් තුවාලයෙහි මස් වැඩීම පිණිසයි බෙහෙත් ආලේප කරන්නේ. තෙල් ගාන්නේ. සියුම් රෙදි පටින් වෙළන්නේ."

"මහරජාණෙනි, ඔය විදිහම තමයි. පැවිද්දන්ට මේ කය අප්‍රියයි.නමුත් කයට ආලය කිරීමෙන් තොරව බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිසයි මේ කය පරිහරණය කරන්නේ. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය ගැන වදාරන ලද්දේ තුවාලයක් උපමා කරලයි. පැවිද්දන් ඒ තුවාලයක් බඳු කය නොඇල්මෙන් යුතුව පරිහරණය කරනවා. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්ස විසින් මෙකරුණ වදාරණ ලද්දේය."

අල්ලචම්මපටිච්ඡන්නෝ -  නවද්වාර මහාවණෝ

සමන්තතෝ පග්ඝරතෝ - අසූචි පුතිගන්ධියෝ

තෙත් වු සමකින් වැසී ඇති මේ කය වනාහි සෙම් සොටු මල මූත්‍රා ආදිය වැගිරෙන දොරටු නවයකින් යුත් මහා තුවාලයක් වැන්න.හාත්පසින් අසුචි වැගිරෙන මේ කය කුණු ගඳින් යුක්තය.

"ස්වාමිනී නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."

ස්වාමීන් වහන්සේ: මොකද ඔයා කට කොනකින් හිනා වෙන්නේ.මොකක්ද අහන්න හදන ප්‍රශ්නය.හිතේ තියාගෙන ඉන්න එපා. අහන්න අහන්න මම කැමතියි ප්‍රශ්න කරන එකට

ප්‍රශ්නය:

අවසරයි හාමුදුරුවනේ, දැන් ඔබ වහන්සේ කියපු හැටියට අපේ ගෙවල්වල වැඩ කටයුතු කරනකොට, ඉවසීමෙන්, අනිත් අයගේ යහපත සඳහා සියලු වැඩ කරන්න ඕන බවයි කියවුනේ. භාර්යාව ඉන්නවා දරුවෝ ඉන්නවා. ඒ ආකාරයෙන් කිසිම කථාවක් නැතිව කියන කියන දෙය වැඩ කරනකොට, අපේ ඒ වැඩ තව තව වැඩිවෙන එක නේ වෙන්නේ. අවසර ඒ අයගේ වැඩ කොටස අඩු වෙලා අපේ වැඩ තව තව වැඩි වෙනවා නේ ද ? නිදහසක් සැනසීමක් නැතුව ම යනවා නේ ද අවසර ?




ඒ මොකද දන්නවා ද මේ බණ නොදන්න කාලෙ නේ ඔයා කසාද බැන්දේ. මේක හරියට දැනගෙන හිටියනම් බඳින්නේ නැහැ. මේ බණ නොදන්න කාලෙ නේ ඔයා ලෝක ස්වභාවයට අනුව ඔය තත්වයට පත් වුනේ? නමුත් දැන් දන්නවා නේ. මේ සංසාර ගමනේදී මට සැනසිල්ල දෙන්න භාර්යාව  එන්නෙත් නැහැ.දරුවෝ එන්නෙත් නැහැ කියලා දැන් දන්නවා. දැන් ඉතින් වැරදිලා නේ ලෝකීය ස්වභාවයට එකතු වුනේ ? දැන් දැන ගන්න ඕන මට සංසාරයෙන් ගැලවෙන්න මෙහෙම ඉඳලා හරියන්නේ  නැහැ කියලා. බොහෝම ටික කාලය යි මට ඉතිරිව තියෙන්නේ. හුස්ම ටික ගිය හැටියේ ඉවරයි. මේ සසරින් ගැලවෙන්න උදව්වට  මට දරුවා එන්නේ නැහැ. භාර්යාව  එන්නෙත් නැහැ. මම ම කර ගන්නට ඕන දෙයක්.මේ දැන්  ගත කරන්නේ  තාවකාලික දෙයක්. අනික කාලාන්තරයකට වග කියන දෙයක්. මේ දරුවෝ භාර්යාව  මෙහාට ආවාට පස්සේ හමු වුන අයයි. ඒ අයට මගෙන් සියලු යුතුකම් ඉටු කරනවා. නමුත් නුඹලා නිසා මම නරකක් කර ගන්නේ නැහැ. නමුත්  නුඹලා නිසා උදව් කරගෙන මම නරක් වෙන්නේ නැහැ. ඒ නරක ගෙනියන්න වෙන්නෙ මට යි.නරක් වුනේ බැඳුණ නිසා යි. දැන් බැඳීම් අඩු කරමින්, ඉදිරියට ගුණ දියුණු කරනවා. ඒකම දිගට ගෙනියනවා. මේ තත්වයට  හැදුනට පස්සේ දරුවෝ නරකත් නැහැ.බිරිඳ නරකත් නැහැ. කවුරුත් හොඳයි. සිතේ මෛත්‍රී ගොනු වෙනවා. ඔය තීරණය වැටුනට පස්සේ ඒවායින්  එන දුක් ඔක්කොම ඉවරයි.ඒක බැරි කම මොකද දන්නවාද ? අර විරිය නැතිකම දැන් ඉඳන් හදන්න පටන් ගන්න. සමහර අය ප්‍රකාශ කරනවා දැන් ඉස්සර වගේ දුක් විඳින්නේ නැහැ කියලා. මම ඒ අයට සිතින් ගෞරව කරනවා. ගෞරව කරනව යි කියන්නේ බුලත් දීලා වඳිනවා නොවෙ යි  නමුත් මම ඒ අයට සිතින් ගෞරව කරනවා. මොකද ? මොන තරම් උත්සාහයක්,වෙහෙසක් අරගෙන ද  මේ අය මෙතනට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉස්සර හිටිය මිනිස්සු වැරැද්දක් වෙච්චහම බේරුම නොවෙයි හෙව්වේ. වැරැද්දට දඬුවම් මට දෙන්නෙ යි කියල යි ඉල්ලුවේ.ලෝකයේ එහෙම අනන්තවත් මිනිස්සු ඉඳලා  තියෙනවා  දඬුවම ගන්න පොර අල්ලමු. අන්න ඒ වාගේ මගෙන් ඒ වැරද්ද වුණා. කමක් නැහැ.ඒ වැරැද්දට දඬුවම මම විඳිනවා. පොල් ගෝනියටත් කර දෙනවා. අවශ්‍ය වුනොත්,  බර අදින්න වුනත් ඒකත් කරනවා. ඒවා අස්සෙන් මේ අලුත් තීරණයේ උදව්වෙන් නො බැඳුන තිරණය උඩ දුක් නො විඳ ඉන්නවා. සැනසිල්ල ලබනවා. දැන් හොඳ හැටියෙන්  තේරුම් ගත්තා ද මහත්තයා, ඔයාගේ ප්‍රශ්න කිරීම ඔච්චර ද ?

