Wednesday, April 11, 2018

බුදු දහමේ අධ්‍යාත්මය : දුල්ලභෝ මනුස්සත්තභාවෝ(මිනිසත් බව දුලබය)



මිනිසත් බව දුලබය.එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේය.ලොව්තුරා බුදු බව පසේබුදු බව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මඟ සදා ගැනීමට මිනිසත් බව ඉවහල් වන්නේය.බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳිම මේ මිනිසත් බවින් ලබන්නට ඇති ඉතා සුළු ප්‍රයෝජනකි.මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජන නම් ,අනාගත සංසාරයෙහි පිහිට වීමට ශීලසමාදානාදි කුසල ක්‍රියාවන් කර ගැනීමය.පස්කම් සැප ය සිහිනයක් බඳුය.කොතරම් උසස් ලෙස පස්කම් සැප ලැබුයේ ද ඒවායින් අනාගත සංසාරයට නපුරක් මිස යහපතක් නැත. තුණුරුවන් සේවනය නොකරන ශීලසමාදානාදි පින්කම් හි නො යෙදෙන පස්කම් සැපයෙහිම ඇලී සිටින,ඒවා නිසා නොයෙක් පව්කම් කරන මිනිසා මරණින් මතු ඔසවාගෙන ගොස් අත්හරින ලද්දක් මෙන් අපායට වැටෙන්නේය.අපායෙහි උපන් ඔහුගේ මළසිරුර නෑ මිතුරන් විසින්  සැරසු මඟින් පාවඩපිටින් මහා පෙරහරින් චිතකය කරා ගෙන ගොස් බොහෝ භික්ෂූන් වහන්සේ වැඩම කරවා උසස් කථිකයන් ගෙන්වා නන් අයුරින් ගුණ කියවා ආදාහන කෙළේ ද ඒවා අපායෙහි සිටින තැනැත්තා නො දැන ගන්නේ ය.එතැනට වැඩම කරන භික්ෂූන් වහන්සේ ඔහු ගොඩ ගැනීමට නොසමත් වන්නාහ.මියගිය ඔහුගේ ගුණ වර්ණනා කරන කථිකයෝ ද , එසේ කරවන නෑ මිතුරෝ ද ඔහු අපායෙන් ගොඩ ගැනීමට නො සමත් වන්නාහ. ඔහු ඉතා දිර්ඝ කාලයක් කළ පව්කම් වල විපාක විඳින්නේ ය. වර්ෂ කෝටි ගණනකිනිදු ඔහුට නැවත මිනිසත් බවක් නො ලැබිය හැකි වන්නේ ය.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.


No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...