Wednesday, March 07, 2018

යමෙක් ජාතිවාදයෙන්, ගෝත්‍රවාදයෙන් බැඳුණේ වෙයිද, ඔහු ඒකාන්තයෙන්ම උතුම් නිර්වාණ අවබෝධයෙන් ඈත් වන්නේය


"සමඤ්ඤා හෙසා ලොකස්මිං නාමගොත්තං පකප්පිතං
සමුච්ච සමුදාගතං තත්ථ තත්ථ පකපපිතං”

ලේ නෑ ආදින් විසින් කරන ලද නාම ගෝත්‍රයක් ඇද්ද එය ලෝකයෙහි ව්‍යවහාර මාත්‍රයක් පමණි. බොහෝ කාලයක් තුළ පාරම්පරිකව පැවත එන බැඳීම මුල්කොට ගෙන ඒ ඒ තන්හි උපන් කල්හි කරන ලද නාමගෝත්‍රය සම්මතයක් පමණි. එය නොදන්නාහු ජාතියෙන් බ්‍රාහ්මණ යයි කියති.
මේ අනුව මිනිසුන් උප්පත්තියට අනුව උසස් පහත් වශයෙන් සැලකීමත් එක් කොටසක් වරප්‍රසාද හිමි කරගැනීමත් තවත් කොටසකට අයිතිවාසිකම් අහිමි කිරීමත් සමාජ ධර්මයට එකඟ නොවන බව බුදුන් වහන්සේ ප්‍රකාශ කළහ. යමෙක් ජාති වාදයෙන් ගෝත්‍රවාදයෙන් යුක්තව අන්‍යයන් පහත් කොට සලකා ක්‍රියාකරන්නේ නම් ඔහු පිරිහීමට පත් වන බවද උන්වහන්සේ පැහැදිලි කළහ.


“ජාති දෙධා ධනත්තද්ධෝ ගොත්තදධෝචත්ද්ධෝ යො නරො
සඤ්ඤාතිං අතිමඤෙඤති තං පරාභවතො මුඛං”

බුදුදහමේ උගන්වන අවසාන නිෂ්ටාව හෙවත් නිර්වාණය සියලු බැඳීම් වලින් නිදහස් වීමයි. අම්බට්ඨ සූත්‍රයෙහිදි බුදුරජාණන් වහන්සේ යමෙක් ජාතිවාදයෙන්, ගෝත්‍රවාදයෙන් බැඳුණේ වෙයිද, ඔහු ඒකාන්තයෙන්ම නිවනින් ඈත් වන්නේ යැයි ප්‍රකාශ කරති. එයින් පැහැදිලි වන්නේ බෞද්ධ ප්‍රතිපදා මාර්ගයෙහි උත්තරීතර අවස්ථාව හෙවත් නිර්වාණබෝධය ලැබූ උතුමන් තුළ ජාති, ගෝත්‍ර, කුල වශයෙන් ඇති වන පටු ආකල්ප කවර ආකාරයකින් වුවත් පැවතිය නොහැකි බවය.

බුදුරජාණන් වහන්සේ මෙසේ ජාතිවාදය උන්වහන්සේගේ ඉගැන්වීම් තුළින් බැහැර කළා පමණක් නොව ජාතිවාදයෙන් තොර තෘප්තිමත් සමාජයක් බිහි කළ හැකි බව ආදර්ශයෙන්ද ඔප්පු කළහ.උන්වහන්සේ ඇති කළ භික්ෂු සමාජයට එවකට භාරතයේ සිටි සියලු ජාති, කුල ,ගෝත්‍රවලට අයත් පුද්ගලයන් ඇතුළත් කර ගත්හ. එසේ ම කිසිදු විශේෂයක් නැතිව ඔවුන්ව සංඝ සමාජයේ හිමි විය යුතු ස්ථාන ලබාදුන්හ. බුදුන් වහන්සේ සඳහන් කළේ බෞද්ධ පැවිද්ද හරියටම මහ මුහුද හා සමාන බවය. එනම් සියලු ගංගාවලින් එන ජලය මහ මුහුදට වැටුණු කල (මුහුදුවතුර) එකම ලුණු රසයෙන් යුක්ත වන්නා සේ කවර ජාතියක, කුලයකින් සසුනට ඇතුළු වූවත් ඒ සියලු දෙනාම එකම බුද්ධ ශ්‍රාවකයින් බවය. සසුන බොහෝ කලක් පැවතියේ ද ඒ ආකාරයෙන්ය. මේ අනුව අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ දර්ශනයක් වශයෙන් බුදුසමය ජාති භේදය පිළිකුල් කරන අතර සමාජය තුළ ඇති විවිධ ජාති, වර්ණ, කුල,ගෝත්‍ර අභිභවා මනුෂ්‍යත්වයට ජයගත හැකිබව පැහැදිලිවම විවරණය කරන බවය.

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...