Sunday, March 11, 2018

අවසර ස්වාමීනි, යම් වෙලාවක දරුවාට පහරක් ගහලා අවවාදයක් දුන්නොත් ඒක වරදක්ද ?


ගහන්න ඕන නැහැ ඇයි ගහන්නේ ? ගහන්නේ අර බැඳීමේ තද කමට. තාත්තාගේ මට්ටමට පුතාවත් ගන්න ඕන නිසයි ගහන්නේ. යම් විදියකින් ඒ පුතාත් අර තාත්තා ගේ මානසික මට්ටමට ආවොත් අලි ජංජාලය යි වෙන්නේ. ඒ නිසා ඒ කඳුළයි වෙනස් කරන්න ඕන මොකක්ද ? මොන ම බලාපොරොත්තුවක් වත් නැහැ තාත්තා පුතාගෙන්. කළ යුත්ත කරනවා. යුතුකම් කොටස ඉටුකරනවා.එච්චරයි.එතකොට බැඳිම නැහැ. ඒ නිසා තමාට දුකක් නැහැ. ඒ විතරක් නොවෙයි. මුළු පවුලම සාර්ථක පවුලක් වෙනවා ඇති. එහෙම නැතිව තාත්තා කේන්ති ගත්තොත්, කුණු පොදිය අවුස්සා ගත්තා වෙනවා. භාර්යාවගේ,පුතාගේ දුවගේ ප්‍රශ්ණ අල්ලාගෙන තමා ගේ කුණු පොට්ටනිය අවුස්සාගෙන හැමතැනම ගඳ ගසමින් දුක් විඳින එකයි  තියෙන්නේ. දැන් මහත්තයට තේරුණා ද  පිළිපදින හැටි ? ඒ තාත්තාගේ  තියෙනවා කේන්ති යන  කෑල්ලක්. ඒක එයා හෙමිහිට හදා ගත්තොත්, මෛත්‍රිය සිතට හුරු කරගත්තොත්, ඉවසීමෙන් ප්‍රශ්නයට මුහුණ දෙන ශක්තිය හැදෙනවා ඇති. බුදු දහමේ උගන්වන්නේ, ඒකට මෛත්‍රියයි. බුද්ධාගමේ  නොවෙයි  ඒක කාටත් සාධාරණ එකක්.කේන්ති යන ගැජට් එක තියෙන්නේ රත්වෙන නිසා යි. ඒක නිසා මෛත්‍රිය එතැනට දාලා සිත නිවන එකයි කළ යුත්තේ.ඔය රත්වීම  එයාට විතරක් නොවෙයි , මා ඇතුළු අපි සියලු දෙනාටම තියෙනවා. ඒක කාටත් සාධාරණයි . එබැවින් අපි මේවා අහලා දැනගෙන , ඒ රත්වීම නිවන ක්‍රමය ඉගෙන ගන්න තමයි මේ කතා කරන්නේ.

