Saturday, May 22, 2021

මොහසම්බන්ධනො ලොකො - 2 කොටස



 

 

මේ පංචස්කන්ධ ලෝකයේ යථා තත්වය යථා පරිදි අවබෝධ කර ගැනීමට අවංකවම උත්සහයක් ගන්නට ඕන. මේ අය හිතනවා ඇති අපි මේවා ගැන අහලා තියන නිසා මේවා ගැන කියවලා තියන නිසා මේවා අපි දන්නවාය කියලා. පංචස්කන්ධයේ ඇත්ත තත්වය කියනකොට කියන්න තියෙන්නේ මේවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි,මේවා අසුභයි, අසාරයි, ශූන්‍යයි ආදී කරුණු. මේවා මේ අය නිතර නිතර අහලා තියනවා, කියවලා තියනවා, ඒක නිසා මේවා අපි දන්නවා කියලා සම්හර විට මේ අය හිතනවා වෙන්නට පුළුවන්. නමුත් ඒවා අහලා තිබුණට ඒකෙන් කිසිම වැඩක් නැහැ, තමන්ගේ සිතටම, තමන්ටම ඒවා අවබෝධ වෙලා පෙනුණේ නැත්නම්.

කියන දෙයක් තේරුම් ගැනීම නෙවෙයි, ඒක තමන්ම අවබෝධ කරගන්න එකයි ඉතාමත්ම අවශ්‍ය වන්නේ. එම නිසා මේ අඳුරෙන් වැසී ඇති ආකාරය තමන් පැහැඳිළිව තේරුම් අරගෙන ඒ අඳුර අයින් කරගන්නට ඕන. මෝහ අන්ධකාරය දුරු කරන්නට ඕන. "චක්ඛුංකො භික්ඛවේ අන්ධභූතං " ඇස අඳුරකින් වැසිලා තියෙන්නේ. අඳුරෙන් වටකරගෙන සිටින්නේ. ඇස කියනකොට මේ අය ටිකක් කල්පනා කරලා බලන්න, මේ ඇස දිහා සිතින් බලනකොට තමන්ට තේරෙනවද මේ ඇස මම කියලා, මගේ කියලා ඒ ඇස කෙරෙහි තමන්ගේ සිත තුළ ඇලීමක්, බැඳීමක් නැද්ද කියලා තමන්ම සිතලා බලන්න. මේ ඇස නිරන්තරයෙන්ම අනිත්‍යයට යන දෙයක් කියලා තේරෙනවද කියලා හිතලා බලන්න.

ඇස අනිත්‍යයට යනවා කියන එක මේ අය දන්නවා, වයසට යනකොට ඇස් පෙනීම එන්න එන්න දුර්වල වෙනවා, ඇස් වල ස්වරූපය, පාට ආදිය ඒවා වෙනස් වෙවී යනවා. ඒක නෙවෙයි මා මේ කියන්නේ, නිරන්තරයෙන්ම ඇස අනිත්‍යයට යන බව තමන්ගේ සිතට වැටහෙනවද කියලා බලන්න. මේ ඇස ඒකාන්ත වශයෙන් දුකක් කියලා තමන්ට තේරෙනවද කියලා තමන්ගේ සිතින් තමන්ම බලන්නට ඕන. ඇහැ තුළින්, ඇස නිසාම නිරායාසයෙන්ම විවිධාකාර දුක් පීඩා ලැබෙනවා; ඇසේ ඇතිවන රෝග පීඩා නිසා. ඊට අමතරව ඇසට විවිධ රූප හමුවෙලා ගැටීම් ඇතිවුණොත් කොයිතරම් දුකක් ඇතිවෙනවද, ඇලීම, රාගය, බලවත් රාගයක් එහෙම ඇතිවුණොත් කොයිතරම් මානසික පීඩනයකට සිත පත්වෙනවද, පරිළාහයකට, දැවීමකට සිත පත්වෙනවද. ඊටත් අමතරව මේ ඇසට පෙනෙන රූපත් ඒ ආකාරයෙන්ම උපාදාන කරගත්තු නිසා සංසාරය පුරා කොයිතරම් නම් දුකකට තමන් ඇඳගෙන වැටුණද, ඉදිරි අනාගත භව වලදීත් මේ ඇස නිසා ඇසට පෙනෙන රූප නිසා, අපි කොයිතරම් නම් සංසාර දුකකට ඇඳගෙන වැටෙනවද කියලා තමාට තේරෙනවද කියලා තමාගේ සිතින් තමන්ම විමසා බැලීමක් කරන්න.

