Sunday, April 01, 2018

බුදුදහමේ අධ්‍යාත්මය : හෙළා දැකීමේ ක්‍රියාව




හෙළා දැකීමේ ක්‍රියාව බොහෝ විට වචන යෙදීමෙන් කෙරේ. කෙනෙකුගේ ජීවිතය පවත්වාගෙන යන තත්ත්වය පහත හෙළා පහත් මට්ටමකට තල්ලු කිරීමේ චේතනාවෙන් හෙළා දැකීමේ ක්‍රියාව ඇරඹෙයි. අමනාපය ප්‍රකටව පෙන්වීමේ අවස්ථාවල පමණක් මේ තත්ත්වය උදා වනු ඇත. සමච්චල් කිරීමේදී අමනාපය අප්‍රකට වූවකි. හෙළා දැකීම එදිරි පිරි මැසීම සඳහා යොදා ගන්නා එක් ක්‍රමයකි. වෛරය මතු වී ක්‍රියා ෆ්කරන මෙම අවස්ථා වල ඇති අගුණ පමණක් නොව නැති අගුණ ද කියා පෑම කාරණය සාර්ථක කරගැනීම සඳහා යොදනු ඇත. සමාජය විසින් හොඳ යයි සම්මත කර ඇති පුද්ගලයකු පිළිබඳ හෙළා දැකීමේ ක්‍රියාව යොමු කරන්නේ සමාජයෙන්  ඔහුට ලැබී ඇති ගෞරවය නැති කර පහත් පුද්ගලයෙකු සැටියෙන්  හැඳිනීම ඇති කිරීමටය. යමෙකු ඔහු පිළිබඳ හොද පැත්ත අවුස්සා පෙන්වන්නේ නම් එය බිඳ හෙළිය හැකි දේ හැකි පමණ ඉදිරිපත් කර එම මත බිඳ හෙළිමට උත්සාහවත් වීම හෙළා දැකීමේ ‍යෙදෙන්නාගේ ක්‍රියාවයි.

එහෙත් මෙම කාරණය සඳහා යොදන සෑම වචනයක් පාසාම හෙළා දැකීමේ යෙදෙන්නාට සිදුවන අනර්ථය ඔහු නො දනී. අන්‍යයන් රිදවීම සඳහා යොදන උත්සාහයේදී තමන් තුළ රිදවන තත්ත්වය උදා වන බව නො දන්නේ ද්වේෂයේ බලවත්කම නිසාය. පුද්ගලයකු තුළින් මතු වන ද්වේෂ ශක්ති  තුළ විවිධ ශක්ති හා විවිධ ස්වරූප ඇතුළත් වී ගනී. කෙනෙකු හෙළා දැකීමේ අදහස මතු වන්නේ ද්වේෂයේ උපරිම ලක්ෂණයක් වූ වෛරී ගතිය ඉදිරිපත් වීමෙන්ය. ද්වේෂයේ උපරිම ශක්තිය ක්‍රියාකරන්නේ වෛර ස්වරූපයට පත් වීමෙනි. කෙනකු ගසන පහර ඉවසා ගැනීමට අපහසු වූ විට අනිකා ද ගසයි.එය අවස්ථානුකූලව අවදි වූ ද්වේෂයේ ලක්ෂණයයි. ක්‍රෝධය නමින් එය හැඳින්වෙයි. වෛරය යනු සිතේ තැන්පත් ද්වේෂ තත්ත්වයයි. වෛර නිමිත්ත හමු වූ විගස මතු වන්නේ ඊට රිදවන අදහසකි. හෙළා දැකීමේ ක්‍රියාව ඇරඹෙන්නේ එම හේතුවෙන් ය.

සමච්චලය තරහ සිතකින් නො කරන බවක් පෙන්වයි. එය ඇත්ත විය හැකිය. එහෙත් එය ද්වේෂ චරිතය තුළ පවතින කථා ආකාරයකි. ඔහුට හමුවන කවරෙකු හෝ රිදවීමේ අදහස සිතට එයි. එවැන්නන්ගෙන් යමෙක් ඇසූ විට ද පිළිතුරු ලැබෙන්නේ ඇසූ පුද්ගලයාගේ සිත රිදෙනකාරයෙන්ය. සිතා මතා එය කරනවා නො විය හැකිය. එම වචන සංවිධාන කරන ද්වේෂ ගතිය විසින් ම එසේ යොදයි. ඇතැම් විට පසුව තමාගෙන් සිදු වූයේ වරදක් යැයි සිතා පසුතැවිලි වන අවස්ථා ද තිබේ.