රත් වෙනකොට නිවන්නට  වතුර දමනවා වගේ, තෙතමනය දෙනවා වගේ, කේන්ති සිතට මෛත්‍රිය නමැති තෙතමන නිතර එකතු කර කර පුරුදු කර ගන්නකොට,අන්න එයාගේ කේන්තිය ටික ටික අඩු වෙනවා. දැන් හොඳට තේරුණා නේද මහත්තයාට, පිළිපදින්න ඕන ආකාරය. "සද්ධාය තරතී ඕඝං " කිව්වේ  අර අදහස ආව හැටියේ අර කීවා වූ, ජීවිතය ඇතුළේ නා නා තරාතිරම්වලින් ගලා එන්නා වූ ඕඝයක් වශයෙන් ගලා එන ඒ කොටස ටික නිසා අර දුක් දෙන සංවිධාන ටික, නා නා ආකාරවලින් දුක් දෙන විට මේ ශ්‍රද්ධාව එතැනට දාපු හැටියේ ඒවා ඉපදෙන එක නවතිනවා. මේ විදිහට ඉපදෙන, ඉපදෙන එක සුද්ධ කරන කොට වෙන්නේ  මොකද්ද ? ක්‍රමානුකූලව සුද්ධ වෙවී  යන කොට අර පරමාණු හෙවත් රූපකලාපවල සකස් වෙන පැවැත්මට උදව් දෙන ඒ ශක්තිය ක්‍රමානුකූල ව අඩුවෙලා, අඩුවෙලා ගිහිල්ලා  එක්තරා අවස්ථාවකට පත්වෙනවා අර කාන්දම් නැති තාප්පයක් හැදිච්ච තත්වයකට. ශරීරයක් ඇතුළේ විතරයි ඒක හදන්න පුළුවන්. ලෝකයේ  වෙන කොහේවත් ඒක හදන්න බැහැ. මේ කාන්දම (කාමය) නැති තත්ත්වය හැදිච්ච හැටියේ අපි කියනවා කාමය නැහැ කියලා. කාමය හෙවත් කාන්දම නැති නිසා මේ හැදිච්ච එක වැඩ කරලා වැඩ කරලා ආයුෂය ගෙවිච්ච හැටියේ අවසන් වෙනවා. පැවැත්ම ඉදිරියට ගෙන යන්න අවශ්‍ය උෂ්ණත්වය නිපදවන්නේ නැති නිසා. පැවැත්ම ඉදිරියට ගෙන යන ශක්තිය දැන් නැහැ. එතනින් ඉස්සරහට ඕඝයක් නැහැ. එතකොට දැන් "කථංසු තරති ඕඝං " කිව්ව එකේ අර ගලායන ශක්තිය නැති කරපු නිසා,නැවත කාන්දම් නිෂ්පාදනයක් කරන ශක්තිය නැති නිසා එයාට දුක් දීමේ, දුක් විදීමේ අයිතිවාසිකමක් නැතිව යනවා. මෙතනින් පෙන්වන්නේ ඕඝය නවත්තන්න නම්, මගේ ජීවිතයේ  තියෙන දුක් නැති කරන ක්‍රමය  මතුකරන්න ඕන කියන එකයි.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පැවත්වූ ධර්ම දේශණාවක් ඇසුරෙනි

Wednesday, March 07, 2018

යමෙක් ජාතිවාදයෙන්, ගෝත්‍රවාදයෙන් බැඳුණේ වෙයිද, ඔහු ඒකාන්තයෙන්ම උතුම් නිර්වාණ අවබෝධයෙන් ඈත් වන්නේය


"සමඤ්ඤා හෙසා ලොකස්මිං නාමගොත්තං පකප්පිතං
සමුච්ච සමුදාගතං තත්ථ තත්ථ පකපපිතං”

ලේ නෑ ආදින් විසින් කරන ලද නාම ගෝත්‍රයක් ඇද්ද එය ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක් පමණි. බොහෝ කාලයක් තුළ පාරම්පරිකව පැවත එන බැඳීම මුල්කොට ගෙන ඒ ඒ තන්හි උපන් කල්හි කරන ලද නාමගෝත්‍රය සම්මතයක් පමණි. එය නොදන්නාහු ජාතියෙන් බ්‍රාහ්මණ යයි කියති.
මේ අනුව මිනිසුන් උප්පත්තියට අනුව උසස් පහත් වශයෙන් සැලකීමත් එක් කොටසක් වරප්‍රසාද හිමි කරගැනීමත් තවත් කොටසකට අයිතිවාසිකම් අහිමි කිරීමත් සමාජ ධර්මයට එකඟ නොවන බව බුදුන් වහන්සේ ප්‍රකාශ කළහ. යමෙක් ජාති වාදයෙන් ගෝත්‍රවාදයෙන් යුක්තව අන්‍යයන් පහත් කොට සලකා ක්‍රියාකරන්නේ නම් ඔහු පිරිහීමට පත් වන බවද උන්වහන්සේ පැහැදිලි කළහ.


“ජාති දෙධා ධනත්තද්ධෝ ගොත්තදධෝචත්ද්ධෝ යො නරො
සඤ්ඤාතිං අතිමඤෙඤති තං පරාභවතො මුඛං”

බුදුදහමේ උගන්වන අවසාන නිෂ්ටාව හෙවත් නිර්වාණය සියලු බැඳීම් වලින් නිදහස් වීමයි. අම්බට්ඨ සූත්‍රයෙහිදි බුදුරජාණන් වහන්සේ යමෙක් ජාතිවාදයෙන්, ගෝත්‍රවාදයෙන් බැඳුණේ වෙයිද, ඔහු ඒකාන්තයෙන්ම නිවනින් ඈත් වන්නේ යැයි ප්‍රකාශ කරති. එයින් පැහැදිලි වන්නේ බෞද්ධ ප්‍රතිපදා මාර්ගයෙහි උත්තරීතර අවස්ථාව හෙවත් නිර්වාණබෝධය ලැබූ උතුමන් තුළ ජාති, ගෝත්‍ර, කුල වශයෙන් ඇති වන පටු ආකල්ප කවර ආකාරයකින් වුවත් පැවතිය නොහැකි බවය.

