Saturday, March 17, 2018

කය තමන්ට ප්‍රිය බව පිළිබඳ මිළිදු රාජ ප්‍රශ්නය



මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේය.

"ස්වාමීනි නාගසේනයන් වහන්ස, පැවිද්දන්ගේ කය ඔවුන්ට ප්‍රිය ද ? "

"මහරජාණෙනි, පැවිද්දන්ගේ කය ඔවුන්ට ප්‍රිය නැහැ."

"එසේ වී නම් ස්වාමීනී කවර කරුණක් නිසා පැවිද්දන් තම කය ගැන තෘෂ්ණාවෙන් සිටින්නේ ? මමත්වයෙන් සිටින්නේ ?

"කිම මහරජාණෙනි, කිසියම් අවස්ථාවකදී ඔබ යුද්ධයකට මැදි වූවහොත් හී පාරක් වුණත් වදිනවා නේද?"

"එසේ ස්වාමීනි, එහෙම වෙනවා."

"එතකොට මහරජාණෙනි, හී පහරින් ලත් ඒ තුවාලයට බෙහෙත් ගල්වනවා නේද ? තෙල් ගල්වනවා නේද ? සියුම් රෙදි පටින් වෙළනවා නේද ?"

"එසේය ස්වාමීනී, හී පහරින් වු තුවාලයට බෙහෙත් ගල්වනවා තෙලුත් ගානවා සියුම් රෙදි පටිනුත් වෙළනවා."

"කිම මහරජාණෙනි, ඔබට ඒ තුවාලය ප්‍රියයි ද ? ඒ නිසාද බෙහෙත් ආලේප කරන්නේ ? තෙල් ගාන්නේ ? සියුම් රෙදි පටින් වෙළන්නේ ?"

"ස්වාමීනි, ඒ තුවාලය මට ප්‍රිය  නැහැ.නමුත් තුවාලයෙහි මස් වැඩීම පිණිසයි බෙහෙත් ආලේප කරන්නේ. තෙල් ගාන්නේ. සියුම් රෙදි පටින් වෙළන්නේ."

"මහරජාණෙනි, ඔය විදිහම තමයි. පැවිද්දන්ට මේ කය අප්‍රියයි.නමුත් කයට ආලය කිරීමෙන් තොරව බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිසයි මේ කය පරිහරණය කරන්නේ. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කය ගැන වදාරන ලද්දේ තුවාලයක් උපමා කරලයි. පැවිද්දන් ඒ තුවාලයක් බඳු කය නොඇල්මෙන් යුතුව පරිහරණය කරනවා. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්ස විසින් මෙකරුණ වදාරණ ලද්දේය."

අල්ලචම්මපටිච්ඡන්නෝ -  නවද්වාර මහාවණෝ

සමන්තතෝ පග්ඝරතෝ - අසූචි පුතිගන්ධියෝ

තෙත් වු සමකින් වැසී ඇති මේ කය වනාහි සෙම් සොටු මල මූත්‍රා ආදිය වැගිරෙන දොරටු නවයකින් යුත් මහා තුවාලයක් වැන්න.හාත්පසින් අසුචි වැගිරෙන මේ කය කුණු ගඳින් යුක්තය.

"ස්වාමිනී නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක."

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...