මෙම ක්‍රමය පිළිබඳ සිතන විට කතා කිරීමට යොදා ගන්නා වූ වචන තුළින් ජීවිතය අනර්ථයට හෙළන තත්වය උදාවන හැටි සිතාගත හැකිය. බොහෝ විට ස්වාමි භාර්යාවන් අතර බහින් බස් වීම සාමාන්‍යයෙන් ඇතිවන සිද්ධියකි. ඊට හේතුව පිළිබඳ ඇතැම් විට ඒ දෙදෙනාම නො දන්නා අවස්ථා ද ඇත. එහෙත් අමනාප තත්ත්වයේ කථා හුවමාරු වී අමනාපය දික්වීමේ තත්ත්වයට ද පත් වී ගනියි. ඊට හේතු වන්නේ දෙදෙනා තුළ ම ද්වේෂය තදින් බලපාන තත්වය තිබීමයි.එක් අයකු තුළ එය තිබීමෙන් එතරම් උග්‍ර තත්වයකට පත්වීමට තිබෙන ඉඩ වැසී යයි. දෙදෙනා තුළ ම එම තත්ත්වය තිබීමෙන් වටිනා ජීවිත කීපයකට අනර්ථය සිදු වනු ඇත. ද්වේෂය ඇති සිත නිතර පවතින්නේ නොරිස්සුම් තත්වයෙනි. යමක් ඇසුවිට අසාන්නාගේ සිත රිදෙන අයුරින් පිළිතුරු ඉදිරිපත් පත් වන්නේ ඇතුළේ පැසෙමින් තිබුණු ද්වේෂ තත්ත්වය වචනයට මිශ්‍ර වීමෙන්ය.එවැනි පිළිතුරු ඔරොත්තු නොදෙන තත්වය අනිකා තුළ තිබීමෙන් මතුවන්නේ ද්වේෂය වර්ධනය වන පිළිතුරකි.

මෙම අවස්ථාව විසින් පෙන්වන්නේ වචන තුළින් ජීවිතය දුකට වැටෙන ආකාරයයි. මෙම තත්ත්වය යමෙකු  ඉවත් කර ගන්නේ නම් පිටවෙන සෑම වචනයකින්ම සැපය සැනසිල්ල ලැබිමට හේතු වෙනවා ඇත.එම තත්වයට සිත පත් කර ගැනීමේ උත්සාහය යොමුවිය යුත්තේ කෙලෙස්වල බලපෑමට සිත යටකර නො ගෙන අන්‍යයන්ව පෙළීම සඳහා යෙදීමට සිතෙන වචන යෙදීමේ වරද සිතට පෙන්වමින් ක්‍රියා කිරීමේ තත්වයට තමා සංවිධානය වීමෙනි. මෙම කරුණෙහි ලා සිහිය පිහිටුවීම ඉතා වැදගත් කොටසය. සිහිය යනු සිතේ ඇතිවන අදහස් වල තත්වය දැන ගැනීම සඳහා අවධානය යොමු කිරීමය. මෙය එතරම් අපහසු ක්‍රියාවක් නොවේ. සිතන සිතිවිල්ල දැනීම කා තුළත් තිබේ. එය පිළිබඳ විමසිල්ල යොදා එහි ඇති හොඳ නො හොඳ සිතා ගැනීමට පමණක් ඉවසිලිමත් විය යුතුය. නරක තත්ත්වයට සිත පත් වී ඇති බව තේරුම් ගත් විට එම තත්ත්වය මඟ හැරෙන තෙක් කතා නො කිරීම හෝ වැරදි තත්වය ඉවත් කර හොඳ තත්වය ඇතුළත් කිරීම එහිදී ගත යුතු මගය. එම න්‍යාය යටතේ සිත සංවිධානය කිරීම ට පුරුදු වන්නාගේ උත්සාහය දියුණු වන පමණට බොරු කීමේ අවශ්‍යතාවය  ඔහුගෙන් ඉවත් වෙයි.එහි අවශ්‍ය කමක්,ඔහුට නැති වී යයි. කේළාම් කියා දෙදෙනෙකු බිඳවීමේ නින්දනීය ක්‍රියාව ඔහු අප්‍රිය කරනවා ඇත. පරුෂ  වචනයක් කීමට තරම් රෞද්‍ර තත්ත්වය සිතේ මතු නො වනවාත්.කෙලෙස් මිශ්‍ර කථා කිරීමේ හුරුව ඔහුගෙන් ඉවත් ව ඇති පමණට කොපමණ කථා කළත්, ප්‍රලාපවලට වැටෙන තත්වයේ  කථා ඔහුගෙන් නො කියවෙනවා ඇත.

එම තත්වයට සිත පත් වී ඇති පුද්ගලයාගෙන් කියවෙන වචනයක් පාසා පුණ්‍යමය ස්වරූපය ඇතුලත්වී ගනී. එසේම එහි ඇති වන්නේ මෛත්‍රී වචීකර්මය බවද පිළිගත යුතුය. එම තත්ත්වයට පත් සිතේ දියුණුව ඇතිවන පමණට සැනසිල්ල ඇති වෙනවා ඇත. වචනයක වටිනාකම හා නො වටිනාකම මතුවන්නේ එය පරිහරණය කරන්නාගේ දැනීමේ හරිකම හා වැරදිකම මත බව මෙයින් පැහැදිලි වනු ඇත.

පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වනු ලැබු සදහම් දේශණාවක් ඇසුරෙනි.

No comments:

Post a Comment

අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව

පූජ්‍ය නිකපිටියේ ගුණරත්න හිමි විසින් රචිත අග්ගඤ්ඤ සුත්‍රය | ලෝකෝත්පත්ති වංශ කථාව පොත කියවීමට සහ බාගත කරගැනීමට අවස්ථාව සලසා ඇත. “කමමා විපාකා ...