බුදුරජාණන් වහන්සේ මෙසේ ජාතිවාදය උන්වහන්සේගේ ඉගැන්වීම් තුළින් බැහැර කළා පමණක් නොව ජාතිවාදයෙන් තොර තෘප්තිමත් සමාජයක් බිහි කළ හැකි බව ආදර්ශයෙන්ද ඔප්පු කළහ.උන්වහන්සේ ඇති කළ භික්ෂු සමාජයට එවකට භාරතයේ සිටි සියලු ජාති, කුල ,ගෝත්‍රවලට අයත් පුද්ගලයන් ඇතුළත් කර ගත්හ. එසේ ම කිසිදු විශේෂයක් නැතිව ඔවුන්ව සංඝ සමාජයේ හිමි විය යුතු ස්ථාන ලබාදුන්හ. බුදුන් වහන්සේ සඳහන් කළේ බෞද්ධ පැවිද්ද හරියටම මහ මුහුද හා සමාන බවය. එනම් සියලු ගංගාවලින් එන ජලය මහ මුහුදට වැටුණු කල (මුහුදුවතුර) එකම ලුණු රසයෙන් යුක්ත වන්නා සේ කවර ජාතියක, කුලයකින් සසුනට ඇතුළු වූවත් ඒ සියලු දෙනාම එකම බුද්ධ ශ්‍රාවකයින් බවය. සසුන බොහෝ කලක් පැවතියේ ද ඒ ආකාරයෙන්ය. මේ අනුව අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ දර්ශනයක් වශයෙන් බුදුසමය ජාති භේදය පිළිකුල් කරන අතර සමාජය තුළ ඇති විවිධ ජාති, වර්ණ, කුල,ගෝත්‍ර අභිභවා මනුෂ්‍යත්වයට ජයගත හැකිබව පැහැදිලිවම විවරණය කරන බවය.

"බුදුන් වහන්සේ තවමත් සතුටින්.උන්වහන්සේ ගේ අධ්‍යාත්මික කොටස තවමත් ප්‍රීතිමත් ය. "




"ජීවිතයේ  අධ්‍යාත්මික කොටස කිසිදා විනාශ නොවේ. කවදා හෝ විනාශ වී යන්නේ ඔබේ භෞතික කොටසයි. ඔබගේ ශාරීරික කොටසක් විනාශ වන විට, ඔබේ  අධ්‍යාත්මික කොටස භෞතික කොටසක් නොමැතිව පැවතිය හැකිය. එවිට, නියම වේලාවට පැමිණි විට, එයට නව භෞතික ශරීරයක් ලැබෙනු ඇත. මෙම ලෝකය විතරක් නෙවේ මනුෂ්‍ය ශරිරයකට උපකාර කළ හැකි එකම ලෝකය වන්නේ.අප තවමත් නොදන්නා මේ විශ්වයේ බොහෝ සෙයින් පවතී.

අපගේ  අධ්‍යාත්මික කොටසට වෙනයම් දෙයක් (උදා:රොකට්) භාවිතා නොකර  විශ්වයේ ඕනෑම තැනකට යා හැක. අධ්‍යාත්මික කොටසකට  සිතීමේ වේගය අනුව ගමන් කළ හැකිය. එමනිසා, සෑම විටම භෞතික ශරීරයක් ඇති අධ්‍යාත්මික  සත්වයන් සමග භෞතික ලෝකය පවතී.

භෞතික වස්තුව තාවකාලිකය. එය වසර කීපයකට පමණක් පැවතිය හැකි අතර එය මිය(විනාශ වෙනවා ) යනවා. එවිට අප  අධ්‍යාත්මික කොටසක් යන්නට යන අතර නව භෞතික ශරීරයක් සොයනු ඇත. බුදුන් වහන්සේ වැනි බුද්ධිමත් පුද්ගලයකු හමුවෙන තෙක් මෙය දිගටම සිදු වේ. බුදුරජාණන් වහන්සේ වදාළේ  භෞතික ශරීරයක් හා එය සතුටු කරන දේවල් අපට අවශ්‍ය නොවන බවත්ය. මෙනෙහි කිරීම තුළින් අපට සතුටක් ලැබිය හැකි බවය.

ඉතින්, ඔබ භාවනා කරන්නේ කෙසේදැයි දැනගත් පසු, ඔබ සතුටු කිරීමට යමක් ඔබට අවශ්‍ය නැත. ඔබ මෙනෙහි කළ හැකි අතර එය තුළින් ඔබට සතුටට පත් විය හැකිය. එතකොට, නැවතත් නැවත ඉපදිමක් අවශ්‍ය නැත. අලුත්  ශරීරයක් තිබිය යුතු නොවේ.නැතිනම් ඔබ ශරීරය පෝෂණය කළ යුතුයි. ඔබ ශරීරය රැක බලා ගත යුතුය. ශරීරය වයසට, අසනීප වන විට මිය යයි. ශරීරයක් නොතිබීම වඩා හොඳයි. ඒ තුළින් ඔබට සතුටු විය හැකිය.

මේ වන විට බුදුන් වහන්සේ තවමත් සතුටු වෙනවා. උන්වහන්සේ ගේ අධ්‍යාත්මික කොටස තවමත් සතුටු වෙනවා . උන්වහන්සේට  සන්තෝෂය ලබා ගැනීමට  භෞතික ශරීරයක්  අවශ්‍ය  නොවේ. කෙසේ වෙතත්, අපි මෙනෙහි කිරීම කෙසේ දැයි අප නොදන්නා නිසා අපිට තවමත් භෞතික කොටස් අවශ්‍යය. අපිව සතුටට පත් කළ හැකි එකම මාර්ගය වන්නේ ශරීරයක් ඇති කිරීම තුළින්මයි . එබැවින් අප ගමන් කිරීමට හා විනෝද වීමට අපට හැකි වේ. නමුත් අපි භාවනාව කෙසේ දන්නවාද කියා නම්, අපට ගමන් කිරීමට අවශ්‍ය  නැත. අපි සිනමා, බාර්, හෝ ආපනශාලා වෙත යන්න අවශ්‍ය නැහැ. අපි මෙනෙහි කර සතුටින් ඉන්න පුළුවන්. ලෝකය සාමයෙන් ජීවත්වන අතර, සෑම දෙනා ම භාවනාව කිරිමට ඉගෙන ගතහොත්, තම ජීවිතය තුළ  දව්‍යයමය දේවලට තරඟ කිරීමට කාටවත් කිසි වුවමනාවක් ඇතිවන්නේ නැත. "

අජාන් හිමි විසින්

Tuesday, March 06, 2018

හැකි සැමවිටම සිත පිරිසිදුව තබාගමු !


