Sunday, March 11, 2018

අවසර ස්වාමීනි, යම් වෙලාවක දරුවාට පහරක් ගහලා අවවාදයක් දුන්නොත් ඒක වරදක්ද ?


ගහන්න ඕන නැහැ ඇයි ගහන්නේ ? ගහන්නේ අර බැඳීමේ තද කමට. තාත්තාගේ මට්ටමට පුතාවත් ගන්න ඕන නිසයි ගහන්නේ. යම් විදියකින් ඒ පුතාත් අර තාත්තා ගේ මානසික මට්ටමට ආවොත් අලි ජංජාලය යි වෙන්නේ. ඒ නිසා ඒ කඳුළයි වෙනස් කරන්න ඕන මොකක්ද ? මොන ම බලාපොරොත්තුවක් වත් නැහැ තාත්තා පුතාගෙන්. කළ යුත්ත කරනවා. යුතුකම් කොටස ඉටුකරනවා.එච්චරයි.එතකොට බැඳිම නැහැ. ඒ නිසා තමාට දුකක් නැහැ. ඒ විතරක් නොවෙයි. මුළු පවුලම සාර්ථක පවුලක් වෙනවා ඇති. එහෙම නැතිව තාත්තා කේන්ති ගත්තොත්, කුණු පොදිය අවුස්සා ගත්තා වෙනවා. භාර්යාවගේ,පුතාගේ දුවගේ ප්‍රශ්ණ අල්ලාගෙන තමා ගේ කුණු පොට්ටනිය අවුස්සාගෙන හැමතැනම ගඳ ගසමින් දුක් විඳින එකයි  තියෙන්නේ. දැන් මහත්තයට තේරුණා ද  පිළිපදින හැටි ? ඒ තාත්තාගේ  තියෙනවා කේන්ති යන  කෑල්ලක්. ඒක එයා හෙමිහිට හදා ගත්තොත්, මෛත්‍රිය සිතට හුරු කරගත්තොත්, ඉවසීමෙන් ප්‍රශ්නයට මුහුණ දෙන ශක්තිය හැදෙනවා ඇති. බුදු දහමේ උගන්වන්නේ, ඒකට මෛත්‍රියයි. බුද්ධාගමේ  නොවෙයි  ඒක කාටත් සාධාරණ එකක්.කේන්ති යන ගැජට් එක තියෙන්නේ රත්වෙන නිසා යි. ඒක නිසා මෛත්‍රිය එතැනට දාලා සිත නිවන එකයි කළ යුත්තේ.ඔය රත්වීම  එයාට විතරක් නොවෙයි , මා ඇතුළු අපි සියලු දෙනාටම තියෙනවා. ඒක කාටත් සාධාරණයි . එබැවින් අපි මේවා අහලා දැනගෙන , ඒ රත්වීම නිවන ක්‍රමය ඉගෙන ගන්න තමයි මේ කතා කරන්නේ.

රත් වෙනකොට නිවන්නට  වතුර දමනවා වගේ, තෙතමනය දෙනවා වගේ, කේන්ති සිතට මෛත්‍රිය නමැති තෙතමන නිතර එකතු කර කර පුරුදු කර ගන්නකොට,අන්න එයාගේ කේන්තිය ටික ටික අඩු වෙනවා. දැන් හොඳට තේරුණා නේද මහත්තයාට, පිළිපදින්න ඕන ආකාරය. "සද්ධාය තරතී ඕඝං " කිව්වේ  අර අදහස ආව හැටියේ අර කීවා වූ, ජීවිතය ඇතුළේ නා නා තරාතිරම්වලින් ගලා එන්නා වූ ඕඝයක් වශයෙන් ගලා එන ඒ කොටස ටික නිසා අර දුක් දෙන සංවිධාන ටික, නා නා ආකාරවලින් දුක් දෙන විට මේ ශ්‍රද්ධාව එතැනට දාපු හැටියේ ඒවා ඉපදෙන එක නවතිනවා. මේ විදිහට ඉපදෙන, ඉපදෙන එක සුද්ධ කරන කොට වෙන්නේ  මොකද්ද ? ක්‍රමානුකූලව සුද්ධ වෙවී  යන කොට අර පරමාණු හෙවත් රූපකලාපවල සකස් වෙන පැවැත්මට උදව් දෙන ඒ ශක්තිය ක්‍රමානුකූල ව අඩුවෙලා, අඩුවෙලා ගිහිල්ලා  එක්තරා අවස්ථාවකට පත්වෙනවා අර කාන්දම් නැති තාප්පයක් හැදිච්ච තත්වයකට. ශරීරයක් ඇතුළේ විතරයි ඒක හදන්න පුළුවන්. ලෝකයේ  වෙන කොහේවත් ඒක හදන්න බැහැ. මේ කාන්දම (කාමය) නැති තත්ත්වය හැදිච්ච හැටියේ අපි කියනවා කාමය නැහැ කියලා. කාමය හෙවත් කාන්දම නැති නිසා මේ හැදිච්ච එක වැඩ කරලා වැඩ කරලා ආයුෂය ගෙවිච්ච හැටියේ අවසන් වෙනවා. පැවැත්ම ඉදිරියට ගෙන යන්න අවශ්‍ය උෂ්ණත්වය නිපදවන්නේ නැති නිසා. පැවැත්ම ඉදිරියට ගෙන යන ශක්තිය දැන් නැහැ. එතනින් ඉස්සරහට ඕඝයක් නැහැ. එතකොට දැන් "කථංසු තරති ඕඝං " කිව්ව එකේ අර ගලායන ශක්තිය නැති කරපු නිසා,නැවත කාන්දම් නිෂ්පාදනයක් කරන ශක්තිය නැති නිසා එයාට දුක් දීමේ, දුක් විදීමේ අයිතිවාසිකමක් නැතිව යනවා. මෙතනින් පෙන්වන්නේ ඕඝය නවත්තන්න නම්, මගේ ජීවිතයේ  තියෙන දුක් නැති කරන ක්‍රමය  මතුකරන්න ඕන කියන එකයි.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පැවත්වූ ධර්ම දේශණාවක් ඇසුරෙනි

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...