එහෙම බලනකොට තමන්ටම තේරෙනවානම් මේ ඇස කෙරෙහි මගේ සිත තුළ බැඳීමක් තියනවා, මේ ඇස කෙරෙහි යම්කිසි ආශාවක් තියනවා, නැත්නම් මේ ඇස නිත්‍ය ධර්මයක් වශයෙන් මගේ සිත තුළ හැඟීමක් තියනවා, මේක දුකක් කියන හැඟීම මාගේ සිත තුළ නැහැ, කියන කරුණු තමන්ගේ සිත තුළ තියනවා නම් තමන් තවම ඇස කියන ඒ රූප කොටස නිසි පරිදි අවබෝධ කරගෙන නෑ.මේ ඇස මම හෝ මගේ කියලා හිතන එක සම්පුර්ණයෙන්ම වැරදි බව මේ අය දන්නවා; පොත්පත් වලින් කියවලා, ධර්ම දේශනා අසලා. පඨවි ආදී මූලධාතු හතරක් ඕකේ තියෙන්නේ, උපාදාය රූපත් තියනවා, ඔය ටික හැර වෙන ඇස කියලා දෙයක් නෑ, ආදී වශයෙන් හිතන්නට කියන්නට පුළුවන්. නමුත් තමන්ටම අවබෝධ වෙලා තියනවද කියලා බලන්න, ඇස අනාත්ම ධර්මයක් කියලා. ඇසට පෙනෙන රූප "රූපා භික්ඛවේ අන්ධභූතා..." සියල්ලම අඳුරෙන් වැසිලා තියෙන්නේ, අඳුර පිරිවරාගෙන සිටින්නේ. ඇසට පෙනෙන රූප දකිනකොට, මේ අය සිතින් කල්පනා කරලා බලන්න, ප්‍රිය රූපයක් දැක්කාම තමාගේ සිතට ඇලීමක් ඇතිවෙනවද, බැඳීමක් ඇතිවෙනවද, ආශාවක් ඇතිවෙනවද , රාගයක් ඇතිවෙනවද නැද්ද කියලා. නරක රූපයක් දැක්කාට පස්සේ, අප්‍රිය භාවයක් - අමනාපයක් - නුරුස්සනා බවක් - ගැටීමක් - තරහවක් වැනි දෙයක් ඇතිවෙනවද නැද්ද කියලා කල්පනා කරලා බලන්න. එහෙම බලනකොට තමන්ට තේරෙන්නට ඕන තමන් රූප තවම අඳුනාගෙන නැහැ, ලෝකයේ තිබෙන රූප දැකීම කියන්නේ මොකද්ද කියලා තමන් තවම දන්නේ නැතිබව තේරුම් ගන්න. ඒ කරුණු මේ අය අහලා තියනවා; අහලා තිබුණට තමන්ට ඒවා අවබෝධ වෙලා පෙනිලා නෑ.