අති පූජ්‍ය නා උයනේ අරියධම්ම මහා හිමිපාණන් වහන්සේ

ඹබත් මේ ධර්ම දේශනාව ඇසිමේන් ලබාගත් කුසලය/පින, ඉතා ඉක්මනින්ම ධර්මාවබෝදයට හේතු වේවා!

 

බුද්ධානුස්සතිය


මහණෙනි එක් ධර්මයක් වඩන ලද්දේ නැවත නැවත පුරුදු කරන ලද්දේ ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස , සසර නොඇලීම පිණිස, රාගාදීන්ගේ නැති වීම පිණිස ක්ලේශයන්ගේ සංසිඳීම පිණිස විශිෂ්ට ඤාණය පිණිස චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස, නිර්වාණය අත්පත් කිරීම පිණිස පවතී.

කවර නම් එකම ධර්මයක් ද බුද්ධානුස්මෘතිය(බුදුගුණ සිහි කිරීම)යි.                     

අවසර ස්වාමිණී , ඤාණ කියන්නේ ?


ඤාණ කියන්නේ හොඳ-නරක දෙක වෙන් වී පෙනීම. ප්‍රඥාව කියන්නේ හොඳට හෝ නරකට හෝ තමා විසින් තමාගේ යහපත සදහා පිළිපැදිය යුතු විදිහ තීරණය කිරීම

ඒ වස්තුව ආශ්‍රය තුළින් මට ගෞරවයක් , ශ්‍රේෂ්ඨත්වයක්, සැලකිල්ලක් මේකෙන් ලැබෙනවා.එතැන තියෙන්නේ මොකක්ද ? ලෝභයයි එතකොට ඒක ලබපු නිසා මට සමාජයෙන් පිළිගැනීමක් , මේ විදියේ හපන්කමක් කරපු කෙනෙක් හැටියට පිළිගන්නවා ලෝකයා. එතකොට එතන තියෙන්නේ  මානය යි.

මේ දෙක ආශ්‍රය කරන මොහොතේම , ඒ අවස්ථාවේදීම ඔහුගේ සිතට නොසන්සුන්කමක් එනවා. ඒ මොකක්ද නොසන්සුන්කම ? එකටයි ඔය පීඩාව කියන්නේ. අර තමා අපේක්ෂා කරපු දේ නොලැබෙන තෙක් නොසන්සුන්කම.  ඒ මොකද ඒක හිතපු වේලාවේ ඉඳලා  නැත්නම් ඒක කොහෙන් හරි අරගෙන ආපු වෙලාවේ ඉඳලා අනිත් අය ඒක ගැන විමසිල්ලක් , විපරමක් කරනවා මේක ලැබුවේ  මොකක් නිසාද ? කාගෙන්ද ලැබුණේ ආදී වශයෙන් වර්ණනාවක් සෙවිල්ලක් ,ඒ පිළිබඳව තියෙන තාක් කල් එයාට සතුටක් දැනුණා ඒ පිළිබඳව ඇප තියෙනතාක් කල් ඔයාට සතුටක් ඇත. බැරි වෙලාවත් කිසිම කෙනෙක් ඒ ගැන උනන්දුවක් නැතිව , මුකුත් ම අසන්නේ නැති ව , කිසිදු විපරමක් නැතිව සිටියොත් ඒ මොහොතේ ම ඔහුට පීඩාවක් වෙනවා. එකෙක්වත් මගේ ජයග්‍රහණය ගැන අසන්නේවත් නැත කියා තදබල ගැටුමක් සිතේ හදා ගන්නවා. සිත ද්වේෂයට පත්වෙලා පීඩාව දෙනවා. මිනිහට කන්ඩ කේන්ති යනවා. මුන්ට මක්වෙලාද මන්දා මේ ගැන අසන්නේවත් නැත කියා පිඩාවට පත්වෙනවා.වචනත් පිට කරනවා.

පීඩාවට පත්වන එකෙන් මිදෙන්නට පුළුවන් වන්නේ ප්‍රඥාව වැඩිමෙන්ම පමණයි. ඒ සදහා අපි සියලුම දෙනාට මේ දහම් කරුණ හේතු වාසනා වේවා .

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පැවත්වූ සද්ධර්මය දේශණාවක් ඇසුරෙනි.



Sunday, March 04, 2018

හොඳට නරකට දෙකට කට ම ය.....

