Sunday, March 18, 2018

ජීවිතයේ සුලමුල පෙන්නන ක්‍රියාකාරී වේගය තමයි සිත කියලා කියන්නේ




ජීවිතයේ සුලමුල පෙන්නන ක්‍රියාකාරී වේගය තමයි සිත කියලා කියන්නේ.ජිවිතයේ ඇතුළේ තියෙන  ජීවිතය ඇතුළේ තියෙන  හොඳ - නරක තේරුම් ගන්ට ඕන සිතේ ස්වරූපය දෙස බලලා යි. නැතුව හෝදිසි කරන්ට බෑ.

යම්කිසි වාහනයක් යනකොට අමුතු ශබ්දයක් ඇහෙනවා නම් අපට තේරෙනවා වාහනේ මොකක් හෝ වරදක් තිබෙනවා. නවත්වලා බලන්නට ඕනෑ යි කියල. ඉතින් වරදක් තියෙනවා නම් තමන්ට දැනෙනවා වැරද්දක් තියෙන බව, හිතෙන් පෙන්වනවා ජීවිතය ඇතුළේ  එක්කාසු වෙලා තියෙන නරක ගති සහ හොඳ ගති. නරක ගති බහුල ව ඇති කෙනා ඒවා ක්‍රියා කරවන්ට ලෝකේ ඉඩක් හොයනවා. ඒක මනුස්ස කමට ගැලපෙන්නේ නැහැ. ඒක යුක්තියක් නොවෙ යි. ඒක අසාධාරණයක්. ලෝකේ හැටි ඔහොමයි. එච්චර එයා උනන්දුවක් දක්වනවා. එයාගේ බැරි කම තවත් බැරිකමට පත් කරන්ට. ඒ අර ධර්මවල බලපෑම. එයා ළඟ තිබෙන ධර්ම තවත් කෙනෙකුට අකුල් හෙළන ස්වරූප නිෂ්පාදනය කරනවා. ඒක එයාගේ වරදක් නොවෙයි. ධර්මවල හැටි.

තව කෙනෙකුගේ  සිද්ධියක් වෙනත් කෙනෙකුට ප්‍රශ්නයක් කර ගන්ට අවශ්‍ය නැහැ. මෙතන මේ දේශනාව මිස වෙන කිසිවක් ජීවිතේ නෑ. දුකෙන් නිදහස් වීම සඳහා මොකක් හරි කරන්නට අපි හිතුවා නම්, තාවකාලික වශයෙන් හෝ දුකෙන් නිදහස් වෙන්ට කරපු දැඟලිල්ලක් ඒක. ඒ වුණාට, දුකෙන් මිදෙන්ට ඕනෑ ය කියලා අපි කරන සෑම දැඟලිල්ලක් අස්සෙම තියෙනවා විඳින දුක වගේ විසි-තිස් ගුණයකින් වැඩි දුකක්. දුකෙන් මිදෙන්න හිතාගෙන අපි කරන වැඩ වල තියෙනවා දුක තවත් වැඩි කරන දෙයක්. කොහොමද කිව්වොත්, ගහකට නැගලා ඉන්න කෙනෙකුට හිතෙනවා දැන් දැන් ගහෙන් වැටෙයි දෝ කියලා බයක්. ඒකෙන් බේරෙන්න මිනිහා පනිනවා ගහෙන්. පැනල අත - පය කඩා ගන්නවා. ඔන්න ඔය වගේ නො තේරෙන වැඩ පිළිවෙලක්  ඔස්සේ, නොදන්නා ක්‍රමයක් අල්ලාගෙන අපි මේ ජීවිතය තල්ලු කරගෙන යනවා.බේරෙන හරි ක්‍රමය දන්නේ නැහැ. ඒ නිසා, දුක වැඩි කරගන්නවා. ඕක යි  අවිද්‍යාව. අපේ ළඟ තියෙන අවිද්‍යාව මොකක්ද ? අපේ සෑම සිතුවිල්ලක් පාසා ම අවිද්‍යාව තියෙනවා. මොකක්ද ඒ සිතුවිල්ලේ තිබෙන අවිද්‍යාමය ස්වරූපය ?

"මම අරෙහෙම කරන්ට ඕනෑ. අරෙහෙම වෙන්ට ඕනෑ. මම අසවල් වැඩේ මේ විදියට කරන්ට ඕනෑ." කියලා යමෙක් යම් වේලාවක හිතනවා නම්, ඒක තමයි අවිද්‍යාවේ එක ස්වරූපයක්. ඇයි එහෙම කියන්නේ  ?  එයා හිතුවාට කරන්න බෑ. එයා හිතන විදියට නොවෙයි කෙරෙන්නේ. ඒ වේලාවට  ඒ කාරණේට ඉදිරිපත් වෙන හේතු උඩ - ඒවාට තියෙන ශක්තියේ හැටියට - ඒක සිද්ධ වෙයි. එහෙම නැතුව, එයාට කරන්ට  බෑ. එහෙම එයාට කරන්නට පුළුවන් නම්, මේ ලෝකේ ඉන්න හැම දෙනා ම ජනාධිපති කෙනෙකු වෙන්ට හදනවා ඇති. නැත්නම් අගමැති වෙන්ට හදාවි. ඒවා එහෙම කරන්ට බෑ. ඒවා කෙරෙන අතරෙ කවුරු හරි අතෙන්ට ගිහින්  ඔළුවෙන් හිටගත්තොත් , ඒක ඒ මිනිහට ඒ වෙලාවේ කරන්නට තියෙන වැඩේ. අපිට කරන්න තියෙන වැඩේ අපි කරනවා. ඒක අපට වදයක් නම්, එයාට කියනවා 'අන්න අරෙහට ගිහිල්ල ඕක කරගන්නවා' කියලා. ඒක වෙනම යි. උදව් කිරීමත් උදව් කිරීමේ වගකීම බාර ගැනීමත් වෙනම යි.දැන් මම මෙතන්ට ඇවිල්ලා වාඩි වුණේ  මොකටද ? එතකොට මෙච්චර සෙනග හිටියේ නෑ. මේ අය උදව් ගන්ට යි මේ ඇවිල්ලා ඉන්නේ. කන් දී අහල මෙයින් ප්‍රයෝජනයක් ගන්නට උදව් ගන්ට යි. උදව් ගන්න මිනිහා  ගනීවි. ඒ උදව් වගකීම භාරගැනීම අපි සම්පුර්ණයෙන් අයින් කරන්ට ඕන. අපට වෙලා තියෙන්නෙ අපි ඒක බාර ගන්නවා. ජීවිතය පිළිබඳ විමසිලිමත් වෙන පුද්ගලයාට මේ අනුව පැති දෙකක් පේනවා.සංඛාර සහ විසංඛාර කියන දෙක.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පැවත්වූ ධර්ම දේශණාවක් ඇසුරෙනි

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...