රූපයක් දකිනවා කියන්නේ තමන්ගේම සිත තුළම නාමධර්ම ටිකක් ඇතිවී නැතිවී යාම පමණයි. වෙන කිසිවක් එතන ඇත්තේ නෑ. අපි හිතමු ඉතාම ලස්සන , ඕනම කෙනෙක් ප්‍රිය කරන රූපයක් තියනවා කියලා. ඒ රූපය දෙස ඕනනම් කෙනකුට රාගයෙන් යුතුව, බැඳීමෙන් යුතුව, ආශාවෙන් යුතුව බලාගෙන සිටින්නටත් පුළුවන්. තවත් කෙනකුට ඒ රූපය දෙසම ඕන නම්, පිළිකුල් සහගත ලෙස බලන්නටත් පුළුවන්.තවත් කෙනකුට ඒ රූපය දෙසම මැදහත් සහගත සිතින් බලාගෙන ඉන්නටත් පුළුවන්. ඒ රූපය අපි ලස්සනයි, හොඳයි ආදි වශයෙන් සංඥාවකින් යුතුව බලාගෙන සිටියොත් අපගේ සිත තුළ ආශාව බැඳීම ආදිය ඇතිවන්නේ. නරකයි ආදි වශයෙන් හිතුවොත් අපිට ඒ රූපය පිළිබඳ ගැටීමක් ඇතිවන්නේ. එතකොට තමන්ට තේරෙනවද කියලා බලන්න මේ රූප සංඥාව නිසයි මේ ආකාරයෙන් ඇලීම ඇතිකර දෙන්නේ, ගැටීම ඇතිකර දෙන්නේ කියන එක. තමන්ටම අවබෝධ වෙලා තියනවද කියන එක බලන්න. එසේ නැත්නම් ඒ අවබෝධයේ අඩුපාඩුකම් තියනවා.

කරුණු ඇසුවට වැඩක් නෑ, තමන්ටම ඒක සිතට කා වැදී පෙනී යා යුතුයි. එතකොට ඇසට පෙනෙන එම රූපය දෙස ඇලීමක් හෝ බැඳීමක් ඇතිකර දෙන්නේ තමාගේම සංඥාව තුළින් නිසා ඒ සංඥාව ඉවත් කළා නම් එහෙම ඕනෑම රූපයක් දෙස ඇලීමකුත් නැතුව, බැඳීමකුත් නැතුව බලාගෙන සිටින්නට පුළුවන් නේද කියන එකත් තේරුම්ගන්න. කොයිතරම් කැත රූපයක් වුණත් එකයි, කොයිතරම් ලස්සන රූපයක් වුණත් එකයි, කොයිතරම් විරුද්ධ රූපයක් වුණත් එකයි, තමන්ට කිසිම ඇලීමක් බැඳීමක් නැතුව ඒ දෙස බලාගෙන ඉන්නට පුළුවන් විවිධ සංඥා තමන්ගේ සිතින් අයින් කළා නම්.

සිත තුළින් මේ සංඥාවන් ජනිත කරගන්නේ. සිත තුළින් මේ ඇලීම් බැඳීම ඇතිකරගන්නේ. එතකොට ඒ සිතින් ඇලීම් බැඳීම ඇතිකර ගත්තාට පසුව ඒ රූප උපාදාන කරන්නේ. ගැටුණත් රූප උපාදාන කරනවා, ඇලුනත් රූප උපාදාන කරනවා. අර අඳුරෙන් වැසී සිටින තැනැත්තාට මේ රූප වල තියන ස්වරූපය, යථා තත්වය තේරුම් ගන්නට බැහැ. රූපයක් දකිනවා කියන්නේ මෙන්න මේකයි කියලා අවබෝධ කරගන්නට බැහැ. ඒ රූපය දැක්කාට පසුව ඇතිකරගත්තාවූ සංඥා අපි අයින් කරගත්තා නම් , සම්පූර්ණයෙන්ම සංඥාව අයින් කරගත්තා නම් "හොඳයි-හොඳයි" කියන සංඥාවත් අයින් කරා නම් "නරකයි-නරකයි" කියන සංඥාවත් අයින් කළා නම් රූපය දෙස ඔහේ බලාන ඉන්නට පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට ඒ ඇලීම, බැඳීම ආදී සංස්කාර ධර්ම සෑම එකක්ම සිත තුළ ජනිත වන්නේ තමාගේම මෝඩකමට. තමා ඒ රූපය හඳුනාගත්තු ආකාරයට අනුකූල වන වන පරිදි. එමනිසා තමන්ගේ සංඥාවේ තියන මුලාව තමන්ට අවබෝධ වී යායුතුයි. නැත්තම් මේ "තමසා පරිවාරිතො" කියන එක තේරුම් ගන්නට බැහැ. අඳුරෙන් වැසිලා; අඳුරෙන් ආවරණය කරලා තියෙන්නේ කියන කතාව තේරුම්ගන්නට අපහසු වෙනවා.