සම්මා දිට්ඨිය තියෙන කෙනෙක් ධර්ම කතාවක් කරන කොට හරි ප්‍රීතියෙන් එක කරන්නේ.ධර්මය කතා කර කර ධර්මයෙන් ප්‍රීති වෙවී. ධර්ම පොත් පෙ‍රළමින් බල බලා "අනේ අපට කොච්චර ලැබීමක්ද,මේ විදිහටයි අකුසල් ප්‍රහාණය කරන්න තියෙන්නේ,මෙහෙමයි කුසල් දියුණු කරන්න තියෙන්නෙ" කිය කියා හරි ප්‍රීතියෙන් ඒ යහපත් දේ කතා කරනවා

දැන් එතකොට මේ පින්වතුන් කල්පනා කරලා බලන්න. වචනය කියන එක හොඳට හැරුණොත් අන්තිම හොඳයි. නරකට හැරුණොත් අන්තිම භයානකයි.වචනයෙන් කරන බරපතලම අකුසලය මොකක්ද ? "සංඝ භේදය" පංචානන්තරිය කර්ම වලින් එකක්.ඒක වචනයෙන්  කරන්න තියෙන්නේ.ඒක උපසම්පදා වහන්සේලාට  විතරයි කරන්න පුළුවන්.ගිහි අයට කරන්න බැහැ.සංඝ භේදයක් කළොත් කල්පයක් නිරයේ විපාක විඳින්න ඕනෑ. බලන්න එක වචනයක් වරද්ද  ගත්තහම වෙන හානිය.එක ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා "ස්වාමීනි, එහෙනම්  බිඳිච්ච සංඝයා සමඟි කළොත්?" "කල්පයක් සුගතියේ" කිව්වා. ඒත් වචනයෙන්

එතකොට වචනය හරියට හසුරුවා ගන්න බැරි වුණොත් විශාල හානි සිද්ධ වෙනවා. ඒක නිසයි බුදුරජාණන් වහන්සේ එක තැනකදී  භික්ෂූන් වහන්සේලාට  දේශනා කළේ, (සන්නිපතිතානං වෝ භික්ඛවේ ද්වයං කරණීයං) "මහණෙනි, එකතු වුනහම දෙකක් තියෙනවා කරන්න. (ධම්මී වා කථා) එක්කෝ  ධර්මය කතා කරන්න.(අරියෝ වා තුණ්හීභාවෝ) එක්කෝ  භාවනා කරන්න. ඒ මොකද ? වචනය වැරදුනොත් එහෙම පුදුම විදිහට ප්‍රමාදයට පත් වෙනවා.

කය සංවර කරගන්නවා කියන එක හිතට ගත්තහම කරන්න ලේසියි.දැන් සතෙක් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසේවනයෙන් වැළකීම ආදිය සිහියක් ඇති කරගෙන කරන්න පුළුවන්. ඒත් වචනය හොයන්න බෑ. ඇයි, අපි හැම තිස්සේම කතා කර කර ඉන්න එකනේ කරන්නේ. කොහේ යනවද ? කොහෙන්ද මේක ඉවර වෙන්නේ ? නවතින්නේ කොහෙන්ද ? මොකවත් හොයන්න බෑ. කතාකරන ගමන් අපි දන්නේම නෑ අකුසල් මතුවෙනවා. සමහර වෙලාවට හොඳ එකක් කතා කර කර ඉන්නෙ කේළමකින් ඉවර වෙනවා. එහෙම වෙන්නේ නැද්ද ? වෙනවා. එක්කෝ කාට හරි අපහාස කරලා තමයි නතර වෙන්නේ මේ වගේ දේවල් වෙන්නේ. මේ වගේ දෙවල් වෙන්නේ මොකද ? වචනය පිළිබඳ අකුසලය හිතේ තියෙන නිසා.

එහෙනම් සම්මා දිට්ඨිය මුල් කරගෙනයි මිච්ජා වාචා තුරු කරන්න තියෙන්නේ. අන්න ඒ නිසා හොඳට තේරුම් ගන්න. අපට කතා බස් කරන්න ලැබිච්ච මේ අවස්ථාව දුර්ලභ එකක්.

ඊළඟට සම්මා වාචා ඇති කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි අඩුවෙන්ම අවශ්‍ය දේ විතරක් කතා කරන එක.එකත් අමාරුයි නේ ! අපට හොඳට තේරෙනවා.

අන්න නුවණ තියෙන කෙනා සම්මා වාචාවෙනුන් යුක්ත වෙනවා. එයා සම්මා දිට්ඨියේ පිහිටලා,සම්මා වාචා ඇති කරගන්නවා.මිච්ජා වාචා ප්‍රහාණය කරන්න වීර්යය ඇති කරගන්නවා. අන්න එහෙම විර්යයක් ඇති කර ගෙන මිච්ජා වාචා ප්‍රහාණය වෙලා සම්මා වාචා වලට හිත පිහිටියට පස්සේ, එයාට සිහිය පිහිටනවා. කොහොමද ? " මා තුළ දැන් සම්මා වාචා පිහිටියා" කියලා.

බලන්න මේ ලෝකයේ වෙන කෙනෙක් වචන ගැන මේ විදිහට කතා කරලා තියෙනවද ? කවුරුත් කතා කරලා නෑ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ රහතන් වහන්සේලා තමයි මුලින්ම ධර්ම දේශනා කරගෙන ගියේ. උන් වහන්සේලා කොයිතරම් පිරිසිදු වචන කතා කරන්න ඇද්ද ?කොයි තරම් අවබෝධයක් ඇතිවෙන දේවල් කතා කරගෙන යන්න ඇද්ද ? ඒ මුනිවරු කතා කරන හැම වචනයකම අහක දාන්න මොකුත් නෑ. ඒ තරම්ම පිරිසුදුයි

එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා,"එයා සම්මා දිට්ඨියේ පිහිටලා සම්මා වායාම ඇති කරගෙන මිථ්‍යා වාචා සම්පූර්ණයෙන්ම ප්‍රහානය කරනවා" කියලා. එතකොට එහෙම නම් පිරිසිදු බව ඇති වෙන්නේ කොහේද ? වචී සංස්කාරවල. ඇයි ? අපි කතා කරන්නේ හිතෙන් හිතලනේ. එතකොට ඇතුලේ තියෙන ප්‍රශ්ණය සම්පූර්ණයෙන්ම නිරවුල් වෙනවා. මොනම හේතුවක් නිසාවත් එය බොරුවක් කියන්නේ නෑ. මොනම හේතුවක් නිසාවත් කේළමක් කියන්නේ නෑ. හිස් වචන කියන්නේ නෑ. එතකොට කොච්චර සිහිය පිහිටන්න ඕන ද ?

දැන නොදැන පව් කිරීම පිළිබඳ මිළිදු රාජ ප්‍රශ්නය


මිලිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

"ස්වාමීනී නාගසේනයන් වහන්ස, යමෙක් දැන දැන පව්කම් කරයිද , යමෙක් නොදැන පව් කම් කරයි ද , කාගේ පව ද බොහෝ වන්නේ ?

තෙරණුවෝ වදාළ සේක.

"මහරජාණෙනි, යමෙක් නොදැන පව් කම් කරයි ද , ඔහු ගේ පව බොහෝය."

"එහෙම නම් ස්වාමීනි, නාගසේනයන් වහන්ස, අපගේ යම් රාජපුත්‍රයෙක් හෝ රාජමහාමාත්‍යවරයෙක් හෝ නොදැන පව්කම් කරයි. අපි ඔහුට දෙගුණයක් දඬුවම් කරන්න ඕනද ? "

"මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතන්නේ ? රත් වු ගිනි ගත් ගිනි ඇවිළෙන බලවත් ගින්නෙන් යුතු යකඩ ගුලියක් තියෙනවා. කෙනෙක් දැන දැන එක ගන්නවා.කෙනෙක් නොදැන එක ගන්නවා. එතකොට දරුණු ලෙස පිච්චෙන්නේ කාවද ?"

"ස්වාමීනී , යමෙක් නොදැන ඒක ගන්වාද ? ඔහුව තමයි දරුණු ලෙස පිලිස්සෙන්නේ."

"මහරජාණෙනි, ඔය විදිහම තමයි යමෙක් නොදැන පව් කම් කරනවා ද ? ඔහුගේ බව බොහෝය."

"ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත මිළිදු රාජ ප්‍රශ්නය පොත ඇසුරෙනි

Saturday, March 03, 2018

හොඳ හෝ නරක වීම

"හොඳ හෝ නරක වීම යනු අන් අය පවසන දෙය සමග සම්බන්ධයක් නැත, එය ඔබගේම ක්‍රියා වලට යොමු වන්නේය.

ඔබ යහපත් ක්‍රියාවන් කරන්නේ නම්, කිසිවෙකු ඔබට ප්‍රශංසා නොකරයි නම්, ඔබ තවමත් හොඳ පුද්ගලයෙකි.

ඔබ නරක ක්‍රියාවල යෙදෙනවා නම්, යමෙක් ඔබට ප්‍රශංසා කළත්, ඔබ ඔවුන්ගේ ප්‍රශංසාවට  ලක්විය යුතු කෙනෙක් නොවේ. "

අචාන් හිමියන්




බුදුරජානන්වහන්සේ දිනපතා කල අවවාදය.......!!!





අති පූජ්‍ය නා උයනේ අරියධම්ම මහා හිමිපාණන් වහන්සේ 
Most Ven Nauyane Ariyadhamma Maha Thero
 


"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

 ​“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

ඒ අමා මහා නිවන් දුටු රහතන් වහන්සේලා......


දැන් ඔබ සවන් දෙන්ට සූදානම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩසිටි මහ රහතන් වහන්සේලාගේ උතුම් අදහස් වලටයි.

රහතන් වහන්සේලා ගැන අසන්නට ලැබීම පවා කොයි තරම් දුර්ලභ දෙයක් ද ? රහතන් වහන්සේලා කියන්නේ මේ මිහි මඩල සුන්දර කළ ආශ්චර්යමත් මිනිසුන් කොටසක්.එතරම් සුන්දර සිත් ඇති,එතරම් පිවිතුරු වචන ඇති, නිර්මල චරිත ඇති එතරම් නිකෙලෙස් මුනි රජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වන්නේ ඉතාමත් කලාතුරකිනි.දෙවි-මිනිස් ලෝකයට මහා කරුණාවෙන් පහළවෙන සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයේ පමණයි රහතන් වහන්සේලා පහළ වන්නේ. කරුණාවෙන් ඉතිරී ගිය ප්‍රඥාවෙන් බැබළී ගිය ඒ බුදුරජාණන් වහන්සේගේ හැම බණ පදයකින්ම මේ මනුෂ්‍ය සන්තානයේ සුන්දර වෙනවා. කෙලෙස් පීඩා දුරු වෙනවා. සිත සැනසෙනවා. ඒ රහතන් වහන්සේලා ආයෙ කවදා ද අපට මේ ඇස් දෙකෙන් දැකගන්නට ලැබෙන්නේ. දැන් මේ රහතන් වහන්සේලා තමන්ගේ තොරතුරු කියද්දී ඔබ ඉදිරියට උන්වහන්සේලා වඩිනා වගේ ඔබ සමඟ ඒ රහතන් වහන්සේලා කතා කරනවා වගෙයි. ඔබ සවන් දෙන්න. ඒ රහතන් වහන්සේලාගේ නිකෙලෙස් හදවත් තුළ රිද්මයට. උන්වහන්සේලාගේ හදවත් තුළ තිබුණ ස්වරය කොයිතරම් නිර්මලයි ද කොයිතරම් ආශ්චර්යයක් ද දැන් සවන් දෙන්න.

