Wednesday, March 28, 2018

ධම්ම පදය:සහස්ස වර්ගය(දහස ගැන වදාළා කොටස)



සහස්සමපි චේ වාචා - අනත්ථ පද සංහිතා
එකං අත්ථ පදං සෙය්‍යො - යං සුත්වා උපසම්මති

මෙලොවත් පරලොවත් අයහපතට හේතු වන වචන දාහක් දෙඩුවත් කිසි වැඩක් නෑ. ඒ වුණත් අර්ථවත්, එක ම එක වචනයක් අහලා ජිවිතය සංසිඳෙනවා නම් අන්න ඒ වචනය තමයි උතුම්

(වේළුවන අසපුවේ දී තම්බදාඨික අරභයා වදාළා ගාථාවකි.)


මේ සංසාරයේ සත්වයා බැඳිලා ඉන්නෙ, මේ සසත්වයාගේ  බන්ධනය ගෙතිලා තියෙන්නේ,  සිතිවිලිවලින්. සිතිවිලිවලින් ගෙතිච්ච බන්ධනයකිනුයි සංසාර සත්වයා බැඳිලා ඉන්නෙ . ඒක නිසා මේ බන්ධනයෙන් මිදීමට නම් සිතිවිල්ලේ ස්වභාවය, සිතිවිල්ල කොහොමද කියන එක, ගැන යම්කිසි අවබෝධයක් ලබාගත යුතුව තිබෙනවා. ලෝකයේ ඇති තාක් දේවල් අපි හඳුනා ගන්න උත්සාහ කරන්නේ සිතිවිල්ල  මාර්ගයෙන්. නමුත් සිතිවිල්ල හඳුනා ගන්න එක ලේසි පහසු වැඩක් නොවෙයි. අවිද්‍යාවෙන් වැහිලා,තණ්හාවෙන් බැඳිලා සංසාරයේ දුවන සත්වයාට සිතිවිල්ල ගැන හිතන්න, සිතුවිලි හඳුනාගන්න පහසු නෑ.අන්න ඒ ටික පෙන්නුම් කරලා දෙන්නයි තිලෝගුරු බුදුපියාණන් වහන්සේ කෙනෙක් ලොව පහළ වී වදාරන්නේ.

සිතුවිලි බන්ධනය ඉතාමත්ම සියුම් බන්ධනයක්. ඒ වගේම මේ බන්ධනය වෙන කෙනෙකුට කඩන්න බෑ. තම තමන්ම තේරුම් අරගෙන තම තම නැණ පමණින් තෝරා බේරාගෙන කඩා ගත යුතු, ලිහාගත යුතු බන්ධනයක්. බුදු කෙනෙකුට  කරන්න පුළුවන් වෙන්නේ මේක පිළිබඳව මේකට උපකාර වන යම්කිසි  ඉඟියක් දීම පමණයි. බුදු පියාණන් වහන්සේ දේශණා  කරන ධර්මය තුළ තිබෙන්නේ එ ඒ පුද්ගලයාගේ චරිතානුකූලව මේ සිතිවිලි බන්ධනයෙන් තමන්ම මේක කොහොම හරි ලිහාගෙන, මේක කඩලා දමලා ඒ උතුම් අමා මහ නිවනින් සැනසීමට පත් කරන අවස්ථාව සලසා ගන්න ඉඩ දීමයි. එක තුළ ඒ සිතිවිලි  කඩා ගන්න ඉඟිය ඇතුල්වෙලා තිබෙනවා. එතකොට යම්කිසි කෙනෙකුට ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරන එක ගාථා පදයකින් නමුත් මෙන්න මේ බුදුපියාණන් වහන්සේ දෙන ඉඟිය හරියාකාරව තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒ තැනැත්තා ධර්මය තේරුම් ගත්තා වෙනවා. නිවන් දැක්කා වෙනවා.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...