දැන් ඇසට පෙනෙන ඒ සංඥාව අයින් කළා නම් ඒ නිසා පහළ වන වේදනාවල් ඇතිවන්නේත් නෑ. සංඥාව අයින් වුණා නම් ඒ වේදනාව නිසා පහළ වන චිත්ත සංස්කාර ධර්ම ඇතිවන්නෙත් නෑ. ඒ සංඥාව අයින් වුණා නම් ඒ දකින ලද රූපය නැවත නැවත බලන්නට ඕන කියලා හිතන සිතිවිලි හෝ ඒ ගැන නැවත නැවත විඤ්ඤාණයන් ඇතිකරගෙන මෙනෙහි කිරීම ආදීය හෝ කරන්නේ නෑ. ඒක දැක්කා එතනම නැතිවුණා. අපි මේ ජීවිතේ කොයිතරම් රූප දැකලා ඇත්ද. සමහර රූප දැක්කා, ඊට පස්සේ ආයේ ජීවිතේ කිසි දවසක ඒ ගැන සිහිපත් වීමක්වත් ඇතිවන්නේ නැහැ. ඒකයි සාමාන්‍ය සිතේ ස්වරූපය. අපිට ඕන නම් පමණයි , අපේ සිතින් ගිහිල්ලා යම් ආකාරයකින් බැඳුණොත් පමණයි අපේ සිතේ ඒවා ගැන නැවත නැවත සිතිවිලි ජනිත වන්නේ.

ඒක නිසා මේ සංඥාව අයින් වුණා නම් විඤ්ඤාණ ස්කන්ධයේ පැවැත්මකුත් නැහැ. එතකොට ඇසට පෙනෙන ඒ රූප පිළිබඳ ඒ තියන සංඥා ආදී ධර්මතාවයන් ඔක්කොම අයින් කරගත්තා නම්, ලෝකයේ මොන මොන රූප තිබුණත් තමාට ඒවයින් කිසිම වැඩක් නෑ. හොඳක් ඇත්තෙත් නෑ, නරකක් ඇත්තෙත් නෑ, ඇලීමක් ඇත්තෙත් නෑ - බැඳීමක් ඇත්තෙත් නෑ - රාගයක් ඇතිවන්නෙත් නෑ, නැත්නම් ගැටීමක් වැනි දෙයක් උද්ගත වන්නෙත් නෑ. තමාගේ සිත තුළ තියන මේ ධර්මතාවය අයින් කළා නම් ඒ ඇසට පෙනෙන රූප පිළිබඳ තියන සියළුම චිත්ත සංස්කාර ධර්මයන් අයින් කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේක නොදන්නා කම නිසා, ඒ අවිද්‍යාව සිත තුළ තිබෙන නිසා රූප දකිනවා කියන එක පිළිබඳව මෝහයෙන් වැසී ගිය ස්වරූපයක් තමයි සාමාන්‍ය ලෝක සත්වයාගේ සිත තුළ තිබෙන්නේ.