සංසාර මර්ගයේ යෙදෙන අපට, ධර්මය කැමැති සියල්ලන්ට, රහත් වහන්සේගේ ඇසුර ලැබීමට වාසනාව ලැබේවායි මාගේ පැතුමයි. ලැබෙන සිතුවිල්ලක් පාසා රහතන් වහන්ගේ ඇසුරට යොමුවන සිතුවිලිම පහල වේවා.... සාදු සාදු සාදු..........




Friday, March 02, 2018

දෙමව්පියන්ට ණය ගෙවන්නේ කෙසේද?

"මහණෙනි,ලෝකයේ  දෙන්නෙකුට කළගුණ සළකලා නිම කරන්න බැහැ.කාටද ? මවටත් පියාටත්, අවුරුදු 100 ක් ජිවත්වෙන යම්කිසි පුත්‍රයෙක් තමන්ගෙ දෙමව්පියන්ට කළගුණ සැලකීම කියන ඒ උපස්ථානය කරන්න බලාපොරොත්තුවෙන් මාපිය දෙදෙනා - ඒ ඉතාමත්ම  ජරාජීර්ණ වූ මාපිය දෙදෙනා- දෙවුරේ හිඳුවාගෙන ඒ අයගේ මළ මුත්‍ර ශුද්ධ කරමින් අවුරුදු සියයක් සියලුම වතාවත් කරමින් නෑම් ඇඟ ඉලීම් ආදි ඒ උපස්ථාන කරමින් අවුරුදු සියයක් අරගෙන ගියත් ඒත් බෑ මවුපියන්ට කළ දේට ප්‍රත්‍යුපකාර කරලා නිම කරන්න" ඒ විදියට  බුදුපියාණන් වහන්සේ පළමුවෙන් ප්‍රකාශ කරනවා. ඊළඟට ප්‍රකාශ කරනවා "මහණෙනි යම්කිසි පුත්‍රයෙක් තමාගේ මවත් පියාත් මේ සත් රුවනින් පිරුණු මහපොළවේ අධිපතිකමට චක්‍රවර්ති  රාජ්‍යයට පත් කළත් එහෙම නැත්නම් මේ මුළු මහත් පොළොවට අධිපති රජකමට පත් කළත් ඒත් බෑ සෑහෙන පමණ මව්පියන්ට ඒ ණය ගෙවන්නට. මොකද ඒකට හේතුව ? මවුපියො කියන්නේ දූ දරුවන් ඇති දැඩි කළ ලෝකය දක්වාලන ඒ විදියෙ උතුම් සේවයක් කරපු, උදව්වක් කරපු, කොටසක්. ඊලඟට බුදුපියාණන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා."නමුත් මහණෙනි, යම් කිසි පුත්‍රයෙක් ශ්‍රද්ධාව නැතිව තමන්ගේ මව්පියන් ශ්‍රද්ධා සම්පත්තිය පිහිටුවනවා නම්, ශීල සම්පත්තිය නැති  මවුපියන් ශීල සම්පත්තියෙහි පිහිටුවනවා නම්, ත්‍යාග  සම්පත්ති නැති මව්පියන් එහෙමත් නැත්නම් මසුරු මවුපියන් ත්‍යාග සම්පත්තියේ පිහිටුවනවා නම්, ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවනවා නම් අන්න ඒ පුත්‍රයා ඒ මවුපියනට කළගුණ සැලකුව පමණක් නොවේ, සෑහෙන පමණ කළගුණ සැළකුවා පමණක් නොවේ, පමණටත් වඩා කළගුණ සැළකුවා වෙනවා" කියලා ඒ විදිහට බුදුපියාණන් වහන්සේ වදාළා.

ඔබේ පවුලේ බර ඔවුන් මත පටවන්න එපා. ඔවුන් ගෙදර දොරේ වැඩකරුවන් සේ සලකන්න එපා. ඔවුන් ඔබව කුඩා කලේ  ඇතිදැඩි කලා. ඔබට කෑම බීම දුන්න. ඔබ අඬනකොට  නැලෙව්වා. ඔවුන්ට වෙන දෙයක් කරන්න වෙලාවක් තිබුනේ නෑ. සිතේ සැහැල්ලුවක් තිබුනේ නෑ. දැන් ඔවුන් වයසට ගියාමත් ඔවුන්ගේ සිතේ සැහැල්ලුව ඔබ උදුරගන්න එපා. ඔබේ දරුවන්ගේ වැඩ, ගෙදර දොරේ වැඩ, ඉවුම් පිහුම් වැඩ, ආදී මෙකි නොකී වැඩ ඔවුන් පිට පටවන්න එපා. එහෙම කලොත් ණය ගෙවනවා වෙනුවට ඔබ කරන්නේ තව තවත් ණයකාරයෙක් වෙන එකයි.
සසරේ ණයකාරයෙක් නොවී, ණය ගෙවාදමන්නෙකු වන්න. 

සාධූ සාධූ සාධූ  ...............!!!!


පුළුවන් නම් මේ සදහම් දේශණාව අවසන් වනතුරු අසන්න.



අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...