Saturday, April 14, 2018

ශ්‍රද්ධාවත් ශීලයත් උගසට තබා ජීවිත ජයගන්න අය




සමාජය මනින මිනුම් දඬුවලින්, සමාජ වටිනාකම් වලින් ජීවිතය ජයගත්තාය කියන සමහර නායකයන්. ප්‍රභූ පුද්ගලයන් ගැන ඔබ සිහි නුවනින් බලන්නකෝ. පිංවත් එම පිරිස්‌ වෘත්තියෙන්, ව්‍යාපාරයෙන්, දැනුමෙන්, වත්පොහොසත්කම් වලින් ජයගන්න බව ඇත්ත. ඒත් ඒ ජය ඔවුන් ලබාගන්නේ ශ්‍රද්ධාව, ශීලය යන ධර්මයන් උගසට තියලා. ඊළඟ ජීවිතයේදී මේ අයට ලැබුවා වූ මහේශාඛ්‍යභාවය නමැති මුදලත්, ඊට අදාළ පොලියත් දෙකම ගෙවන්න වෙනවා. පෙර මනුෂ්‍ය ජීවිතවල ඉපැදිලා, ශ්‍රද්ධාවත් ශීලයත් උගසට තබා ජීවිත ජයගන්න අය තමයි ඔය ප්‍රේත, තිරිසන් නිරයේ උපත ලබා දුක නමැති මුදලත්, පොලියත් දෙකම සිය කැමැත්තෙන්ම ගෙවමින් ඉන්නේ. ඔබේ ඔය ඇස්‌ ඉදිරිපිටම ඉන්න තිරිසන් සතුන් කියන්නේ පෙර ජීවිතවල හොඳ හොඳ මනුෂ්‍යයෝම තමයි. හොඳට හම්බකරලා, දේපළ රැස්‌කරලා, පංචකාම සම්පත් රිසිසේ භුක්‌ති විඳලා. ශ්‍රද්ධාව ශීලය දානය කියන දුකින් මිදෙන දිශාවට ඔබට පිහිටවෙන ධර්මයන් අමතක කරපු මනුෂ්‍යයෝ. මෙන්න මේ ගැන සිතන කෙනායි සසර බිය ඇති කරගන්නේ. ඔහු මතවාද, දෘෂ්ඨි, විචිකිච්ජාව සකස්‌ කරගන්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයටම අවතීර්ණ වෙනවා. සමාජයේ ගුරුවරුන් අප්‍රමානව සිටිනවා. අප්‍රමාන පතපොත තිබෙනවා. මේවා ලෝකයේ පැවතිය යුතු ස්‌වභාවයන්. විවිධත්වය කියන්නේ අනිත්‍යයයි. අනිත්‍යය තිබෙන්නේ ගැටෙන්න නොවේ. මගහැරයන්න නොවේ. අවබෝධකොට ගැනීමටයි. පිංවත් ඔබට අවබෝධය කරා යැමට පහසුම මාර්ගය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ තමාගේ එකම ගුරුවරයා බවට පත්කොටගැනීමයි.

සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ වරක්‌ සිංහනාදයක්‌ කරනවා ‘මම හරියට හරක්‌ රැළක සිටින අඟ කැඩිච්චි ගොනෙක්‌ වගෙයි’ කියලා. ඒ කියන්නේ අඟ කැඩිච්චි ගොනා සැමවිටම රැලේ පැත්තකට වෙලා සිටින්නේ. නායකයා වෙන්න, පළවැනියා වෙන්න එන්නේ නැහැ. සිංහසෙයියාවෙන් සිංහනාද කරන්න පුළුවන් නිහතමානීභාවය ජීවිතය තුළින් ඇති කරගත් උත්තමයාටමය. මේ යථාර්ථය සමග ඔබේ ජීවිතය හොඳින් ගළපා බලන්න. එයම පිංවත් ඔබේ ජීවිතයට කමටහනක්‌ වේවි මග නොමඟ වටහාගැනීමට.

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

 පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...