එතකොට ඇසට ඒ රූපය දැක්කාට පස්සේ වේදනාවක් ඇතිවෙනවා. වේදනාව ඇතිවුණාට පස්සේ වේදනාවට ආශා කරනවා සැප වේදනාවක් නම්. දුක් වේදනාවක් නම් ගැටෙනවා. මේකත් මේ අය අහලා තියන කාරණාවක්. තමන්ම සිතලා බලන්න , තමන්ගේ සැප වේදනාවට- තමන්ටම ඇහැට පෙනෙන රූපයක් දැක්කාට පසුව ඇතිවන සැප වේදනාවට - තමන් ඇලුම් කරනවද නැද්ද කියලා. ඒවගේම ඇහැට පෙනෙන රූපයක් තුළින් ගැටීමක් ඇතිවෙනවා නම් තමන්ගේ සිත තුළ ඒක කෙරෙහි ගැටීමක්, අමනාපයක් ඇතිවෙනවද නැද්ද කියන කාරණය සිතා බලන්න. එහෙම බලනකොට තමන්ටම තේරෙනවනම්, ඒ රූප දැකීම නිසා තමන්ගේ සිත තුළ පහළ වන වේදනා ධර්මය කෙරෙහි මෙසේ ඇලීමක් - ගැටීමක් ඇතිවෙනවා කියලා මේ ඇලීම - ගැටීම ඇතිවිම නිසා සංසාරය පුරා කොයිතරම් නම් තමන් දුක් විඳලා තියනවද කියන කරුණ දෙස- ටිකක් සංසාරය දෙස ආපස්සට හැරිලා බැලිය යුතු වෙනවා.

කොපමණ කාල පරිච්ඡේදයක් තිස්සේ ඉපදි ඉපදී - මැරි මැරී මේ සංසාරය පුරා ආවද ඉදිරියටත් ඒ විදියට යන්නට සිදුවෙනවා නේද කියන කරුණ අවබෝධ වෙනවද කියලා බලන්න. එහෙම බලනකොට තමන්ටම තේරෙන්නට ඕන මේ කරුණු තමන් තවම දන්නේ නැහැ , අවබෝධ කරගෙන නැහැ කියලා. ඒකනිසා ඒ අවබෝධ වල අඩුපාඩු තියන කොට, මේ සංස්කාර ධර්ම කෙරෙහි තියන ඇලීම බැඳීම ආදී දේවල් අයින් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. "උපධි සම්බන්ධනො ලොකො" උපධි වලින් බැඳෙනවා. නැත්නම් " මොහ සම්බන්ධනො ලොකො" මෝහයෙන් බැඳෙනවා. එහෙම බැඳෙනකොට “තමසා පරිවාරිතො” අඳුර පිරිවරාගෙන සිටින්නේ, ඒ අයට මේවා පෙනෙන්නේ "සස්සති විය ඛායති" මහා හොඳ දේවල්, ලොකු දේවල් , වටිනා දේවල්, මමය, මගේය, ආත්මයය, සදාකාලික දේවල්ය, "භබ්බරූපොව දිස්සති" මහා භව්‍ය දේවල්ය කියලා තමයි සිතට වැටහෙන්නේ. මෙන්න මේ තත්වය අයින් කරගත යුතුයි.අයින් කරගත්තු කෙනාට තමයි "සස්සතො නත්ථි කිඤ්චන " කිඤ්චන භාවයන් කිසිවක් නැත්තේ.

මතු සම්බන්ධයි.
අති පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.


No comments:

Post a Comment

පව් පෝය අනතුර | සාකච්ඡා (කැනේඩියන් ජාතික ජෝ අතුලෝ හිමි)

පොය දවසේ මිනිස්සු අට සිල් තියාගනවා. අට සිල් තියාගන්නෝත් ලබන දවසේ වනකන් තියාගන්න ඕනේ. නැත්නම් අනතුරක් - අතුලෝ හිමි ය දවසේ මිනිස්සු අට සිල් ති...