Monday, May 10, 2021

තිරිසන් අපාය

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
අපාය සතර අතුරෙන් තිරිසන් අපාය වනාහි අප ඇස හමුවෙහි ම තිබෙන දෙයකි. එහි දුක ඉතිරි අපායන්හි දුක පමණ මහත් නො වෙතත්, මනුෂ්ය ස්කන්ධයන් පිළිබඳ දුඃඛයට වඩා අතිශයින් මහත් ය. ඒ තිරිසන් සත්ත්වයන් හට ආහාර පාන සපයා ජීවත් වන්නට තරම් සිහි නුවණ නැත. ස්වභාව ධර්මයෙන් ඉබේ ම ආහාර පාන නො ලැබුණ හොත්, ඔවුනට සාගින්නෙන් පිපාසයෙන් පෙළෙන්නට වන්නේ ය. සමහර විට වියළී මැරෙන්නට ද සිදු වන්නේ ය. ලෝකයෙහි සාගින්නෙන් පිපාසයෙන් මියයන තිරිසනුන් ඉතා බොහෝ ය. වාසස්ථානයක් පිළිවෙළ කර ගැනීමට නුවණ නැතිව ඔවුහු අව්වෙන් වියළෙමින් වැස්සෙන් තෙමෙමින් දිවි ඇති තෙක් ම දුක්වන්නාහ. ඔවුනට සතුරෝ ද ඉතා බොහෝ ය. සතුරන් මැඩලීමට ශක්තියක් හෝ ආරක්ෂකයකු පිහිට වන්නකු හෝ නැති බැවින් ඔවුහු නිරතුරුව මරණ බියෙන් පෙළෙමින් සැඟවි සැඟවී වාසය කරන්නාහ. රෝගයක් වැළඳුන හොත් තුවාලයක් වුවහොත් එයට ප්තිකාර කර ගැනීමට දැනුමක් ඔවුනට නැත. රෝගයකින් හෝ තුවාලයකින් හෝ දුර්වලව වැටුණු කල්හි, මස් කොටා කෑමට, ඇස් උපුටා කෑමට, ලේ උරා බීමට, එන සතුන් මිස, දිය බිඳක්වත් ගෙනැවිත් දෙන, නෑයෙක් මිතුරෙක් ඔවුනට නැත. මැස්සන් මදුරුවන් විසින් ලේ බොද්දී, කපුටන් මස් කොටා කද්දී, හිවළුන් බල්ලන් විසින් මස් ඉරා අදිද්දී, මල මුත් ගොඩේ වැටී බොහෝ තිරිසන් සත්ත්වයෝ මිය යෙති. ජීවිතය ආරක්ෂා කර ගැනීමට කොතෙක් දිව්වත් කොතෙක් සැඟවුනත් බලවත් සතුන්ගෙන් ද බොහෝ තිරිසන් සතුන්ට ගැලවෙන්නට නුපුළුවන. බලවත් සතුන් විසින් අල්ලා ඔවුහු හඬව හඬවා පණ පිටින් ම ගිලිනු ලැබෙත්. දෙපයින් පාගා ගෙන හඬව හඬවා මස් ඉර ඉරා කනු ලබති. මනුෂ්යයන් විසින් ද බොහෝ සතුන් මරා කනු ලබති. මව බලා සිටියදී බලයෙන් පැටවුන් ගෙන මරා කනු ලබති. ගිනියම් වූ යකඩවලින් ගවයන් පුළුස්සනු ලබති. මිනිස්සු බොහෝ සතුන් විනෝදය පිණිස ජීවිතාන්තය දක්වා සිරකර ගෙන බැඳගෙන සිටිති. ගවාදි සතුන් අල්වා බැඳ තබා ගෙන ජීවිතාන්තය දක්වා තළමින් කෙවිටිවලින් අනිමින් ඔවුන් ලවා වැඩ කරවති. දීර්ඝ කාලයක් මෙසේ වැඩ ගෙන සමහර විට අන්තිමේදී මරා මස් ද කති. මේ තිරිසනුන් විෂයෙහි ඇත්තා වූ සන්තාප දුක් වලින් ස්වල්පයකි. හොඳ නොහොඳ පින් පව් දතහැකි නුවණ නැත්තා වූ තිරිසන් සත්ත්වයා ජීවත්වන තාක් කරන්නේ ද පව් ම ය. එබැවින් මරණින් මතු ඌට පැමිණෙන්නට වන්නේ ද වඩාත් දරුණු දුක් ඇති අපායකට ය. එබැවින් තිරිසන් සතාට ජීවත්වීම පමණක් නොව මරණය ද මහත් වූ දුකකි. ඉපදීමය ජීවත්වීමය මරණය යන තුන ම ඒ සත්ත්වයන් හට මහත් වූ දුක් ම වන්නේ ය. එබැවින් තිරිසන් ස්කන්ධ පඤ්චකය දුඃඛ සත්යය වන්නේය.
 
*උපුටාගැනීම - රේරුකානේ චන්දවිමල මහානාහිමි විසින් රචිත "චතුරාර්ය්ය සත්යය" ග්රන්ථයෙනි.
 

  

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...