Sunday, March 04, 2018

හොඳට නරකට දෙකට කට ම ය.....

සම්මා දිට්ඨිය තියෙන කෙනෙක් ධර්ම කතාවක් කරන කොට හරි ප්‍රීතියෙන් එක කරන්නේ.ධර්මය කතා කර කර ධර්මයෙන් ප්‍රීති වෙවී. ධර්ම පොත් පෙ‍රළමින් බල බලා "අනේ අපට කොච්චර ලැබීමක්ද,මේ විදිහටයි අකුසල් ප්‍රහාණය කරන්න තියෙන්නේ,මෙහෙමයි කුසල් දියුණු කරන්න තියෙන්නෙ" කිය කියා හරි ප්‍රීතියෙන් ඒ යහපත් දේ කතා කරනවා

දැන් එතකොට මේ පින්වතුන් කල්පනා කරලා බලන්න. වචනය කියන එක හොඳට හැරුණොත් අන්තිම හොඳයි. නරකට හැරුණොත් අන්තිම භයානකයි.වචනයෙන් කරන බරපතලම අකුසලය මොකක්ද ? "සංඝ භේදය" පංචානන්තරිය කර්ම වලින් එකක්.ඒක වචනයෙන්  කරන්න තියෙන්නේ.ඒක උපසම්පදා වහන්සේලාට  විතරයි කරන්න පුළුවන්.ගිහි අයට කරන්න බැහැ.සංඝ භේදයක් කළොත් කල්පයක් නිරයේ විපාක විඳින්න ඕනෑ. බලන්න එක වචනයක් වරද්ද  ගත්තහම වෙන හානිය.එක ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා "ස්වාමීනි, එහෙනම්  බිඳිච්ච සංඝයා සමඟි කළොත්?" "කල්පයක් සුගතියේ" කිව්වා. ඒත් වචනයෙන්

එතකොට වචනය හරියට හසුරුවා ගන්න බැරි වුණොත් විශාල හානි සිද්ධ වෙනවා. ඒක නිසයි බුදුරජාණන් වහන්සේ එක තැනකදී  භික්ෂූන් වහන්සේලාට  දේශනා කළේ, (සන්නිපතිතානං වෝ භික්ඛවේ ද්වයං කරණීයං) "මහණෙනි, එකතු වුනහම දෙකක් තියෙනවා කරන්න. (ධම්මී වා කථා) එක්කෝ  ධර්මය කතා කරන්න.(අරියෝ වා තුණ්හීභාවෝ) එක්කෝ  භාවනා කරන්න. ඒ මොකද ? වචනය වැරදුනොත් එහෙම පුදුම විදිහට ප්‍රමාදයට පත් වෙනවා.

කය සංවර කරගන්නවා කියන එක හිතට ගත්තහම කරන්න ලේසියි.දැන් සතෙක් මැරීමෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසේවනයෙන් වැළකීම ආදිය සිහියක් ඇති කරගෙන කරන්න පුළුවන්. ඒත් වචනය හොයන්න බෑ. ඇයි, අපි හැම තිස්සේම කතා කර කර ඉන්න එකනේ කරන්නේ. කොහේ යනවද ? කොහෙන්ද මේක ඉවර වෙන්නේ ? නවතින්නේ කොහෙන්ද ? මොකවත් හොයන්න බෑ. කතාකරන ගමන් අපි දන්නේම නෑ අකුසල් මතුවෙනවා. සමහර වෙලාවට හොඳ එකක් කතා කර කර ඉන්නෙ කේළමකින් ඉවර වෙනවා. එහෙම වෙන්නේ නැද්ද ? වෙනවා. එක්කෝ කාට හරි අපහාස කරලා තමයි නතර වෙන්නේ මේ වගේ දේවල් වෙන්නේ. මේ වගේ දෙවල් වෙන්නේ මොකද ? වචනය පිළිබඳ අකුසලය හිතේ තියෙන නිසා.

එහෙනම් සම්මා දිට්ඨිය මුල් කරගෙනයි මිච්ජා වාචා තුරු කරන්න තියෙන්නේ. අන්න ඒ නිසා හොඳට තේරුම් ගන්න. අපට කතා බස් කරන්න ලැබිච්ච මේ අවස්ථාව දුර්ලභ එකක්.

ඊළඟට සම්මා වාචා ඇති කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි අඩුවෙන්ම අවශ්‍ය දේ විතරක් කතා කරන එක.එකත් අමාරුයි නේ ! අපට හොඳට තේරෙනවා.

අන්න නුවණ තියෙන කෙනා සම්මා වාචාවෙනුන් යුක්ත වෙනවා. එයා සම්මා දිට්ඨියේ පිහිටලා,සම්මා වාචා ඇති කරගන්නවා.මිච්ජා වාචා ප්‍රහාණය කරන්න වීර්යය ඇති කරගන්නවා. අන්න එහෙම විර්යයක් ඇති කර ගෙන මිච්ජා වාචා ප්‍රහාණය වෙලා සම්මා වාචා වලට හිත පිහිටියට පස්සේ, එයාට සිහිය පිහිටනවා. කොහොමද ? " මා තුළ දැන් සම්මා වාචා පිහිටියා" කියලා.

බලන්න මේ ලෝකයේ වෙන කෙනෙක් වචන ගැන මේ විදිහට කතා කරලා තියෙනවද ? කවුරුත් කතා කරලා නෑ.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ රහතන් වහන්සේලා තමයි මුලින්ම ධර්ම දේශනා කරගෙන ගියේ. උන් වහන්සේලා කොයිතරම් පිරිසිදු වචන කතා කරන්න ඇද්ද ?කොයි තරම් අවබෝධයක් ඇතිවෙන දේවල් කතා කරගෙන යන්න ඇද්ද ? ඒ මුනිවරු කතා කරන හැම වචනයකම අහක දාන්න මොකුත් නෑ. ඒ තරම්ම පිරිසුදුයි

එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා,"එයා සම්මා දිට්ඨියේ පිහිටලා සම්මා වායාම ඇති කරගෙන මිථ්‍යා වාචා සම්පූර්ණයෙන්ම ප්‍රහානය කරනවා" කියලා. එතකොට එහෙම නම් පිරිසිදු බව ඇති වෙන්නේ කොහේද ? වචී සංස්කාරවල. ඇයි ? අපි කතා කරන්නේ හිතෙන් හිතලනේ. එතකොට ඇතුලේ තියෙන ප්‍රශ්ණය සම්පූර්ණයෙන්ම නිරවුල් වෙනවා. මොනම හේතුවක් නිසාවත් එය බොරුවක් කියන්නේ නෑ. මොනම හේතුවක් නිසාවත් කේළමක් කියන්නේ නෑ. හිස් වචන කියන්නේ නෑ. එතකොට කොච්චර සිහිය පිහිටන්න ඕන ද ?

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...